මාලියද්ද යුවළ දරුමුණුපුරන්, ලේලිය සහ බෑණා සමග...

“තේ, රබර්, පොල්, අපට ලැබුණෙ අධිරාජ්‍යවාදීන්ගෙන්. නිදහසින් පසුව අවුරුදු 35ක් විතර ගිහිල්ලත් අපේ ප්‍රධාන අපනයන නිෂ්පාදන වූ තේ, පොල්, රබර් අතරට ඇඟලුම් එක්වුණා. ඒ හැරෙන්නට මේ දක්වා අලුත් අපනයන භාණ්ඩයක් හෝ නිෂ්පාදන ඇති වුණේ නැහැ. අපේ කලාපයේ බංග්ලාදේශය වගේ රටක් වගේම එතැනින් එහාට ඇති වියට්නාමය, කොරියාව වගේ රටවල් නිතරම එක් අපනයන භාණ්ඩයක් මත රැඳුණෙ නැහැ. ඒ නිසා ආර්ථිකය කඩා වැටෙන්නෙ නැතුව කොහොම හරි අල්ලාගෙන ඉන්න එයාලට පුළුවන් වුණා.

නිදහසින් පස්සේ බලයට ආ අපේ රටේ කිසිදු ආණ්ඩුවකට පැහැදිලි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ඒ වගේම ප්‍රශ්න ගැටලු ආවාම ඒ අවස්ථාවේ තාවකාලිකව පිළියම් කළා. ඒක හරියට තුවාලයකට පැලැස්තරයක් දානව වගේ වැඩක්. අපි විසඳුම් දුන්නෙ රෝග නිධානයට නෙවෙයි, රෝග ලක්ෂණවලට විතරයි. අදටත් අපේ රටේ වෙන්නෙ එහෙමයි. ඉතින් රටක් කඩා නොවැටී තියේවි ද?’’

ඒ විදිහට අදහස් දක්වමින් ‘විශ්‍රාමික සුපිරි තරු’ විශේෂාංගය වෙනුවෙන් මෙවර අප සමඟ එක්වන්නේ, මෙරට රාජ්‍ය සේවයේ කටයුතු කළ වඩාත් ප්‍රායෝගික වූ චරිතයකි. එකල ඔහු කොතරම් දුරට තම රාජකාරිය වෙනුවෙන් කැපවී කටයුතු කළේද කිව්වොත් ? දිනෙක ඔහුගේ ‘මාමා’ කෙනකු හමු වූ මොහොතක දී, ලොකු පුතේ ඔයා, ඔය සිටින තැන අපේ වෙන කෙනෙක් හිටියා නම්? අපි ඔක්කෝම රජවෙලා” යැයි කීය.

එනයින් තම පවුල් වරිගයා ගැන නොසිතා අවංක සේවයක් කළ නිසාම, මේ විශිෂ්ට රාජ්‍ය නිලධාරියා අදට ද ඔහු උදවු - උපකාර කළ මිනිසුන්ගෙන් පැසසුම් ලබයි. සමහරු මහ පාරේදී ඔහු දුටු විට දෑත් එක්කොට ඔහුට වැඳීම් කරයි. ඔහු තම සේවයට එදා ලබාදුන් අමිල මෙහෙවර ඊට හොඳම නිදසුනකි. කවුද මේ විශ්‍රාමික සුපිරි තරුව ?

1964 දී කර්මාන්ත අමාත්‍යාංශයේ ලිපිකාර තනතුරකින් පටන්ගෙන පසුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සහකාර කථිකාචාර්යවරයකු ලෙසද, ඉන් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රම සම්පාදන නිලධාරියකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පැමිණ පසුව සේවා උසස්වීම් ලබා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පත්වී, සංවර්ධන ලොතරැයිය වාසනා චක්‍රය හඳුන්වාදීමට මුල් වූ ආරම්භක අධ්‍යක්ෂවරයෙකි. සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම් තනතුර දරමින් වඩාත් ප්‍රායෝගික වූ චරිතයකි. එම අංශයේ ප්‍රමාණික දැනුම ඇති දැනට ජීවත්වන චරිත අතර සිටින ජ්‍යෙෂ්ඨයෙකි. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම් තනතුර දරමින් මෙරටට ‘CDMA’ තාක්ෂණය හඳුන්වා දීමට පුරෝගාමී වූ අතර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී වඩාත් ප්‍රායෝගිකව කටයුතු කළ අමාත්‍යංශ ලේකම්වරයෙකි.

