
ජනනි ඇයගේ යෙහෙළියන් සමග
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම තම හැඟීම්, අදහස් සහ අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ ප්‍රධාන මාධ්‍ය දෙකක් ලෙස චිත්‍ර කලාව සහ මූර්ති කලාව හැඳින්විය හැකිය. මේවා දෘශ්‍ය කලා ගණයට අයත් වේ. මෙම කලා අංශ දෙකම මානව සංස්කෘතියේ අනන්‍යතාව සුරැකීමටත්, මිනිසාගේ නිර්මාණශීලි චින්තනය ඔප් නැංවීමටත් මහත් සේ දායක වේ. නව්‍යකරණයෙන් යුතු චිත්‍ර හා මූර්ති කලාව තුළ ජාත්‍යන්තර අවධානය දිනා ගත්, මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ දමිළ කලාකාරිනියක් පිළිබඳවය මේ සටහන.
ඇය නමින් ජනනි යෝගරාසාය. ඇයගේ නිර්මාණ කාර්යය හුදෙක් සෞන්දර්යාත්මක අත්දැකීමකට එහා ගිය, සමාජ - දේශපාලනික කියවීම් සහිත ගැඹුරු මැදිහත්වීමක් වශයෙන් විග්‍රහ කළ හැකිය. එමෙන්ම ඇය සාම්ප්‍රදායික සීමාවන් ගෙන් ඔබ්බට ගොස්, නූතන කලාව සහ මූර්ති කලාව ඒකාබද්ධ කරමින් නව මාවතක් තැනූ ශිල්පිනියකි. වව්නියාවේ පදිංචි ඇයගේ නිර්මාණ, වර්තමාන කලා ක්ෂේත්‍රයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. කලාකාරිනියකට අමතරව ඇය කලා ක්ෂේත්‍රයේ ව්‍යවසායිකාව ද වන්නීය. ඇයගේ කලාගාරයේ සේවය කරන සියලුම දෙනා කාන්තාවන් වීම ද විශේෂත්වයකි.
![]() |
| ජනනි යෝගරාසා |
ජනනි යෝගරාසා තම නිර්මාණ දිවිය සහ ජයග්‍රහණ පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට “ඉරිදා ලංකාදීප” සමග සම්බන්ධ වූවාය.
මෑතක දී ඇය විසින් අඳිනු ලැබු සිතුවමක් සමාජ මාධ්‍ය තුළ දේශීයව මෙන්ම විදේශීයව ද බෙහෙවින් කතාබහට ලක් විය. රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ශාන්තන් නමැත්තා ඉන්දියානු අධිකරණ නියෝගයකින් පසුව 2024 වසරේ දී නිදහස් කරන ලදී. වසර 32 කට පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් ඔහු ගේ මව අපේක්ෂා දැල්වුණු දෑසින් යුතුව බලා සිටියාය. නමුත් හදිසියේ වැලඳුණු අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම ඉන්දියාවේ දී මරණයට පත් විය. ඒ අනුව ශාන්තන් ගේ මවට සිය පුතු දැක ගැනීමට නොහැකි විය.
මෙම සිදුවීමෙන් අනතුරුව ජනනි යෝගරාසා විසින් මව හා පුතු හමුවීමේ මොහොත සිතුවමකට නංවා තිබුණි. එය ඉතා සංවේදි සිතුවමක් විය.
“සිතුවිලි සිතුවමකට නැගීම කියන්නේ මිනිස් මනසේ ඇතිවන අදහස්, හැඟීම් හා මනඃකල්පිතයන් රූපමය මාධ්‍යයකින් ප්‍රකාශ කිරීමයි. මෙය චිත්‍ර ඇඳීමකට වඩා එහා ගිය, ආත්මීය ප්‍රකාශනයක්.” යනුවෙන් ප්‍රකාශ කරමින් ජනනි ඇයගේ කතාබහ ආරම්භ කළාය.
“මම වව්නියාව රම්බෛකුලම් බාලිකා පාසලේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳ මූලික උපාධිය අවසන් කළා. ඒ වගේම මම දැනට මහජන සෞඛ්‍ය පිළිබඳව පශ්චාත් උපාධිය හදාරනවා. මගේ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය ගැන බලනකොට මම වෘත්තිය වශයෙන් කරන විෂය ක්ෂේත්‍රය සපුරාම වෙනස්. පාසල් කාලයේ දී මට කලාව ගැන උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මගේ අම්මා, අක්කා හා අයියා ට කලාව ගැන හොඳ හැදෑරීමක් තිබෙනවා. අම්මාට නම් හොඳ නිර්මාණශීලිත්වයක් තිබුණා.”

