අනාදිමත් කාලයක සිට අපේ රටේ විවිධ ඇදහිලි ක්‍රම පැවතුණි. බොහෝ දෙනෙක් ගස්, ගල්වලට වන්දනා මාන කළහ. ඒ ඔවුන් තුළ තිබූ විශ්වාසයයි. මේ දේව ඇදහිලි වගේම විවිධ ආගම්වල අයද ඇදහිලි සිදු කළහ. 

දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ බොහෝ දෙනෙක් දෙවියන් ඇදහීම සිදු කළේ අනාදිමත් කාලයක සිටයි. එය බුදුන් වහන්සේගේ කාලය දක්වා විහිදී යයි. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ උන්වහන්සේට වන්දනා මාන කළ දෙවිවරු සිටි බවට සාහිත්‍ය ඉතිහාසයේ දැක්වෙයි. මේ දේව ඇදහිලිවලට ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුලයි. තවමත් ඉන්දියාවේ විවිධ ආගම්වලට අයත් පිරිස් නොකඩවා මේ ඇදහිලි අදටත් සිදු කරති. 

ලංකාවේද මෙම ඇදහිලි අදටත් පවතියි. තමන්ට යම්කිසි ප්‍රශ්නයක් හෝ අසනීපයක් සිදුවූ විට එයට පිහිටක් ලෙස විවිධ දෙවිවරුන්ට බාරහාර වූහ. ඒ දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ඔවුන්ට ලැබෙනු ඇතැයි විශ්වාසය මතයි. එසේ ඇදහිලි කළ අයට සෙතක් ශාන්තියක් ලැබුණ අවස්ථාද තිබේ. විවිධ කාරණා සඳහා ඔවුහු විවිධ දෙවිවරුන්ට නමක්කාර කළහ. 

මෙම දේව ඇදහිලිවලට වඩාත් නැඹුරු වූයේ පොලොන්නරු යුගයේ හින්දු ආක්‍රමණයත් සමඟයි. හින්දු පූජකයෝ දේව රූප අඹමින් විවිධ පූජා පැවැත්වූහ. ඔවුන්ගේ ආගම්වලට අධිපති විවිධ දෙවිවරුන් සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවිවරු ගැන කතා කරන විට දෙවියන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ශක්‍ර දෙවියන්ය. ඊට අමතරව තවත් ප්‍රධාන දෙවිවරු රැසක් සිටිති. හෙළ ජනතාව බුද්ධ ධර්මය ඇතිවීමට පෙර සිටම දෙවි දේවතාවුන් වන්දනා කළහ. ඉන් ප්‍රධානතම දෙවිවරු හතර දෙනා සතරවරම් දෙවිවරු ලෙස සැලකේ. බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසුවද සාමාන්‍ය සිංහල ජනතාව තම සාම්ප්‍රදායික ඇදහිලි අත්නොහැරියහ. ඔවුන් තුනුරුවන් ප්‍රමුඛ කොට සැලකුවද ඊට පහළ නමුත් දෙවි දේවතාවුන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නා සතර වරම් දෙවියන්ටද පූජා පවත්වන ලදී. 

මුල් යුගයේ දෙවිවරු

සිංහලයන්ගේ ලෝක පාලක සතරවරම් දෙවිවරු සංකල්පය හින්දුන් විසින් පිළි නොගැණේ. ඔවුන් අතරත් කුවේර දෙවියන් පමණක් බෞද්ධයන් විසින් පිළිගනු ලැබූහ. ඒ අනුව සතර වරම් දෙවිවරු ලෙස සැලකුවේ ධෘතරාෂ්ට, විරූඪ, විරපාක්‍ෂ සහ වෛශ්‍රවණ හෙවත් කුවේර දෙවියන්ය. එමෙන්ම දීඝනිකායේ ආටානාටිය සූත්‍රය දේශනා කරන්නේද වෛශ්‍රවණ දෙවියන් විසිනි. පසුව බුදුන් වහන්සේ විසින්ම එය නැවත දේශනා කරන ලදී. මෙම ලෝක පාලක දෙවිවරුන් ලාංකික දෙවිවරුන් ලෙස ලංකාවේ ව්‍යාවහාරයට පත්වීම පිළිබඳ සාක්‍ෂි දක්නට ඇත. 1896 දී අනුරාධපුර විජයාරාමය කැනීමේදී සොයාගත් දේවරූප එච්.සී.පී. බේල් විසින් සතර වරම් දේවරූප ලෙස අර්ථ දැක්වීය. 

මධ්‍ය කාලීන සතර වරම් දෙවිවරු 

වරින්වර එල්ල වූ චෝල ආක්‍රමණ නිසා රාජධානි නිරිත දෙසට සංක්‍රමණය විය. ඒ සමගම සමාජමය වෙනස්කම්ද ආරම්භ විය. මෙකී වෙනස්කම් මධ්‍යයේ සමාජ ඇදහිලි විශ්වාසයන්ද ඊට සමාන්තරව වෙනස් විය. දේව දූරාවලියක් නිර්මාණය වන්නේද එලෙසිනි. මෙලෙස වෙනස් වූ මධ්‍ය කාලීන සතර වරම් දෙවිවරුන් ලෙස සැලකෙන්නේ. සමන්, කතරගම දෙවියන්, උපුල්වන් හා විභීෂණ  යන දෙවිවරුයි. වර්තමානයේ කාලීන සතරවරම් දෙවිවරුන් ලෙස නැවතත් මුල් යුගයේ සතරවරම් දෙවිවරුන් සලකනු දක්නට ලැබේ. 

ලෝකයේ ප්‍රධාන දිශා සතර භාර දෙවිවරුන් හතර දෙනක් පත්වූහ. අනු දිශාවන් භාර දෙවිවරුද පත්වූයේ භාරතයේ මුල් යුගයේ පිළිගත් ලෝක පාලක සතර වරම් දෙවිවරුන්ය. ඒ අග්නි, යාම, ශ්විති හා රුද්‍රය යනුවෙනි. ක්‍රිස්තුපූර්ව සයවැනි සියවසේදී පමණ දේව කණ්ඩායමේ තත්ත්වය හා සැකැස්ම වෙනස් විය. එම තනතුරු සඳහා පිළිවෙළින් ඉන්දු, යම්, වරුණ හා කුවේර පත්විය. 

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝමයක් ඇත්තාහ. මින් බහුතරයක් මියගිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ වෙති. ඉන් පසුව සතර වරම් දෙවිවරු සිටියි. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුදුදහම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගාමීව සිංහල දේවාගමේ පුරාණ සම්ප්‍රදායන් අනුව යමින් තවමත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවියන් සිටින බවට විශ්වස කරති. මෙය සිංහල දේව දේවාගම වෙයි. මෙයට අමතරව ප්‍රාදේශීය දෙවිවරු ලෙස තවත් පිරිසක්ද වෙයි. උපුල්වන් දෙවියෝ, විභීෂණ, කතරගම, මහසෙන්, සුමන සමන් දෙවියන්, අයියනායක, ගලේ බණ්ඩාර, සපුමල් බණ්ඩාර, දැඩිමුණ්ඩ, සූනියන් හෙවත් ගම්භාර දෙවියන්, කඩවර, ගැටබරු දෙවියන්, මුතුමාරී දෙවියන්, රංවල දෙවියන්, ඉලන්දාරි දෙවියෝ, කුමාර බණ්ඩාර දෙවියෝ, හිටිබණ්ඩාර දෙවියෝ තනිවැල්ලේ තනිය වල්ලභාන දෙවියන් ලෙස ඔවුහු හඳුන්වති. සාමාන්‍යයෙන් රුක් දෙවිවරුන්ට වෙනම නම් නොමැති අතර අදාළ ගසේ නමින් ඔවුන්ව හඳුන්වයි. ගමේ පන්සලේ නුගේ දෙවියෝ, රුවන්වැලි සෑය තැනීමට එම භූමියේ රන්තෙලබු ගසට අධිගෘහිතව සිටි ස්වර්ණපාලි නමැති දෙවියන් එසේ හඳුන්වයි.

අද වන විටත් බොහෝ වෙහර විහාරස්ථානවල පිංකම් පැවැත්වෙන අතර තුර විවිධ එලි අහසේ සිට පාත් වෙන එළි දැක ගැනීමට පිළිවෙන. මේවා දේවතා එළි ලෙස හඳුන්වයි. දේවතා එලි විහිදුවමින් දෙවිවරු  වන්දනා මාන කරන බව එයින් කියැවෙයි. අදටත් ඇතැම් පිරිස් දෙවි දේවතාවුන් වන්දනා මාන කරන අයුරු දක්නට ලැබේ. ඇත්තටම දෙවිවරු පිරිසක් සිටී ද? මේ බව විමසා බැලුවෙමි. 

ඇත්තටම මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේගෙන් අහනකොට දෙන පිළිතුර තමයි දෙවියන් ඉන්නවා කියලා හිතන අය දෙවියෝ ඉන්නවා කියලා හිතාගන්නවා. දෙවියෝ නැහැ කියලා හිතන අය දෙවියෝ නැහැ කියලා හිතනවා. ඒ වගේ උත්තරයක් තමයි උන්වහන්සේ ලබා දෙන්නේ. එතකොට මේකෙන් අපට පේනවා දෙවියන් කියලා කියන කොට අපිට වර්ගීකරණයක් කරන්න වෙනවා. දෙවිවරු ඉන්නවා සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඉන්නවා. ඔවුන්ට කියන්නේ බෞද්ධ දෙවිවරු කියලා. හින්දු ආගමේ හින්දු ආගමික විශ්වාසවල බොහෝ දෙවිවරු සිටිනවා. ඒ අයට විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ කියලා නම් දීලා තිබෙනවා. අපිට දිව්‍ය ලෝක කියලා ජාතියකුත් තිබෙනවා. එතකොට දිව්‍ය ලෝකවල උපදින්න තරම් පිංකම් කරන්න පුළුවන්කම තිබෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට. ඒ අදහස් පළ කළේ අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේයි. 

උන්වහන්සේ මෙසේ ද පැවසූහ:-

මේ අනුව අපි දෙවියන් වර්ග කර ගැනීමට අවශ්‍යයි. ඉන්නව ද කියලා ඇහුවම මොන දෙවියො ගැනද මේ කියන්නේ. මොන දෙවියන් ගැනද අහන්නේ කියලා ප්‍රශ්නයක් පැන නගිනවනේ. එතකොට බුද්ධාගමේ ධැතරාෂ්ටූ, විරූඩ, විරුපාක්‍ෂ, වෛශ්‍රවන කියලා දෙවිවරු පිරිසක් ඉන්නවා. ඔවුන්ට කියනවා සතර වරම් දෙවිවරු කියලා. අපි ඒවා විශ්වාස හැටියටයි අදහන්නේ. එතකොට දිව්‍යලෝක කියලා තිබෙනවා. තාව සිද්ධිය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිබ්බිත, වසවර්ති කියලා දිව්‍යලෝක 6ක් තිබෙනවා.

අපේ විශ්වාසවල තිබෙනවා හාමුදුරුවෝ නමක් ධර්ම දේශනාවක් කරන්නට ගියාම ධර්ම දේශනාව පටන් ගන්න කලියෙන් උන්වහන්සේ දේවතාරාධනාව කියලා එකක් කරනවා. ගිහි අයට පංච ශීලය සමාදන් කරලා ඊට පස්සේ කරන්නේ හාමුදුරුවන් වහන්සේ දේවතාරාධනාව කරනවා. “සමන්තා චක්ක වාලේසූ” කියන ගාථාවෙන් තමයි ඒ ආරාධනාව කරන්නේ. ඒ ගාථාවෙන් කියන්නේ මේ තුන් ලෝකයේ විශ්වයේ විවිධ තැන්වල වැඩ වාසය කරන දෙවිවරු තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්නට අපි ලඟට එන්න කියලා. එතකොට ඒකෙන් අපිට පේනවා දෙවියෝ කියලා ජාතියක් අපි විශ්වාස කරන දෙවියෝ කියන අය ඉන්නවා කියලා. ඒගොල්ලෝ යහපත් වැඩ, අර්ථවත් වැඩ කිරීමේ ඉහළටම ගිය අය. මනුෂ්‍යයෝ හැටියට ජීවත් වෙමින් ඉහළ මනුෂ්‍යත්වය පෙන්නුම් කරපු කෙනාහට දේවත්වයෙන් අදහපු සමාජයක්නේ අපට තිබෙන්නේ. 

එතකොට “මින්නේරිය දෙවියෝ” ඔය ආදී වශයෙන් මනුෂ්‍යයන්ටත් දේව කියන අදහස දීලා තිබෙනවා. එතකොට දේව කියන වචනය තේරුම් කිහිපයක් තිබෙනවා. දේව කියලා කියපුවම බබලන කියන අර්ථයක් තිබෙනවා. දේව කියලා කියපුවම දෙනවා කියන අදහසකුත් ඇතිවෙනවා. පාලියෙන් දේව කියලා වැස්සටත් කියනවා. “දේවෝ වස්සතු කාලේන” කියන්නේ සුදුසු කාලයට වැස්ස වසිත්වා කියන එක. ඒ අර්ථයත් දේව කියන වචනයේ තිබෙනවා. 

අපිට මේ සිද්ධීන් සියල්ල අධ්‍යයනය කරන කොට පෙනෙනවා අපේ සංස්කෘතිය තුළ යහපත්, සුචරිත, සුභවාදී සමාජ ක්‍රමයක් තුළ යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් ක්‍රියාවලට අධිපතිත්වය දරන්නේ දෙවියෝ කියන අදහසක් තමයි අපිට ගන්න තිබෙන්නේ. 

අපේ සෑම ප්‍රශ්නයක්ම දෙවියන්ට ඉදිරිපත් කරන්නේ ඇයි? 

ඒක අපිට පැති දෙකකින් බලන්න වෙනවා. දැන් අපිට සංස්කෘතික අර්ථයෙන් ගත්තොතින් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන ආදිය කරලා සිත සැහැල්ලු කරගන්න අපි සිත සැහැල්ලු කරගන්න දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒක තමයි බෞද්ධ ක්‍රමය, බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා. තුනුරුවන් වන්දනාමාන කරලා ඔළුව සැහැල්ලු කරගෙන බුද්ධ, ධම්ම, සංඝ කියන තුනුරුවන් මෙනෙහි කරලා ඒවා අපේ ජීවිතවලට ඇතුලත් කර ගන්නවා. එතකොට ඒ යහපත් වැඩ කරන අය විසින් දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. මොකද දෙවියන්ටත් පින් අවශ්‍යයි. මිය පරලොව ගිය ඥාතීන්ටත් පින් අවශ්‍යයි කියන විශ්වාසය බෞද්ධ සමාජය තුළ තිබෙනවා. එතකොට සෑම පින්කමක්ම අවසානයේ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒක තමයි බෞද්ධ ක්‍රමය. 

දෙවියන් හරහා යමක් කරලා දෙනවා කියලා කපු මහත්වරුන් බෞද්ධ සංස්කෘතියේ, පාස්ටර්ලා කියලා පිරිසක් වෙනත් ආගම් සම්ප්‍රදාය තුළ මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒක ආගමික සම්ප්‍රදාය නොවෙයි. ඒක, එක එක මේ ආර්ථිකමය ව්‍යාපාරික ක්‍රමයක් හැටියට තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කපු මහත්වරුන් කරන ක්‍රියාව බෞද්ධ වැඩේම කරන්නත් පුළුවන්. මිනිස්සුන්ගේ හිත සුවපත් කිරීමේ ක්‍රියාව කපු මහත්වරුන්ට කරන්නත් පුළුවන්. අද කපු මහත්වරුන් කරනවා වගේ පෙනෙන්නේ ඔවුන්ගේ බඩ ගෝස්තරවාදි වැඩපිළිවෙළකට දෙවියෝ උකස් තියෙන එක. දෙවියන් කෙරෙහි විශ්වාසයක් ගොඩ නගන එකයි ඔවුන් කරන්නේ. බුදුහාමුදුරුවෝ වුණත් දේශනා කරලා තිබෙනවා. රතන සූත්‍රයෙන් මේ දෙවිවරු මිනිස්සුන්ව ආරක්‍ෂා කරන්න කියලා. එතකොට ඒ මුවාවෙන් කපුමහත්වරු ජීවත් වීමට ජීවනෝපායක් හදාගෙන තිබෙනවා අද වර්තමාන සමාජය තුළ. එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා දෙවියෝ ඉන්නව ද? නැද්ද? කියලා. කපු මහත්වරු මේ කරන වැඩෙන්, එතැනදි දෙවියන්ටත් බනිනවා.

දැන් පසුගිය කාලයේ දේවකෝපයක් වගේ වුණානේ මහ වැස්සකුත් සමඟ. ඒක දේවකෝපයක් උනා. එතකොට අපි කියන්නේ දෙවියන්ටත් කේන්ති යනවා කියන එකනේ. දෙවියන්ට අනවශ්‍ය විදිහට තෙරපන කොට, අනවශ්‍ය විදිහට ගරහන කොට, ආගම දහමට ගරහන කොට, මිනිස්සුන්ගේ සුචරිත ධර්ම අඩු වෙන කොට නරක ගුණධර්ම මතුවෙන කොට දෙවියෝ කෝප වෙනවා කියලා විශ්වාසයක් ඇති වෙනවා. එතකොට කිසියම් බලයක් දෙවියෙක් හිටියත්, නැතත් සමාජ මතයක් තිබෙනවා. 
නිරෝෂණ කුමාර

තවත් කොටසක් ලබන සතියට