ඔබගේ සම්පූර්ණ නම?

චන්ද්‍රසේන මාලියද්ද.

හැබැයි රාජකාරි කටයුතු කළ දිනවල තවත් නම්වලින් කතා කළා නේද?

සමහරු ළෙන්ගතුකමට මට කිව්වෙ චන්දරේ කියලයි. තවත් අය ‘චන්ද්‍රා’ කිව්වා. අදටත් සමහර අය

මාව අමතන්නෙ ‘චන්ද්‍රා’ කියලයි.

මේ ‘චන්ද්‍රා’ පෑයුවේ කොහෙදි ද? 

1945 ජනවාරි 27 වැනිදා, නුවර, පේරාදෙණියේදී.

මල් උයනක ඉපදිලා තියෙන්නෙ?

කියලා වැඩක් නෑ, පුදුම ලස්සන පළාතක්.

ඇයි ඒ තරමට ඒ පළාතේ ලස්සන වර්ණනා කරන්නෙ ?

මම ලෝකයේ රටවල් ගණනක සංචාරය කරලා තියෙනවා. පේරාදෙණිය වගේ ලස්සන තැනක් තවත් දැකලා නැහැ. එක් පසෙකින් කඳු යායක්. කඳු පාමුලින් මහවැලි නදිය ගලා යනවා. හරිම නිස්කලංක පරිසරයක්, කුරුළු පාරාදීසයක්. මාලිගාවේ උදේ සවස බෙර හඬ, ඝණ්ටා නාදය ඇසෙන්නෙ. හිතට මනසට ගතට දැනුණෙ අමුතුම හැඟීමක්.

කියන්නකො පවුලේ විස්තර ?

තාත්තාගෙ නම ධර්මසේන මාලියද්ද. එයාගෙ ගම කඩුගන්නාව. අම්මගෙ ගම රත්නපුරේ, ඇහැලියගොඩ. තාත්තා මුලින්ම වැඩ කළේ ‘Dairy Farm’ එකක මැනේජර් කෙනෙක් විදිහට. එතකොට අපි පදිංචිවෙලා හිටියේ හන්තාන කඳුකරයේ තේ වත්තක තිබූ බංගලාවක. පවුලේ මමයි මල්ලියි විතරයි. අපිට ගත කරන්න ලැබුණෙ සුන්දර ළමා වියක්.

පාසල් ගියේ?

මුලින්ම ගියේ ගැටඹෙ මහා විද්‍යාලයට. ඒ කාලයේ ඒක බොහොම කුඩා පාසලක්. ඒත් ගුරුවරු සහ ළමුන් අතර තිබුණෙ බොහොම අපූරු බැඳීමක්.

කුඩා කාලයේ දී මොන වගේ චරිතයක් වුණා ද?

මම බොහොම නිශ්ශබ්ද චරිතයක් වුණා. ඒ නිසාම යාළුවෝ කිව්වෙ ‘මීයා’ කියලයි. අපේ මල්ලිට කිව්වෙ මීයාගෙ මල්ලි කියලයි.

පාසලේ දී කැපී පෙනුණෙ?

අංක ගණිතයට. කොච්චර දක්ෂ වුණාද කිව්වොත්, ගුරුවරුන්ට බැරි වූ සමහර ගැටලු පවා විසඳලා දුන්නා. සා/පෙළ විභාගයේ දී අංක ගණිතයට විශිෂ්ට සමාර්ථයක් ගත්තා.

සා/පෙළ සමත් වෙලා?

කිංස්වුඩ් එකට ගියේ.

ජනපති ජේ.ආර් සමග කතාබහක්

උසස් පෙළ සමත් වෙලා ?

උසස් පෙළට ලියන අතරේදීම රජයේ ලිපිකාර විභාගයටත් ලියුවා. උසස් පෙළ ප්‍රතිඵල එන්න කලින්, ලිපිකාර විභාගය සමත් වෙලා, 1964 පෙබරවාරි 1 වැනිදා කොළඹ කර්මාන්ත අමාත්‍යාංශයට ආවේ. එතැන මාස 6ක් සිටිය දී උසස් පෙළ ප්‍රතිඵල ආවා. මාව තේරිලා තිබුණෙ පේරාදෙණියට. ඒ කාලයේ උපාධිධාරීන්ට රස්සා අඩුයි. ඒ නිසා ආණ්ඩුවේ ඔයා කරන ස්ථිර රස්සාව වටිනවා, අයින් වෙන්න එපා කියලා වටේ පිටේ හිටපු අය කිව්වා.

ඉතින් ඒ නිසා කැම්පස් ගියේ නැද්ද?

මම හිතා ගත්තෙ ජොබ් එක කරන අතරේ, බාහිර උපාධිය කරලා සම්පූර්ණ කරගන්නවා කියලයි. බාහිර උපාධියට ඉගෙන ගන්න තිබූ තැන, ඉඳුරුවේ පඤ්ඤාතිස්ස නායක හිමියන් වැඩ සිටියෙ.
ඔයාට පිස්සුද ළමයො? ඔය රස්සාව දාලා ගිහින් පේරාදෙණිය සරසවියෙ උපාධිය කරන්න, ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි කියලා උන්වහන්සේ කිව්වා. මගේ වාසනාවට ඊට පෙර අවුරුද්දෙ, පේරාදෙණිය යුනිවර්සිටි ඔෆ් සිලෝන් එකේ මගේ විෂයට අදාළ කොළඹ මණ්ඩපය ආරම්භ කරලා තිබුණෙ. ඒ නිසා ඒකට මාව යොමු කරන්න කියලා ඉල්ලීමක් කළාම මට ඒක ලැබුණා. ජොබ් එක කරන අතරේ මම කැම්පස් ගියේ ඒ විදිහටයි. වැඩ කළ තැන ඉඳලා කැම්පස් එකට යන්න මට ගියේ ‘සත පහක’ වියදමක්. වැටුප ලෙස රුපියල් 188ක් ලැබුණා.

රස්සාවයි උපාධියයි දෙකම හොඳින් කරගන්න පුළුවන් වුණා ද?

මම ගියේ අත්‍යවශ්‍ය දේශනවලට විතරයි. අන්තිම විභාගයෙන් ආර්ථික විද්‍යාවට ‘B’ සමාර්ථයක් එක්ක සමත් වුණා. මා එක්ක කැම්පස් එකේ හිටිය ‘කුලසේන ෆොන්සේකා’ මට කිව්වෙ, ‘‘ඔයා පේරාදෙණියට ගිහින් ගෞරව උපාධිය ඉවර කරගන්න’’ කියලයි. එයාම ෆෝර්ම් පුරවලා දාලා තිබුණා. හොඳ මිතුරෙක්. ඒ පාර මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහින් ගෞරව උපාධිය කරන්න පටන් ගත්තා. රස්සාවට කොළඹ දුර නිසා මාරුවක් ඉල්ලුවත් එකවර ලැබුණෙ නැහැ. පසුව පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගියා. එතැන සිට කැම්පස් එකේ වැඩත් කරගන්න ලැබුණෙ ලොකු පහසුවක්. යාළුවෝ මට උදවු කළා. ඔෆිස් එකේ අයත් උදවු කළා.

ගෞරව උපාධිය අරගෙන?

ප්‍රතිඵල එන්නත් පෙර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවෙ තාවකාලිකව අධ්‍යයන මණ්ඩලයේ හිටියා. ඊට පස්සෙ, කරපු රැකියාවෙනුත් අස්වෙලා සහකාර කථිකාචාර්යවරයකු ලෙස ජ’පුරට ආවා. එම තනතුරේ අවුරුද්දක් විතරයි හිටියෙ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ “ක්‍රම සම්පාදන නිලධාරී තනතුරට” අයැදුම්පත් කැඳවා තිබුණා. මම ඒකට ඉල්ලුම් කළා. 1970 දී ක්‍රම සම්පාදන නිලධාරියකු ලෙස පත්වීම් බාර ගත්තා. අන්න එතැනින් තමයි අමාත්‍යාංශ ලේකම් තනතුර දක්වා උසස්වීම් ලබමින් දුර ගමනක් ගියේ.

එතකොට විවාහ වෙලා ද?

විවාහ වුණේ 1972 දී. විවාහ වෙච්ච හැටියෙම වගේ, කොළඹ ක්‍රමය ශිෂ්‍යත්ව ප්‍රදානය යටතේ මට දෙවසරක පශ්චාත් උපාධිය වෙනුවෙන් එංගලන්තයේ ග්ලාස්ගොව් ගිහින් හදාරන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. හදාරන්න තිබුණෙ සංවර්ධන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්.

ඒ කියන්නෙ ග්ලාස්ගොව් යන්න කලින් ප්‍රේමයක් තිබිලා තියෙනවා?

ඔව්... ඔව්... ඒකනෙ විවාහ වුණේ. ඒක සුන්දර ප්‍රේමයක්. එයාගෙ ගම කෝට්ටෙ. විවාහයෙන් පස්සෙ එයත් එක්කම තමයි එංගලන්තයට ගියේ. ඒ ශිෂ්‍යත්වය හරියට මට ලැබුණ වෙඩින් ගිෆ්ට් එකක් වගෙයි.

මංගල ඡායාරූපය

දිගටම එංගලන්තයෙ ඉන්න හිතුවෙ නැද්ද?

ආසා කළා. කරදර නැති ජීවිතයක්නෙ එහෙ තිබුණෙ. අනෙක 70-77 කාලය රටේ බොහෝ දුක්ෂරතා එහෙම තිබුණනෙ. ඉතින් කොහොමින් කොහොම හරි එංගලන්තයේ සිටියදී මට මල්ලිව බලන්න යන්නත් පුළුවන් වුණා. එයා එතකොට මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ PhD එක කරමින් හිටියෙ. ටොම් බැරන් කියලා මට තව හොඳ යාළුවකුත් හිටියා. වතාවක අපි මුළු යුරෝපයේම සංචාරයක් කළා. PhD එක කරන්න හිතාගෙන ඉන්නකොට අමාත්‍යාංශයෙන් මට ආපහු එන්න කීවා. ඒ නිසා ආපහු ලංකාවට ආවා. ලංකාවට ආවෙ 1975 දී විතර. කොහොමත් එතකොට නෝනාට පුතා ලැබෙන්න හිටියේ.

දරුවන්ගෙ විස්තර කියමු?

පුතා වැඩිමලා. එයාගෙ නම ශානක මාලියද්ද. දුව බාලයා. එයාගෙ නම මයෝෂි. පුතා ගියේ රෝයල් එකට. දුව ගියේ සිරිමාවෝ එකට. දුවත් ෆස්ට් ක්ලාස් උපාධියක් ගත්තා. එයා වෛද්‍යවරයකු එක්ක විවාහ වෙලා එංගලන්තෙට ගිහින් මේ වනවිට ලංකාවේ සේවය කරනවා. ශානක පුතා එයාගෙ ආසාවට මාධ්‍ය අංශය තෝරා ගත්තා. එයා විවාහ වෙලා ලංකාවෙම හිටියා.

රාජ්‍ය සේවයේ උසස් නිලධාරියකු ලෙස ඔබ කළ විප්ලවය මොකක් ද?

ඇත්ත වශයෙන්ම රස්සාවෙදී මම කළේම විප්ලව තමයි.

සංවර්ධන ලොතරැයිය පටන් ගැනීමත් ඒ විප්ලවීය ගමනේ එක් ජයක් නේද?

ඒක මෙහෙමයි වුණේ. එතකොට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස හිටියේ වික්‍රම වීරසූරිය මහතා. මම එහි කටයුතු කළේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස.

“මාලියද්ද ඔයාගෙ මහජන සබඳතා හොඳයි, ඒ නිසා ලොතරැයිය බාරගන්න” කියලා එතුමා කිව්වා.

මම ඉතින් ඒ අභියෝගය බාර ගත්තා. ඒ වෙනකොට රටේ තිබුණෙ හොඳ තත්වයක් නෙවෙයි. උතුර එල්ටීටීඊ එක නිසාත්, දකුණ ජේ.වී.පී. ඇතුළු අනෙකුත් අවිගත් කණ්ඩායම් නිසාත් භීෂණයකින් වෙළී තිබුණෙ. හැබැයි මහපොළ අරමුදලේ සියයට 50% ක් සහ ජනාධිපති අරමුදලේ සියයට 50% ක් දාලා සංවර්ධන ලොතරැයිය හඳුන්වා දුන්නා. “මාලියද්ද රටේ තත්ත්වෙ එක්ක ලොතරැයි විකුණන්න තරම්, පරිසරයක් නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා පිටකොටුවෙ චෙට්ටියාර් කෙනෙක් වගේ ඔයාට වැඩ කරන්න වෙයි” කියලා වීරසූරිය මහතා කිව්වා. ලොතරැයි විකුණන්න කියලා. ඒ වෙනකොට නියෝජිතයන් හිටියෙත් නැහැ. ඒ නිසා රුපියල් 20ක් ගෙවලා ඕනෑ කෙනකුට ලියාපදිංචි වෙන්න පුළුවන්කම තිබුණා. ඒ විදිහට ලියාපදිංචි වෙච්ච අය ලොතරැයි 200 විතර අරන් ගිහින් විනාඩි 5න් විකුණලා ආපහු ආවෙ තවත් ප්‍රමාණයක් අරන් යන්න. ක්ෂණික ලොතරැයි වැඩේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ ඒ විදිහටයි. දිනපු ලොතරැයිවලට වගේම පැරදුණ ඒවාටත් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒකට කිව්වෙ වාසනා චක්‍රය කියලයි. රටේ ප්‍රකට ‘තරු’ ආරාධිතයන් ලෙස ගෙන්වා ‘වාසනා චක්‍රය’ ඉදිරිපත් කළා. වික්‍රම වීරසූරිය මහතාගේ අදහසක් තමයි මම ඒ විදිහට එදා ක්‍රියාත්මක කළේ.

ඒ කාලයේ දී නේද ඔබ රටේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ?

ටෙලිවිෂන් එකෙන් මිනිස්සු දකිද්දී, මාව ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.

“මචං ගෞරව උපාධියක් තියෙන උඹ දැන් ටිකට් වෙළෙඳාම ද කරන්නෙ කියලා” මගේ යාළුවෝ විහිළු කළා.

ක්ෂණික ලොතරැයියෙන් පස්සෙ, ඊළඟට කළ විප්ලවය මොකක් ද?

දවසක් මට එවකට අතිරේක ලේකම්ව සිටි අමරදාස ගුණවර්ධන මහත්තයා කතා කරලා, චන්දරේ, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ විශ්‍රාම යනවා, ඒ තනතුරට ඉල්ලුම් කරන්න කීවා. මම ටිකක් අදිමදි කළා. 

“මම ඔයා නම්? ඒ තනතුරට යනවා කියලා, මම අදිමදි කරද්දී අමරදාස මහත්තයා මට කිව්වා. ඒ තනතුර තමයි අනාගතේ නගින්න තියෙන පළමු පඩිපෙළ කියලත් එතුමා මට කිව්වා. ලොතරැයියෙ කට්ටිය මාව එයාලට ඕන නිසා මට යන්න නොදී තියාගන්න හැදුවෙ. ඒත් ඉතින් තවත් අලුත් දෙයක් කරන්න හිතාගෙන මම, අභියෝගය බාර ගත්තා.

ගායන තරු හා එක් වූ මොහොතකදී...

මොකක්ද ඒ තනතුර අරගෙන කළ අලුත් වැඩසටහන්?

විදේශීය රටවලින් ආධාර ලැබෙන දිස්ත්‍රික් 16ක ව්‍යාපෘති තිබුණා. ලෝක බැංකුව, එ.ජා. අරමුදල, නෝර්වේ, නෙදර්ලන්තය, ෆින්ලන්තය වගේ රටවල් ගණනාවකින් ඒවාට ආධාර ලැබුණා. මෙම ව්‍යාපෘති මොනිටර්න් කරන්න තමයි මට තිබුණෙ. උපදේශනයට ආව පීටර් පෝල්ගෙන් ඇයි පසු විපරමක් අවශ්‍ය කියලා මම ඇහුවා. එයා මට දුන්නෙ ‘එකයි එකයි’ එකතු කළාම 3යි කියලා ලස්සන උත්තරයක්. ඊට පස්සෙ මම මෙම මොනිටරින් වැඩසටහන අධ්‍යක්ෂවරු එක්ක එකතුවෙලා එක් එක් පළාත්වල පවත්වමු කියලා යෝජනා කළා. ප්‍රාදේශීය සංවර්ධන අංශයේ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපෘති ගැන ෆීල්ඩ් එකට ගිහින් ප්‍රායෝගිකව සොයා බලන්න, විසඳුම් දෙන්න අපට පුළුවන් වුණා. ආධාර දුන් රටවල් අතර ලෝක බැංකුව ඇතුළු ආයතනවලට ඒවායේ සැබෑ විනිවිද බව දැකගන්න, දැනගන්න ඒ නිසා පුළුවන් වුණා. ‘සමාලෝචන’ ප්‍රගති වාර්තාව විදේශීය නිලධාරීන් හමුවේ ඉදිරිපත් කරද්දී ‘තනියම’ ගිහින් එයට පෙනී සිටිය දී, එයාලා පුදුම වුණා. මීට ඉස්සෙල්ලා මේ වගේ වැඩකට නිලධාරීන් 20ක් විතර ආවා. ඒත් ඔබ තනියම, හරිම අපූරුයි කිව්වා. ආධාර දෙද්දි එයාලගෙ නීතිරීති තදයි. අපට සමහර දේ නිසා ආධාර ගන්න බැරි වුණාම, මම කළේ එයාලට විහිළු තහළු කරලා කතාව වෙන පැත්තකට හරවගෙන, කොහොම හරි අපට වාසියට ඒ වැඩේ කරවා ගැනීමයි. තැනට සුදුසු නුවණින් වැඩ කළා.

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස මුල් පුටුවට ගියේ ඉන් පසුවද?

අතිරේක ලේකම් ලෙස ඉඳලා තමයි ඊළඟට ලේකම් වුණේ.

එතැනදිත් විප්ලවීය වෙනස්කම් කරන්න ඇති?

එම අමාත්‍යාංශය තිබුණෙ ජනපති යටතේ. එතකොට හිටියෙ, චන්ද්‍රිකා මැතිනිය. පසුව එයා ඒක ඇමැතිට පැවරුවා. කොහොම වුණත් සමහර රැස්වීම් සමහර දාට රාත්‍රී 12 වෙනකල් ගියා. වතාවක මම ඉදිරිපත් කළ යෝජනාවලිය අහගෙන ඉඳලා

“මාලියද්ද ඔයාගෙ ‘ෂෝ’ එක අපි සම්පූර්ණයෙන්ම හොරකම් කරගත්තා” කියලා ජනපතිනිය කිව්වා. ඒ තරමටම ඔයා ඒක හොඳට කළාය කියලා එතුමිය කිව්වා.

ඒ විදිහට එහි ලේකම් තනතුරෙන් පසුව වෙනත් අමාත්‍යාංශයක ලේකම් තනතුරට ගියා නේද?

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වුණා. එතකොට ඇමැති වුණේ දි.මු. ජයරත්න මහතා. ඒ දවස්වල මිනිස්සු ටෙලිෆෝන් ඉල්ලලා ඇප්ලිකේෂන් එව්වට, සබඳතා දෙන්න ටෙලිකොම් එකට ‘ලුප්ස්’ නැහැ. ඒ වෙලාවෙ විදුලි සංදේශ නියාමන එකේ සභාපති වුණෙත් මම.

විශේෂඥයන්ගෙන් මම ඇහුවෙ මේකට විසඳුම මොකක්ද කියලයි. ඒත් හරි විසඳුමක් ලැබුණෙ නැහැ. දවසක් ඉංජිනේරුවරයෙක් මට CDMA තාක්ෂණය ගැන කිව්වා. ඔය තාක්ෂණය ගැන මට දැනුමක් තිබුණෙ නැහැ. හැබැයි සංඥා මගින්, එම පද්ධතිය ක්‍රියාත්මක වීම වඩා ප්‍රායෝගික නිසා, ඒ වනවිට තිබුණු සන්ටෙල් හා ලංකා බෙල් එක්ක අපි ගිවිසුම් ගැහුවා. මාස තුනක් ඇතුළත මේ ටෙලිෆෝන් ප්‍රමාදය නවත්වන ක්‍රියාමාර්ග ගන්න කියලා ඒ සමාගම්වලට කිව්වා. මාස තුනේ වැඩේ මාසෙන් කරන්න පුළුවන් වුණේ මිනිස්සු ඒ ක්‍රමයට අනුගත වෙච්ච නිසයි.

ඔය විදිහට ඔබ කළ දේ නම් බොහොමයි. ලොකු පොතක් ලියන්න පුළුවන්. ඉතින් එදා රැකියාවේ අභියෝග ආවාම මුහුණ දුන්නෙ කොහොම ද?

මගේ අදහස නම්? අවශ්‍යතාවය තියෙනවනම් අපිට කරන්න පුළුවන්. නිලධාරීන් සියල්ල එක්ක මම හරි සුහදයි. හැබැයි ප්‍රශ්නයක් විසඳන්න ඉහළ නිලධාරියාගේ සිට අන්තිමට එය, ක්ලාර්ක්ගෙන් විසඳාගන්න උඩ සිට පල්ලෙහා ක්‍රමයට මම ගියේ නැහැ. ක්ලාර්ක්ට තීරණ ගන්න නොදී මුල සිට එතැනින් ඉහළට එන විදිහ හැදුවා.

ඔබ වැනි නව සංකල්ප ඇති අවංක නිලධාරීන් මුල් පුටුවල ඉඳලත් ඇයි අපේ රටට වැරදුණේ? ඒ ගැන මොකද හිතන්නෙ?

රට බංකොලොත් වීමට පෙර මම පොතක් ලිව්වා. ඒකෙ නම ‘What went wrong’. ඒ පොතේ ඔය ප්‍රශ්නයට ඔක්කෝම හේතු දක්වා තියෙනවා.

ඒ කියන්නෙ මේ රට බංකොලොත් වෙන හැටි ඔබ මුලින්ම දුටුවා?

ඉස්සෙල්ලා මම කිව්වෙ, නිදහසින් පසුව මේ රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම ප්‍රශ්නවලට උත්තර වෙනුවට, රෝග නිධානය වෙනුවට බෙහෙත් දුන්නෙ රෝග ලක්ෂණවලට.

තව අවුරුදු පහකින් මේ රට මොන වගේ ආර්ථික තත්ත්වයක තිබේවි කියලා ඔබ හිතනව ද?

මීටත් වඩා පහළ තත්ත්වයකට පත් වෙනවා.

කොහොම ද එහෙම කියන්නෙ?

මෙතෙක් කළ වැඩසටහන්, ව්‍යාපෘති දිහා විපරම් කර බලද්දී, තීන්දු තීරණ ගෙන ඇති විදිහ බලද්දී එහෙම කියන්න පුළුවන්.

එහෙම නොවෙන්න නම්? කුමක් කළ යුතුද කියලා ඇහුවොත්?

දේශීය වශයෙන් සහ ගෝලීය වශයෙන් ලෝකයේ සිදුවෙන වෙනස්කම්, සිදු කරන වෙනස්කම්, මිනිසුන්ගෙ වෙනස්කම් බලලා, ඒ මොහොතේ ආවේගශීලී නොවී දීර්ඝ කාලීන වැඩසටහන් පිළියෙල කළ යුතුමයි. ඒ වගේම ඒ වැඩසටහන් ඉලක්ක සම්පූර්ණ කරනවද කියලා විමර්ශනය කිරීම ඉතාම වැදගත්.

වර්තමාන ජනාධිපති 2024 දී ගංවතුරක් ආ වෙලාවෙ රැස්වීමක් තියලා කිව්වෙ ඒකෙන් වෙන හානිය වළක්වාගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලයි. පසුගිය වසරේ මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීමට ගිහින්, නිල්වලා ගඟ ගැලූ වෙලාවෙත් එතුමට ඒ කතාවම කියන්න සිද්ධ වුණා. ඒ කියන්නෙ ගංවතුරක් එනකල් එතුමා කී දේ කෙරිලා නැහැ. මේ වගේ දේ නිසා අඩු තරමින් ගෙනෙන ව්‍යාපෘති, සැලසුම්වලට පසු විපරමක් හෙවත් මොනිටරින් කිරීම කළ යුතු දෙයක්.

මාලියද්ද මහත්මයා, විශ්‍රාමික දිවිය ගෙවමින් සිටින ඔබ, එදා ඔබ කළ සේවය ගැන තෘප්තිමත් වෙනවද?

රටට, ආර්ථිකයට, මහජනතාවට ඵලදායී ප්‍රතිඵලයක් ගෙන දෙන විදිහට වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. රාජ්‍ය සේවය කියන්නෙ අපට වියදම් යන වැඩක් නෙවෙයි, රජයේ වියදමින් අනෙක් අයට පිනක් කළ හැකි ලොකුම තැන තමයි රාජ්‍ය සේවය. මම පුංචි කතාවක් කියන්නම්. තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ ලේකම් වෙලා ඉන්නකොට දවසක් කිලිනොච්චියේ සිට මිනිසෙක් මා හමුවන්න ආවා. එතකොට රටේ යුද්ධයක් පවතිනවා. එදා මම දවල් කෑමට ලැහැස්ති වෙලා හිටියෙ. මාව හමුවන්න ආ මහත්මයාට මම එන්න කීවා. එයා ඇවිත් තිබුණෙ එයාගෙ පැන්ෂන් එක තවම හැදිලා නැහැ කියලා කියන්න. එයා තැපැල් ස්ථානාධිපතිවරයෙක්.

“ඔයා කාලද ඉන්නෙ? කියලා මම ඇහුවා. නෑ කෑම පස්සෙ කනවා කියලා එතකොට එයා කිව්වා. මම එයාට ලන්ච් පැකට් එකක් ගෙනල්ලා දීලා, ඉස්සෙල්ලාම කෑම කන්න කීවා. පසුව එයාගෙ ලිපිගොනුව ගෙන්වාගෙන මම අනුමත කරලා දුන්නා. බලන්න එයා කිලිනොච්චියෙ ඉඳලා ඇවිත් එදාත් පිළිතුරක් නොලැබුණා නම්? ඒක මොන තරම් අපරාධයක් ද? එයාගෙ ලිපි ගොනුව ඒ වෙනකල් කවුරුවත් අනුමත කරලා තිබුණෙ නැහැ. එක් එක් අංශ බාර අය ගෙන්නලා හේතු ඇහුවාම හරි පිළිතුරක් මට ලැබුණෙත් නැහැ. දවසකින් කළ යුතු වැඩේ අවුරුද්දකින් අපි කළ යුතු නැහැ. රාජකාරිය තියෙන්නෙ නීතිරීති සහ සම්ප්‍රදායයන් ඇතුළත. ඒත් ඊට එහා ගිහින් කළොත් ඒක සේවයක් වෙනවා. මම විශ්වාස කළේ රාජකාරියට වඩා සේවය ගැනයි.

ඔබගේ සේවා කාලයේ දී ජනපතිවරු කී දෙනෙක් එක්ක කටයුතු කළා ද?

මේ වර්තමාන ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිතුමා හැර, ඊට පෙර සිටි සියලු දෙනා එක්ක වැඩ කරන්න පුළුවන් වුණා.

ඒ ජනපතිවරුන් අතරින් වඩාත් ප්‍රායෝගික වූ ජනපති ලෙස ඔබ දුටු චරිතය?

ආර්. ප්‍රේමදාස මහතා.

සාකච්ඡා සටහන 
සඳුන් ගමගේ


ඔබත් රාජ්‍ය සෙවයේ යෙදී සිටි මෙවැනි අවංක අත්දැකීම් ඇති නිලධාරී මට්ටමේ, පරිපාලන අංශයේ චරිතයක් නම්, මෙවැනි අත්දැකීම් ඔබට ඇත්නම් ඉරිදා ලංකාදීප අපට කතා කරන්න. එවැනි විශ්‍රාමික සුපිරි තරු ගැන විස්තර දන්වන්න. 

[email protected]
අපගේ ඊමේල් ලිපිනයයි.