
ඉන්දියන් සාගරයේ මුතුඇටය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවේ ආකර්ෂණය කෙරෙහි වෙරළබඩ කලාපයේ සෞන්දර්ය මහත් දායකත්වයක් දරන බව නොරහසකි. අනෙකුත් පෞරාණික හා කඳුකර කලාපයේ සොඳුරු ඉසව්වන්ට මෙන්ම, වෙරළබඩ කලාපයේ සුන්දරත්වයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙකී සොඳුරු තෝතැනි කරා යොමුවන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නිතැතින්ම හිමිවන ඉසව්වක් වශයෙන් දර්ශනීය කොරල් පර දැක්විය හැකිය.
කොරල් පර යනු මුහුදු පාරිසරික පද්ධතියේ අතිශය වැදගත් අංගයකි. ඒවා මසුන් ඇතුළු විවිධ මුහුදු ජීවීන්ට ආරක්ෂිත වාසස්ථානයක් සපයන අතර, මුහුදු ජෛව විවිධත්වය පවත්වාගෙන යාමට මහත් සේ දායක වේ. එසේම කොරල්පර වෙරළ ප්‍රදේශවලට පැමිණෙන තරංග බලය අඩු කරමින්, වෙරළ ඛාදනය අවම කිරීමට මහෝපකාරී වේ. ඒ අර්ථයෙන් කොරල්පර සෞන්දර්යයට පමණක් නොව මිනිසුන් ගේ ජීවිත හා දේපොළ ආරක්ෂාවට ද වැදගත් කාර්යයක් ඉටු කරන්නේ යැයි ප්‍රකාශ කළ හැකිය.
පාරිසරික වැදගත්කමට අමතරව කොරල් පර මත්ස්‍ය කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයටත් විශාල ආර්ථික වටිනාකමක් එක් කරනු ඇත. එහෙත් පරිසර දූෂණය, ඇතැම් මානව ක්‍රියාකාරකම් හා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම වැනි කරුණුවල බලපෑමෙන් ස්වභාවික සංතුලන රටාව බිඳී කොරල් පර දැඩි තර්ජනයකට ලක්ව අනුක්‍රමයෙන් විනාශ වී යාමට ලක්ව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.
කොරල් විනාශවීමේ අවදානම සරල කොට බැහැර කළ යුත්තක් නොව - විශේෂ අවධානයට ලක් විය යුතු විශේෂිත කරුණකි. අදාළ රාජ්‍ය අංශ මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර ඇති බවක් දැන ගන්නට නැත.
එවන් සන්දර්භයක මේ විශේෂිත කරුණ ගැන අවධානය යොමු කරමින් - මැරුණු කොරල්වලට නැවත පණදීමට ඇති හැකියාව පිළිබඳ වසර කීපයක් තිස්සේ පර්‌යේෂණ සිදු කොට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට, මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික උමේශ් හල්වතුර ඇතුළු කණ්ඩායමට හැකි වී ඇති බව “ඉරිදා ලංකාදීප”යට දැන ගන්නට ලැබී ඇත. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය හා සාගර විද්‍යාව යනු හාත්පසින් වෙනස්වූ ක්ෂේත්‍ර දෙකකි. වෙනස් ක්ෂේත්‍රයක පරීක්ෂණ කිරීමේ ආරම්භය මහාචාර්යවරයා විස්තර කළේ මෙසේය.
“සාගර ජීව විද්‍යාව හා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රය කියන්නෙ හාත්පසින්ම වෙනස් අංශ දෙකක්. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් වූ සමුදික ලියනගේ සමෝධානික නිර්මාණ (Integrated Design) උපාධිය හදාරන ගමන් මම ගාවට එනවා පොළවට කරදරයක් වෙන්නෙ නැති කොරල් උඩ ඇවිදගෙන යන තලයක් (Structural Level) සැලසුම් කරන්න 2018 දී. මම ඒ වෙද්දි කොරල් ගැන දැනගෙන හිටියෙ නැහැ. එදා මට ආසාවක් ඇති වෙනවා කොරල් පිළිබඳව. විවිධ මොඩලයන් ඩිසයින් කරනවා. සිසුවාගේ උපාධිය අවසන් වුණාම එයාව එකතු කරගන්නවා මගේ පර්‌යේෂණ කණ්ඩායමට. කොරල් වැවෙන ද්‍රව්‍යයක් හදල ඉන් කොරල් වවන්න පුළුවන් ආකෘති හැදීම පර්‌යේෂණයේ අරමුණ වුණා. එක එක ඒකක ආකෘති හදල මාතර පොල්හේන ප්‍රදේශයේ මුහුදේ තැන්පත් කරල අපි බැලුවා මේ වගේ කොරල් කොහොම ද වැවෙන්නෙ කියලා. මෙය ක්‍රියාත්මක කරන අතරෙ ලංකාව වටේ ඇති කොරල් මැරෙන විනාශ වෙන විදිය දැක්කම නව පර්‌යේෂණ කලාපයක් ලෙස පටන් ගන්න හිතුණා.”
පර්‌යේෂණයේ ආරම්භය පිළිබඳව එලෙස මූලික හැඳින්වීමක් සිදු කරමින් මින් වසර06 කට පමණ පෙර මොරටු විශ්වවිද්‍යාලයේ කුඩා ව්‍යාපෘතියක් ලෙස අරඹන ලදුව, එය සාර්ථක පරිසමාප්තියක් කරා පැමිණීම පිටුපස තිබූ විශාල කාර්යභාරය එතුමා විස්තර කළේ මෙලෙසිනි.
“වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, නව අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ, වනජීවී දෙපාර්තමේන්තුවේ මංජුල අමරරත්න වගේම සාගර විශ්වවිද්‍යාලයේ අනුර උපශාන්ත, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එරන්දි පතිරණ යන අයගේ තාක්‍ෂණික සහාය මේ සඳහා නිතරම ලැබුණා. ඊට සමාන්තරව කොරල් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකු වූ චතුශ්ක නාදෙණියත් එයාගේ පශ්චාත් උපාධිය කරන්නත් එක්ක මම මේ කටයුත්ත සඳහා එක්කර ගත්තා. මීට අමතරව ඉන්ජිනේරු විද්‍යාව, ජලජ වගාව, අණුක ජීව විද්‍යාව (මයික්‍රො බයොලොජි) සාගර ජීව විද්‍යාව (ඕෂන් බයොලොජි) පිළිබඳ හැදෑරීම් ඇති උපාධි අපේක්‍ෂකයෝ වගේම පශ්චාත් උපාධි අපේක්‍ෂකයෝ පිරිසක් ද අපිත් එක්ක එකතු වුණා.”
“කොරල් සංරක්ෂණය කරල මුහුදේ ආය රෝපණය කරනව කියන එක මීට පෙර තිබුණෙ නැහැ. කොරල් කියන්නෙ පියවි ඇසට නොපෙනෙන ජීවියෙක්. අපේ ඊළඟ පියවර වුණේ කොරල් වැවෙන ටැංකි හදන එක. මෙයාලට කරදරයක් නොවී රෝපණය කිරීමෙන් පසු රැකවරණය සලසන්න පුළුවන් ද යන කරුණ ගැන අපේ අවධානය යොමු වුණා. ඒ අනුව මොරටු විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයක ටැංකි හැදුවා. කොරල් මුහුදෙන් රැගෙන විත් පර්‌යේෂණය කරන්න, ළඟ තියා ගන්න ලංකාවෙ අපට විතරයි අවසර තියෙන්නෙ. මිනිස්සු ඇවිදිනකොට බෝට්ටු යනකොට මෙන්ම වාරකන් කාලෙදි කැඩෙන කොරල් අරගෙන ඇවිත් මොරටු විශ්වවිද්‍යාලයේ ලැබ් එක ඇතුළේ වවනවා.

නිරෝධායනය කරල, අවශ්‍ය කෑම ටික දීල, ඊට අවශ්‍ය ජල තත්ත්වයන් සම්පාදනය කරල ටැංකි ඇතුළෙ මෙම කොරල් වවනවා. අඟල් භාගයක කොරල් කැබැල්ලක් අඟල් 3ක් 4 ක් වෙනකම් වවනවා. වාරකන් අවසන් වුණාම වවන ලද කොටස් මුහුදේ වවනවා. මුලින්ම පොල්හේන, පරෙවි වැල්ල වගේ තැන්වල කළා. අලුත්ගම මොරගල්ල ඉස්සර ලස්සන වෙරළ කලාපයක්. එහි කොරල් පරය 2010 වගේ කාලෙ මැරුණු කොරල් කලාපයක් බවට පත්වෙලා තිබුණා. ගඳගහන කුණු පිරුණු කලාපයක් බවට පත්වෙලා තිබුණු මොරගල්ලෙ මුහුදෙ අපි මෙය 2022 පටන් ගන්නවා. චතුශ්ක සහ මම මූලිකව පටන් ගත්ත මෙම ව්‍යාපෘතියට බොහෝ පිරිස් එක්ව සිටියා.”
එම පරිසර පද්ධතියේ පැවති ප්ලාස්ටික්, කුණු හා පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉවත් කරමින් - එම ස්ථාන කරා කුණු එක් රැස් වෙන ආකාරය විමර්ශනය කරමින්, ඒවාට විසඳුම් සලසමින් පරිසරය උචිත ලෙස සකසාගැනීමට ඔවුන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. අපිරිසිදු ජලයෙහි කොරල් වැවීමට නොහැකි නිසා - පාරිසරික පවිත්‍රතාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගනිමින් 2022 සිට මොරගල්ල වෙරළ ආශ්‍රිතව සිදුකළ ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකි වූ බැව් මහාචාර්යවරයා කියයි.
විද්‍යාගාරවල වවන ලද නිරෝධායනය කළ කොරල් විද්‍යාගාර ටැංකිවල තැන්පත් කරයි. මුහුදේ මෙන් ටැංකිවල ද අවශ්‍ය තරංග ඇති කිරීම, ස්වාභාවිකව ඉර නගින බහින අයුරින් අවශ්‍ය පරිදි ආලෝකය ලබාදීම, අවශ්‍ය ආහාර හා ලවණ වර්ග නිසි පරිදි ලබාදීම සිදුවෙයි. ඇමෝනියා වැඩිවීම වැනි තත්ත්වයන් ඇති වුවහොත් මෙම කොරල් ජීවීන් මරණයට පත්වන බැවින්, ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු බව හෙතෙම අවධාරණය කරයි. මුහුදේ සහ ටැංකිවල තත්ත්ව අතර අතරමැද තැනකට ගෙන එමින්- මුහුදේ වෙනම තවානක ප්‍රතිරෝපණය කරයි. ඉනික්බිති සති දෙක තුනක ඇවෑමෙන් මුහුදේ මැරුණු කොරල් පරය තුළ සජීව කොරල් කොටස තැන්පත් කිරීම සිදුකරයි. මුහුදේ පරිසරයට එක්වරම අනුවර්තනය විය නොහැකි හෙයින්, අවශ්‍ය ආහාර, ලවණ මෙන්ම අදාළ පරිසර තත්ත්ව පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිසර සාධක නිර්මාණය කිරීම හා අඛණඩ නිරීක්ෂණය සහ ආවේක්ෂණය නිරතුරු සිදුකරමින්, දින දෙකකට වරක් පවිත්‍රතා කටයුතු ද සිදුකරයි.
මොරගල්ල වෙරළ තීරය පැවති අසතුටුදායක තත්ත්වයෙන් මුදවා ගනිමින් පෙර පැවති දර්ශනීය තත්ත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් සිව් වසරක් තිස්සේ දැරූ පරිශ්‍රමයේ පල නෙළමින් සිටින බව මහාචාර්යවරයා ප්‍රාමෝද්‍යයෙන් යුතුව පවසයි.
“කොරල් උඩ වැලි, මඩ වැනි අපද්‍රව්‍ය එක් රැස් වෙන්න දෙන්න බෑ. සතියට දෙවතාවක් ශුද්ධ කරනවා. එවිට අනුක්‍රමයෙන් කොරල් පරයේ වර්ධනය සිදුවනවා. මෙය පහසු කටයුත්තක් නොවෙයි. ස්වභාවිකව වැවෙනවා, මැරෙනවා. අපි ඒවා නැවත වවනවා. මේ කොරල් වසරක් තුළ වර්ධනය වෙන ප්‍රමාණය අඟල් 2-6 ක් තරම්. අපේ ප්‍රයත්නය සාර්ථකයි.

කොහොම නමුත් ප්‍රධාන ප්‍රශ්නයක් සමග තවත් අතුරු කාරණා කීපයක් ද බාධාකාරී ලෙස ක්‍රියාත්මක වෙනවා. අපේම රටේ ඇතැම් අය ගිහිල්ලා අවුරුදු, මාස ගණනක් මහන්සි වෙලා අපි හදපු කොරල් කොටස් කඩා ගෙන යනවා. අවට පදිංචිකරුවන්ගෙන් ලොකු සහායක් මේ කටයුත්ත සඳහා තියෙන බවත් කිව යුතුයි. එමෙන්ම ’සිනමන් බේ’ හොටෙල් කළමනාකාරීත්වය ගිය වසරේ සිට මෙම ව්‍යාපෘතිය සඳහා ලබාදෙන මුල්‍යමය අනුග්‍රාහකත්වය පිළිබඳව කෘතඥතා පූර්වකව සඳහන් කරමින් ඇගයීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.”
“තවද, කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (Colombo West International Terminal) ආයතනික සමාජ වගකීම් යටතේ CSR ව්‍යාපෘතියක් ලෙස මෙයට සහාය ලැබෙන බවත් විශේෂයෙන් ප්‍රකාශ කළ යුතු වෙනවා. මෙය රජයේ හෝ වෙනත් කිසිම ආයතනයක මුල්‍ය අනුග්‍රහයකින් තොරව පටන් ගත්ත වැඩක්. අදටත් රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මෙතරම් දුරක් පැමිණීමට හැකිවීම ගැන ලාංකිකයෙක් ලෙස ලොකු සතුටක් ඇති වෙනවා. අපේ රටේ යම් පොදු සමාජමය කටයුත්තක් ඇරඹිලා අඛණ්ඩව ගලාගෙන ගොස් සාර්ථක නිමාවක් කරා ගමන් ගන්නේ බොහෝදුරට රාජ්‍ය මැදිහත්වීම හා අනුග්‍රහය ඇත්නම් විතරයි. මෙම කටයුත්තට එය අදාළ වුණේ නෑ.”
“මේවා ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි ව්‍යාපෘති. මේවා සුද්දෙකුට කියල පැළ කරගන්න පුළුවන් නම් මිලියන ට්‍රිලියන ගණන් ඉපයිය හැකියි. ඉස්සර මාළුවෙක් හිටපු නැති කුණුගඳ ගගහ තිබුණු වෙරළ තීරයේ අද මාළු පිරිල. අපි යද්දි විදේශිකයෝ ඇවිත් ඉමහත් ආශාවකින් කොරල් නිරීක්ෂණය කරමින් සංරක්ෂණයට දක්වන උනන්දුව දැක්කම හරිම සතුටුයි. ඒ අය ආසයි මේ වගේ ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙන්න.”
“වනජීවී දෙපාර්තමේන්තුවෙ ඉල්ලීමකට අපි වැඩ කරනවා. පරෙවි දූපත්. මන්නාරම කල්පිටියෙ ස්ථාන තුනක කොරල් සම්බන්ධ ව්‍යාපෘති කරගෙන යනවා. ලොකුම ප්‍රශ්නය මැරිච්ච කොරල්පරවල නැවත කොරල් හැදෙන්නෙ නැහැ. එවැනි කැඩුණු කොරල් ස්ථායිකරණය, කොරල්වල ඉන්න සත්තු ගැන අධ්‍යයනයක් වෙලා නැහැ. එවැනි පැති ගැන අධ්‍යයනයන්ට අපි යොමුවෙලා තියනවා. අපි ටැංකිවල කරගෙන යනවා ගෝලීය උණුසුමට ඔරෙත්තු දෙන දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කොරල් නිර්මාණය කිරීමට”
අපි ඔහුගෙන් සමු ගනිද්දී අවසාන වශයෙන් හෙතෙම එසේ කීවේය.
පර්‌යේෂණ යනු එකකින් දෙකකින් නිමාවන කාර්යයක් නොවේ. තවත් පර්‌යේෂකයෝ මීට අදාළව සමාන හෝ වෙනස් වෙනස් විවිධ පර්‌යේෂණ සිදුකරනු ඇත. නැතහොත් කෙනෙක් නැවත්වූ තැනින් එහි දිගුවක් හෝ වෙනත් වෙනත් මානයන් ඔස්සේ පර්‌යේෂණ කරනු ඇත. විය යුත්තේ එම පර්‌යේෂණ සොයා ගැනීම් යථාර්ථයක් කිරීමය. ඒ තුළ රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීම අත්‍යාවශ්‍යය. එසේ නොවුවහොත් එය ඵලදායී පරිසමාප්තියකින් සමාජගත වේ යැයි සිතිය නොහැකිය.
මේ වැටී ඇත්තේ සහන් එළියකි. වෙරළ සංරක්ෂණය තුළ බොහෝ දේ කියැවේ. භූගෝලීයමය වාසි, ආර්ථිකමය වාසි හා සංචාරක කර්මාන්තය ආදී වශයෙන් බොහෝ පැතිකඩයන් මෙහි ලියැවී ඇත. වෙරළ සංරක්ෂණය, කොරල්පර සංරක්ෂණය හා බද්ධ අධ්‍යයන කාර්යයන්ට අතහිත දීම – රජය, පරිසරවේදීන් හා මහජනතාව යන සියලු පාර්ශ්වකරුවන්ගේ වගකීමක් බව අවධාරණය කළ යුතුව ඇත.
බෙලිහුල්ඔය
ප්‍රින්ස් රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd