
දත් යනු හුදෙක් ආහාර හැපීමට පමණක් උපයෝගී කරගන්නා උපාංගයක් වශයෙන් සැලකෙතත්, සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ. බොහෝවිට බොහෝ දෙනෙකුට කුඩා කාලයේ දත් සම්බන්ධව ප්‍රමාණවත් අවබෝධයක් නැති වූවත්, දත් මැද පිරිසුදුව තබා ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස නොතැකුණත්, ස්ථිර දත් මතුවුණු දා පටන් ඒවා අපේ දෑස් මෙන් රැක බලා ගැනීම අතිශය වැදගත් ය.
ආහාර ජීර්ණයට දත් අවශ්‍යයෙන්ම වැදගත් වේ. ආහාර හොඳින් සපා කුඩා කැබැලිති බවට පත් කිරීම, හොඳින් කලවම් කිරීම හා ඇඹරීම යනාදිය මගින් ඒවා ජීර්ණ පද්ධතියට පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට හැකි තත්ත්වයට පත් කෙරේ.
තවද, පැහැදිලිව වචන උච්චාරණයට දත් මගින් ඉටු කෙරෙනුයේ අනුපමේය මෙහෙවරකැයි ද සඳහන් කළ හැකිවේ. සි’, ති’, දි’ වැනි දන්තජ අකුරු දත් නොමැතිව උච්චාරණය කළ නොහැක. එමෙන්ම මුහුණට ලස්සන හැඩයක් ගෙන දීමට ද දත් ඉවහල් වේ. හකු අස්ථි සහ මුහුණේ මස්පිඬු නිසි පරිදි පවත්වා ගැනීම සිදුවන්නේ දත් පිළිවෙළට, ලස්සනට තිබෙනවා නම් පමණි. එපමණක් ද නොවේ ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට ද දත් වැදගත් වෙනු ඇත. සුන්දර සිනහවකට උරුමකම් කීම යනු සමාජීය වශයෙන් පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමකි.
මනුෂ්‍ය අප අයත් වන්නේ කිරි බී වැඩෙන සතුන් නැතිනම් ක්ෂීරපායින් ඇතුළත් කාණ්ඩයටය. ක්ෂීරපායීන් සෙසු සත්ත්ව විශේෂ වලින් වෙන් වන්නේ හුදෙක් කිරි බී වැඩෙන නිසා පමණක්ම නොවේ. ප්‍රථමයෙන් කිරිදත් සහ පසුව ස්ථිරදත් වශයෙන් ජනිත වී සැකසෙන්නේ ක්ෂීරපායීන්ගේ පමණි. එමෙන්ම එක් එක් කෘත්‍යය සඳහා වෙනස් ස්වරූප වල දත් ඇත්තේ ද ක්ෂීරපායී සතුන්ගේ පමණි.
කෘන්තක, රදනක, පුරස්චාර්වක හා චාර්වක යනු අපට ඇති දත් වර්ග හතරය. වැඩුණු කෙනෙකු සතු දත් සංඛ්‍යාව32 කි. ඉදිරිපසින්ම ඇති දත් 8කෘන්තක දත් සේ හඳුන්වනවා ඇත. ආහාර හපා, කැබලි කර ගැනීමට මේවා උපකාරී වෙයි. රඳනක දත් යනු කෘන්තක දත් දෙපස ඇති උල් දත් හතරය. ආහාර, විශේෂයෙන් මාංශ වර්ග ඉරා ගැනීමට මේවා ඉවහල් කර ගැනේ. පුරස්චාර්වක දත් පිහිටන්නේ, රඳනක දත්වලට පිටුපසිනි. පුරස්චාර්වක දත් 8 කි. ඒවායේ කාර්යය වන්නේ ආහාර ඇඹරීමය. චාර්වක දත් හනුවේ කෙළවරෙහි පිහිටනු ඇත. සංඛ්‍යාවෙන් 12 කි. සවිමත් ආහාර තව දුරටත් ඇඹරීම සිදු කරන්නේ මෙම චාර්වක දත් වලිනි. සාමාන්‍යයෙන් දත් 32 ක් ඇතැයි ව්‍යවහාරයේ දී කීවත්, වැඩි දෙනකුට දත් 32 ක් නැත. අන්තිම දත් දෙක ලෙස සැලකෙන්නේ ඥාන දත් ය. මේවා අයත් වන්නේ ද චාර්වක යන කාණ්ඩයටය.
ඥාන දත්, ඉංග්‍රීසියෙන් විස්ඩම් ටූත් යනුවෙන් හැඳින්වෙන මේවා බොහෝ දෙනකුට නැත්තේ ඇයි?
ඥානය නැතිනම් මොළේ නැති නිසාද? නැත. ඥානදත් සහ බුද්ධි මට්ටම අතරේ සම්බන්ධයක් නැත. නමුත් ඥානදත් මතු වන්නේ අවුරුදු17-25 අතර කාලයේ හෝ 25-30 අතර කාලයේ යැයි දන්ත වෛද්‍යවරු කියති. බොහෝ දෙනකුට මේ ඥාන දත් හිසරදයක් වෙන්නේ, දත මතුවීමට හනුවේ ප්‍රමාණවත් ඉඩක් නොමැති වීම නිසාය. ඥානදත් කෙළින් මතු නොවී ඇලයට හෝ තිරස් අතට මතුවීම ගැටලුවකි. දතෙන් කොටසක් පමණක් මතු වී ඉතිරිය විදුරුමසින් වැසී පැවැතීම හේතුවෙන් ආහාර රැඳී විදුරුමස් ඉදිමීම සහ නිතර ආසාදන ඇතිවීමට ඉඩ තිබේ . අවට ඇති දත් තෙරපීම නිසා දැඩි වේදනාවක් සහ හිසරදයක් හට ගත හැකිය. වර්තමානයේ දන්ත වෛද්‍යවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නේ රෝගියාගේ සෑම දතක්ම පාහේ ආරක්ෂා කර දීමටය. දත් ගැලවීම යනු අවසන් විකල්පයයි. කෙසේ නමුත් ඥානදත් හිසරදයක් වෙද්දී, ඒවා ගැලවීම සිදු කෙරේ. ඥානදත නිසා නිතර නිතර විදුරුමස් ආසාදන ඇතිවන්නේ නම්, මේ ඥානදත් යාබද දත් වලට හානි සිදු කරයි නම්, ඥානදත් දිරායාමට ලක්වී ඇත්නම් හෝ එය පිරවීම අපහසු ස්ථානයක පිහිටයි නම්, ඥාන දත ගැලවීම හැර වෙන විකල්පයක් නැත.
මනුෂ්‍ය අපේ මුඛයේ ඇති දත් ගණන 32 ක් විය යුතුයි නම්, මේ ඥානදත්වලට මුඛය තුළ ඉඩ මදි වන්නේ ඇයි?
ඥානදත් මනුෂ්‍ය පරිණාමයේ කතාවට සෘජුව සම්බන්ධ වේ. මිනිස් පරිණාමික ඉතිහාසය දෙස බලද්දී, අප සිරුරේ සිදුවූ කැපී පෙනෙන වෙනස්කම් අතර - හකුඇටය සහ දත්වල ව්‍යුහය ප්‍රධාන තැනක් ගනී. වසර මිලියන කිහිපයකට පෙර විසූ මුල් කාලීන මානවයන්ට අදට වඩා ඉතා ශක්තිමත්, ඉදිරියට නෙරා ආ විශාල හකුඇට පිහිටා තිබුණි. මෙම ව්‍යුහ පුරාණ මානවයන්ට අත්‍යවශ්‍ය වූයේ එකල ඔවුන් පරිභෝජනය කළ රළු සහ තන්තුමය ආහාර නිසාය. අමු මස්, ශාක කොටස් සහ ඇට වර්ග වැනි දෑ සපා කෑමට සහ ඇඹරීමට විශාල පීඩනයක් යෙදිය හැකි ශක්තිමත් දත් පෙළක් ඔවුන් සතු විය.
මිනිස් ඉතිහාසයේ දැවැන්තම විප්ලවය සිදු වූයේ ගින්දර සොයාගැනීමත් සමගය. ගින්දර භාවිතයෙන් ආහාර පිසීමට හුරු වීමත් සමග, ආහාරවල තිබූ සවිමත් බව සහ තදගතිය සැලකිය යුතු ලෙස අඩුවිය. පිසින ලද මස් සහ ශාක කොටස් මෘදු වූ බැවින්, ඒවා සැපීම සඳහා විශාල බලයක් සහිත හකුඇටයක හෝ විශාල දත් පෙළක අවශ්‍යතාව ක්‍රමයෙන් නැති වී ගියේය. පරිණාමික ක්‍රියාවලියේ දී භාවිතය අඩුවන අවයව කාලයත් සමග කුඩාවීම හෝ වෙනස්වීම ස්වාභාවික වන අතර, ඒ අනුව මානව හකුඇටය ද ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩා වන්නට විය.
කෙසේ නමුත් එසේ හකුඇටය කුඩා වුවද, අපගේ දත් සංඛ්‍යාව තවමත් (අද වනවිටත්) ජානමය වශයෙන් තීරණය වී ඇත්තේ පැරණි ප්‍රමාණයටමය. මෙහිදී වඩාත්ම අර්බුදයට පත්ව ඇත්තේ ඥානදත් ය. හකු ඇටය ප්‍රමාණයෙන් කුඩා වෙද්දී, අනෙකුත් දත් සියල්ල පිරී පවතින හක්කේ කෙළවරින්ම ඇති ඥානදත් මතුවීමට අවශ්‍ය ඉඩකඩ අහිමි විය. අතීත මානවයාට අතිරේක ඇඹරුම් දත් ලෙස ඥානදත් අත්‍යවශ්‍ය වුවත්, වර්තමාන මානවයාට ඒවා බොහෝ විට මතුවන්නේ විදුරුමස හෝ හකු ඇටය තුළ තෙරපෙමිනි. අද වන විට බොහෝ දෙනෙකුට ඥානදත් මතුවීමේ දී ඇතිවන වේදනාවට සහ විවිධ සංකූලතා වලට හේතුව වන්නේ මෙම පරිණාමික නොගැළපීම නිසාය. හකුඇටය කෙටිවීම නිසා ඥානදත් වලට නිසි ලෙසට මතුවීමට ඉඩක් නොමැති අතර, එය ඇදයට හෝ අර්ධ වශයෙන් මතුවීමට උත්සාහ ගනී. මානව විද්‍යාඥයන් පවසන්නේ මෙය මිනිස් සිරුර තවමත් පරිණාමය වෙමින් පවතින බවට හොඳම නිදසුනක් බවය. ඇතැම් පුද්ගලයන්ට දැන් උපතින්ම ඥානදත් නොපිහිටන අතර, අනාගතයේදී මිනිස් වර්ගයාට ඥානදත් සම්පූර්ණයෙන්ම අහිමි වීමේ ප්‍රවණතාවක් ද පවතී.
ලුසිත ජයමාන්න
බ්‍රේන් මේස් ඇසුරිනි



COMMENTS