“මගේ මූලික උපාධිය අවසන් කිරීමෙන් පසුව මගේ හිතේ තිබුණා හැමෝම කරන ආකාරයේ ඒකාකාරී රැකියාවකට සම්බන්ධ නොවිය යුතුයි කියලා. රැකියාවක යම් විශේෂත්වයක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව මගේ මූලික උපාධිය අවසන් කිරීමෙන් පස්සේ විවේකය ඵලදායී ලෙස ගතකිරීමේ හා විනෝදාස්වාදය ලැබීමේ අරමුණෙන් පැන්සල් සිතුවම් (Pencil Sketch) ඉගෙන ගත්තා. එය ඉගෙන ගනිද්දි - එහි නිර්මාණශීලිත්වය ගැන හා ඊට ඇති සමාජ මතය හා සමාජ ඉල්ලුම මොනවගේ තත්ත්වයක තිබෙනවා ද කියන එකත් මම තේරුම් ගත්තා. සහජ හැකියාවන් තිබෙන කලාකරුවන් හිටියත්, ඔවුනට ඒ සඳහා වාණිජමය වටිනාකමක් ලබා ගැනීමට නොහැකිවීමේ හේතු හා තත්ත්ව ගැන මම තේරුම් ගත්තා. එවැනි කලාකරුවන් සහජයෙන්ම පවතින චිත්‍ර කලා හැකියාවන් පසෙකලා, ජීවනෝපාය සඳහා වෙනත් රැකියාවල නිරත වෙනවා. එවැනි අයව මම දැක්කා. ඒ වගේම එවැනි අයව අද සමාජයේ බහුලව දැක ගන්නත් පුළුවන්. මෙය බොහෝ විට සිදුවන්නේ ආර්ථික අවශ්‍යතා හා සමාජයීය බලපෑම මතයි. මේ ගැන මට පැන්සල් සිතුවම් කලාව උගන්වන ගුරුවරිය සමග මම කතා කළා.”
“මම 2020 වර්ෂයේ දී සමාජ මාධ්‍ය ජාලය තුළ ඉන්ස්ටග්‍රෑම් පිටුව (Instagram Page) ජෙනිස් (Jenys) යන නමින් පටන් ගත්තා. එහි දී මගේ පැන්සල් සිතුවම් ලෝකයා සමග බෙදා ගත්තා. එම සිතුවම්වලට වාණිජමය ඉල්ලුමක් ලැබුණා. ගැනුම්කරුවන්ගේ ප්‍රතිචාර වලදී ඔවුන් කිව්වේ - නිර්මාණශීලිත්වයත්, ප්‍රමිතියේ ගුණාත්මක භාවත් ඉහළින්ම තිබෙනවා කියලා. එම වදන් හේතුවෙන් මම කරන දෙය ගැන මට විශ්වාසයක් ඇතිවුණා. ඉන්පසුව මම දිය සායම් මාධ්‍යයෙන් හා ඩිජිටල් මාධ්‍යයෙන් කලා කෘති නිර්මාණය කළා. ඩිජිටල් මාධ්‍යයෙන් අඳින ලද චිත්‍ර අපි හඳුන්වා දුන්නා. එමෙන්ම ත්‍රීමාණ මූර්ති කලාව හඳුන්වා දුන්නා. ඒ සඳහා ලොකු ඉල්ලුමක් ඇති වුණා. ඒ අතර කලාව ගැන හැඟීමක් ඇති, අලුත් විදිහට හිතන තරුණියන් කණ්ඩායමක් මාත් එක්ක වැඩ කරන්න එකතු වුණා.”
මෙලෙස චිත්‍ර හා මූර්ති කලා ලෝකය තුළ ජනනි අලුත් දෙයක් සිදුකරනු ලැබුවාය.

ජනනිගේ සිතුවම් හා මූර්ගි නිර්මාණ
ත්‍රිමාණ මූර්ති කලාව යනු කාලයත් සමග විකාශනය වූ, තාක්ෂණය සහ නිර්මාණශීලීත්වය මුසු වූ ඉතා සංකීර්ණ කලා ශිල්පයකි. මෙහිදී පුද්ගලයාගේ ශරීර ස්වභාවයේ සියලු මානයන් නිවැරදිව නිරූපණය කරමින් සජීවී ස්වරූපයක් ලබා දීම සිදු කෙරේ. ත්‍රිමාණ මූර්ති නෙළීම හුදෙක් රූපයක් මැවීමක් නොව, නිශ්චල ද්‍රව්‍යයකට ජීවයක් පිඹීමක් වැනි කාර්යයකි.
දමිළ සමාජ සංස්කෘතිය තුළ මූර්ති කලාව හුදෙක් අලංකාරය ලෙස පමණක් නොව - එය ඔවුන්ගේ භක්තිය, ඉතිහාසය සහ දර්ශනය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් සේ යොදා ගැනෙන්නකි. ජනනි විසින් එකී මූර්ති කලාවට නව මුහුණුවරක් ලබා දී ඇත. පවුලේ සාමාජිකයෙක් මැරුණ විට ඔහු හෝ ඇයගේ ඡායාරූපයක් නිවසේ තැබීම සාමාන්‍යයෙන් සිදුවේ. නමුත් ජනනි ගේ නිර්මාණාත්මක හඳුන්වා දීම මගින් එම තත්ත්වය වෙනස් වී ඇති බව සඳහන් කළ යුතුය. ඒ අනුව ත්‍රිමාණ මූර්ති කලාව නිසා අලුත් සංස්කෘතියක් උතුරු දමිළ සමාජයේ ඇතිව තිබේ. ඒ පිළිබඳව ඇයගෙන් විමසුවෙමු.
“ත්‍රිමාණ මූර්ති සඳහා ඉල්ලුම තමයි නවතම ප්‍රවණතාව වී තිබෙන්නෙ. පවුලක කෙනෙක් නැතිවුණාම, නැතිවුණ ඔහු හෝ ඇය නිවසේ සිටි ආකාරයට සජීවි රූපයක් ලෙස අපි ත්‍රිමාණ මූර්ති නිර්මාණය කරලා දෙනවා. ගැනුම්කරුවාගේ ඉල්ලීම අනූව එහි උස හා රූපය පිහිටිය යුතු ආකාරය තීරණය වෙනවා.”
“සාමාන්‍යයෙන් දමිළ සමාජයේ වැඩිහිටි පුද්ගලයෙකු හෝ කාන්තාවක් මැරුණ විට ඔවුනගේ ත්‍රිමාණ මූර්තියක් නිර්මාණය කර දෙන ලෙස පවුලේ අය අප වෙත ඉල්ලීම කරන්නෙත් ඉමහත් භක්තියකින් යුතුවයි. එය මැරුණ අය ගැන ඔවුන් දක්වන ගරුත්වයයි. එමෙන්ම මතක සටහන් ලෙසත්, මහා පරිමාණ හෝටල්වල අලංකාරය සඳහා තැබීමටත්, ත්‍රිමාණ රූප කෙරෙහි දේශීයව මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේත්, විදේශිකයන්ගේත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා.”
“ශ්‍රී ලංකාවේ ත්‍රිමාණ මූර්ති කලාවේ දී මිනිසාගේ සජීවී උසකින් හා ප්‍රමාණයකින් යුක්තව මූර්ති නිර්මාණකරණයේ යෙදෙන්නේ අපි පමණයි.”
ජනනි යෝගරාසා ගේ කලාගාරයට නව අනන්‍යතාවක් හිමිව තිබේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙසේය.
“අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් අලුත් නිර්මාණ ශෛලියක් කලා කෘති සඳහා ආරෝපණය කිරීමෙන් දේශීය මෙන්ම විදේශීය රටවලත් වාණිජමය වශයෙන් වටිනාකමක් තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකින් නිර්මාණය කරන කලා කෘතිවලට විදේශීය කලාකරුවන් අතින් නිර්මාණය වන කලා කෘති සමග තරග කළ හැකි වී තිබෙනවා.”

“ගෝලීය කලා නිර්මාණ වෙළෙඳපොළ ගැන සඳහන් කිරීමේදී, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් වලින් අපේ නිර්මාණ සඳහා හොඳ වටිනාකමක් ලැබෙනවා. ඒ අනුව කාන්තාවන් පිරිසක් ලෙස අප සාමුහිකව අපගේ නිර්මාණාත්මක අදහස් බෙදාගනිමින් සිදුකරන මේ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වීමට හැකිවීම ගැන මට ආඩම්බරයක් තිබෙනවා.”
“අපේ කලාගාරයේ සිටින නිර්මාණ ශිල්පිනියන් සියලු දෙනාම ජාතිය, ආගම වැනි සාධක අනුව හෝ අඩු තරමින් අධ්‍යාපන සුදුසුකම් හෝ බලා තෝරාගත් පිරිසක් නෙවෙයි. ඔවුන් සියලු දෙනාම උනන්දුව, කැපවීම, නිර්මාණශීලී හැකියාව හා දියුණුවීමේ අපේක්ෂාවක් ඇති අය. සිංහල හා දමිළ තරුණියන් එක්ව ඉතා ආදරයෙන් සහයෝගයෙන් වැඩ කරනවා. මේ වෙන විට කලාගාරයේ පූර්ණ කාලීනව 14 දෙනෙක් සේවය කරනවා. ඊට අමතරව චිත්‍ර කලාකාරිනියන් 12 ක් සේවය කරනවා. විශ්වවිද්‍යාලයේ සිටින හා වෙනත් රැකියා කරන අතරතුර අපිට සේවය ලබා දෙන 8 දෙනෙකු පමණ ඉන්නවා. කෙසේ වෙතත් 40 කට ආසන්න පිරිසක් කලාගාරයේ සේවය කරනවා. මේ සියලු දෙනාගේ සාමුහික ශ්‍රමයෙන් තමයි කලාගාරයේ වැඩ කටයුතු සිදු වෙන්නෙ.”
“2020 වසරේ කුඩාවට ආරම්භ කළ කටයුත්ත වර්තමානයේ දී සමාගමක් ලෙස ලියාපදිංචි කර අපි පවත්වා ගෙන යනවා. එමෙන්ම වව්නියාවේ දී ඇරඹි කලා කටයුතු පමණක් නොව, මේ වෙනවිට කොළඹ නගරයේ දීත් ජෙනිස් කලාගාරයක් ආරම්භ කර පවත්වා ගෙන යනවා.”
ලංකාවේ උතුරු පළාතේ පැරණි මූර්ති කලාව බොහෝ විට ආගමික ප්‍රතිමා හෝ ස්මාරක වලට සීමා වූ අතර, ජනනි වැනි කලා ශිල්පිනියන් එම රාමුව බිඳ දමා තිබේ. ඔවුන් ත්‍රිමාණ මූර්ති කලාව තුළින් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ සමාජීය අර්බුද ප්‍රශ්න කිරීමට පෙලඹී ඇත. උතුරේ තරුණියන්ට කලාව වෘත්තියක් ලෙස මෙන්ම තම හඬ අවදි කරන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි බවට ජනනි වැනි ශිල්පිනියන් උදාහරණ සපයයි.
“මම අධ්‍යාපනය ලැබූ විෂය ක්ෂේත්‍රයෙන් වෙනස්ම වූ වෘත්තියක නිරත වීමට මට ධෛර්ය දුන්නේ මගේ අම්මා, අක්කා සහ අයියා. ඒ වගේම මගේ ස්වාමි පුරුෂයා. මම දියණියක් සිටින මවක්. පවුල් ජීවිතයත් සමග වෘත්තීමය ජීවිතය සමබරව පවත්වා ගෙන යන්නට මගේ ස්වාමිපුරුෂයා ගෙන් නොමසුරු දායකත්වයත් ලැබෙනවා.”
දෘශ්‍ය කලා අංශයට ජනනි ගේ දායකත්වය නිසා, ත්‍රිමාණ මූර්ති කලාව- හුදෙක් අජීවී වස්තු ඇඹීමක් නොව, නිශ්චිත අදහසක් හෝ සංකල්පයක් අවකාශය තුළ සජීවී ස්පෘශ්‍ය වස්තුවක් බවට පත් කිරීමක් ලෙස පරිවර්තනය වී ඇත.
“ඉදිරියේදී තව අලුත් නිර්මාණ වේශයක් කලාකෘති වලට ගෙන එන්නට උත්සාහ ගනිමින් ඉන්නවා. ඒවගේම අපේකම රැකගත් නව ලෝකයට ගැළපෙන නිර්මාණ කිරීමෙන් විදේශ වෙළෙඳපොළෙහි ඇති නිර්මාණ සමග අපටත් තරග කරන්න පුළුවන්.”
තමන් කැමති ක්ෂේත්‍රය රැකියාවක් ලෙස කිරීම ජීවිතයේ සතුටට වගේම සාර්ථකත්වයටත් බලපාන ප්‍රධාන සාධකයකි. එහිදී ඔහු හෝ ඇය අලුත් දේවල් ඉගෙනගනිමින් වෘත්තීය ගමන සාර්ථක කර ගැනීමට උත්සාහ කරයි. ජනනි එයට කදිම නිදසුනකි. තම කලාකෘති ඇසුරෙන් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලෝකය හමුවේ තැබීමට ඇය සමත් වී ඇත. එමෙන්ම හුදෙක් ගලින් හෝ ලෝහයෙන් නෙළන ලද රූපවලින් ඔබ්බට ගිය, ගැඹුරු දාර්ශනික අර්ථයක් සහ තාක්ෂණික විශිෂ්ටත්වයක් ජනනී ගේ කලා කෘති වල ගැබ් වී තිබේ.
එම්. තාරික්

ඇයගේ මූර්ති නිර්මාණයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd