දිට්වා සුළි කුණාටුව අපට බොහෝ දේ අහිමි කළේය. එහෙත් වෙනත් කිසිදු ජාතියක් අතර නැති මහා මිනිස්කමත්, අනෙකාගේ දුකේදී පිහිටවීමේ ගුණාංගයත් ඒ සමග දෝරේ ගලන්නට වූයේ ගම්බිම් යට කරමින් ගලා ගිය මහා ජල කඳ දෙවැනි තැනට ඇද දමමිනි.

ඒ මහා ව්‍යසනයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බිම් රැසකටද විශාල හානියක් සිදුවිය. ප්‍රදේශයේ විනාශයට පත් මංමාවත්, ඇළ අමුණු, පාසල් ගොඩනැගිලි පිළිසකර කරන්නට වසර දෙකතුනක්වත් ගතවනු ඇතැයි වගකිවයුත්තන් කියාසිටිද්දී ඒ මහා මිනිස්කම මහා පවුරක් වෙමින්   මසකටත් අඩු කාලයකදී විනාශවූ ගම්බිම්වල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර දෙන්නට සමත්වූයේ සමස්ත ලෝකයාටම ශ්‍රී ලාංකික අභිමානය මේ යැයි කියා පාමිනි.

රාජ්‍ය යාන්ත්‍රණයත් සමග පෙරට ආ දකුණේ ජනතාව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිය දහස් ගණනක් වූ ස්වේච්ඡා කණ්ඩායම් විපතට පත් ජනතාවට ආහාර පාන, රෙදි පිළි පමණක් ලබා දීමෙන් සෑහීමකට පත් නොවූහ. ඔවුහු විනාශ වූ ගම්බිම් යළි ගොඩනැඟීමේ කාර්යයට දිවා රෑ වෙහෙසෙන්නට වූහ. පැමිණි බොහෝ දෙනෙකු නිසි ආහාර වේලක් පවා නොමැතිව සීතලේ ගැහෙමින් මදුරුවන් තළමින් මෙම ප්‍රදේශයන්හි තැන තැන රැඳී සිටිමින් විනාශයට පත් මංමාවත් පාලම් බෝක්කු, ඇළ අමුණු ගොඩනගන්නට වූහ.  

මෙලෙස දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි පිරිස අතරේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍ර ක්‍රියාකරු වන ඩී. කේ චමින්ද ද විය. දිවා රෑ වෙහෙසෙමින් මසකට ආසන්න කාලයක්  තිස්සේ ඔහු මීගහකිවුල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වූ මංමාවත්, පාසැල් ඇළ අමුණු යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙස වූයේ සමස්ත රාජ්‍ය සේවකයන්ටම ආදර්ශයක් සපයමිනි. එපමණක් නොව මුළු මීගහකිවුල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේම ලොකු කුඩා කා අතරත් හිතවතෙකු, වීරයෙකු සේම ආදර්ශවත් චරිතයක් වන්නට ඔහුට ගතවූයේ මාසයකටත් අඩු කාලයකි.

ඔහු කොතරම් කතා බහට ලක්වූ චරිතයක් දැයි කිවහොත් දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත්වූ  මීගහකිවුල ජාතික පාසල බැලීමට පැමිණි අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සිය කටයුතු මඳකට පසෙක තබා ඔහු සොයා ගොස් ඔහුගේ සේවය අගයමින් ඔහුට ස්තුති කරන්නටද අමතක නොකළේ ඔහුගේ සේවය ඒ තරමටම වැදගත් වූ නිසාය.

ඔහු කොතරම් නම් ආදර්ශවත් චරිතයක් දැයි කිවහොත් පසුගිය දිනෙක මීගහකිවුල ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් පැවැති උත්සවයකදී ඔහුගේ සේවය අගයමින් කුඹල්වෙල මහමෙව්නා භාවනා අසපුවේ අධිපති නෙළුවේ ඥානවිමල ස්වාමීන් වහන්සේ විසින් ඔහු වෙත පරිත්‍යාග කළ රුපියල් ලක්ෂයක මුදල ඔහු ඒ මොහොතේම මීගහකිවුල ජාතික පාසල ගොඩනැංවීමේ කටයුත්ත වෙනුවෙන් යළි භාර දුන්නේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිස පුදුමයට පත්කරමිනි.

රටටත් සමස්ත රාජ්‍ය සේවයටත් මහා ආදර්ශයක් වූ මේ අපූරැ පුද්ගලයා පිළිබඳ සොයා යද්දී අපට අසන්නට ලැබුණු තවත් කතාවකින් කියවුණේ ඔහු ඉකුත් 2024 වසරේ දකුණු පළාතට බලපෑ ගංවතුර අවස්ථාවේදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ ප්‍රදේශයේ ගර්භිණී මාතාවක් සිය ජේසීබී යන්ත්‍රයේ පස් හාරන කුල්ල මත තබාගෙන මහා ගංවතුර මැදින් කිලෝමීටර් ගණනාවක් ගෙවාගෙන රෝහලක් කරා ගෙන ගිය පුවතකි.තවත් විටෙක ඔහු වයෝවෘද්ධ මාතාවකගේ විශ්‍රාම වැටුප සහිත මුදල් පසුම්බිය බිම වැටී තිබියදී අහුලා ගෙන ඇයට පරිත්‍යාග කරන්නට තරම් ආදර්ශවත් චරිතයක් විය.

ඔහු අපට මුණ ගැසුණේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මීගහකිවුල ජාතික පාසලේ දරු දැරියන් සඳහා පොත්පත් මෙන්ම පාසලේ මාධ්‍ය ඒකකය, ප්‍රධාන කාර්යාලය ඇතුළු එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ පනස් තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීම පිණීස කුඹල්වෙල මහමෙව්නා භාවනා අසපුවේ අධිපති නෙළුවේ ඥානවිමල ස්වාමීන්වහන්සේ විසින් සංවිධානය කළ උත්සවයක ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක ඇතුළු මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් අතිවිශාල පිරිසක් ද සහභාගී වූහ. ලද විවේකයේදී අපි මීගහකිවුලේ ජනතාව අතර ඔහු මේ තරම් ප්‍රසිද්ධ චරිතයක් වීමට හේතු වූ කරුණු ගැන විමසුවෙමු. එහෙත් ඊට ඔහුගෙන් ලැබුණේ කරුණාබර සිනහවක් පමණි. අපගේ ඉල්ලීම මත ඔහු සිය හඬ අවදි කළේය.

‘‘මම අවුරුදු දහසයක් තිස්සේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය කරනවා. මම විවාහකයි. දරුවො දෙන්නෙක් ඉන්නවා. බිරිඳ සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරිවරියක් ලෙස සේවය කරනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු අපේ සභාවේ සමන් සුරවීර   සභාපතිතුමා මට කතා කරල කිව්වා ජේසීබී යන්ත්‍රයත් අරන් බදුල්ල ප්‍රදේශයට ගිහිල්ලා එම ප්‍රදේශවල විනාශ වූ මංමාවත් ගොඩනැගිලි ආදිය පිළිසකර කිරීමේ කටයුතුවලට උදව් වෙන්න කියලා. මං හරි සතුටින් ආවේ.

බදුල්ලට ආවම බොහොම සුහදශීලීව අවශ්‍ය පහසුකම් ලබා දෙන්න මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ පිරිස කටයුතු කළා. මම ප්‍රදේශයේ විනාශවූ මාර්ග, ඇළ අමුණු රැසක් පිළිසකර කිරීමේ කටයුතුවලට සහාය වුණා. සමහර වෙලාවට රෑත් වැඩ කරපු අවස්ථා තිබුණා.

ඔය අතරෙ තමා මම මීගහකිවුල ජාතික පාසලට යොමුවුණේ. මම යද්දි පාසැලේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් රොන්මඩ, ගස්, ගල්වලින් යටවෙලා තිබුණේ. ඒ වන විටත් පිට ප්‍රදේශවලින් ආව විශාල පිරිසක් පාසල පිරිසිදු කරමින් හිටියා. ජේසීබී යන්ත්‍ර යොදවලා තිබුණත් සමහරු  වැඩේ අමාරු නිසා අතරමග දාල ගිහින් තිබුණා. මම සෑහෙන මහන්සියක් අරන් ගොඩනැගිලි අතර තිබුණු ගස්, ගල් ඉවත්කරල වැඩ කරමින් සිටි පිරිසට වැඩ පහසුකරල දුන්නා”.

අගමැතිනියගේ හමුවිම චමින්දටද අපූරු මතක සටහනකි. ඒ ගැන ඔහු මෙසේ කීය.

“මම එදත් ජාතික පාසලේ පස් ඉවත්කරමින් සිටියේ. අසපුවේ නායක හාමුදුරුවො මා ගැන අගමැතිතුමියට කියල තිබුණා. එතුමිය මාව හොයාගෙන ඇවිත් විස්තර ඇහුවා. මගේ සේවය අගය කළා. ඇත්තටම රාජ්‍ය නායකයෙකුගෙන් සේවා ඇගයීමක් ලැබීම මට මහා ශක්තියක්.”

සේවය අගයමින් තමුන්ට ලැබුණු ලක්ෂයක මුදල යළි භාරදීම ගැනද අපි ඔහුගෙන් ඇසුවෙමු.

‘‘මීගහකිවුල ජාතික පාසලට රුපියල් ලක්ෂ 53ක්  විතර වටින භාණ්ඩ පරිත්‍යාග කරනවා, ඒ වගේම දරුවන්ට පොත්පත්, අයිස් ක්‍රීම්, පීසා වගේ දේවල් ලබාදෙනවා. ඔයා මේ පාසැල ගොඩනඟන්න විශාල සේවයක් කළ නිසා ඒ උත්සවයට එන්න කියලා මට කුඹල්වෙල අසපුවේ හාමුදුරුවෝ ආරාධනා කළේ.  මම ඒ ගැන අපේ අකුරැස්සේ සභාපතිතුමාට කිව්වට පස්සේ එතුමත් මාත් එක්ක මේ ගමන ආවා. ඒ උත්සවය අතරෙදි තමයි එක් වරම හාමුදුරුවෝ උපහාරයක් තියෙනවා පිළිගන්න එන්න කියලා වේදිකාවට කැඳෙව්වේ. මම වගේ රියැදුරෙකුට මෙහෙම දෙයක් කරනවා කිව්වා මට ලොකු පුදුමයක් හිතට ආවා. ඊට පස්සේ මට අගමැතිතුමිය, ඒවගේම නායක හාමුදුරුවෝ එක්ක ගත්ත ඡායාරූප මතක සටහන් ඇතුළත් කරපු සමරු තිළිණයක් ලබල දුන්නා. මගේ සේවය අගයලා රුපියල් ලක්ෂයක  මුදල් සහිත ලියුම්කවරයක් පරිත්‍යාග කළා. මෙච්චර විපතකට පත් වෙච්ච මිනිස්සුන්ගෙන් මම කොහොම ද මේ විදිහේ මුදල් තෑග්ගක් ගන්නෙ කියලයි මට හිතුණෙ. ඒ නිසා මම ඒ මොහොතෙම ඒ මුදල මීගහකිවුල ජාතික පාසල ගොඩනැගීමේ කටයුතු සඳහා යොදා ගන්න කියලා ගරු ස්වාමීන් වහන්සේට පරිත්‍යාග කළා. ඒ මුදල ගත්ත නම් මම මාසයක් තිස්සේ මේ ප්‍රදේශයට කරපු සේවයෙන් වැඩක් නැතුව යනවා.”

ගංවතුර අවස්ථාවේදී ගර්භිණී මාතාවකට උදව් වූ මොහොත ගැනද අපි ඔහුගෙන් ඇසුවෙමු.

“පහුගිය 2024 මහ ගංවතුරෙන් අකුරැස්ස ප්‍රදේශයේ පාරවල් සම්පූර්ණයෙන්ම වැහිල ගියා. ඔය වෙලාවෙ තමයි ගර්භිණී අම්මා කෙනෙක් අමාරු වෙලා රෝහලට යන්න විදිහක් නැතුව හිටියේ. ඒ වනවිට ප්‍රාදේශීය සභාව තිබුණේ ලේකම් තුමාගේ පාලනය යටතේ. මම ලේකම් තුමාගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. එතුමත් කිව්වේ අපි මේ අම්මා වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනැ කියලා. නමුත් කාටවත් කරන්න දෙයක් තිබුණෙ නැහැ. අවසානයේදී මම ජේසීබී යන්ත්‍රයේ පස් ගෙනියන කුල්ල උඩ ඒ අම්මයි, එයාගෙ පවුලේ උදවියයි තියාගෙන ඉතාම සුරක්ෂිතව ඇය රෝහලට ගෙනිච්චා.

එහෙම නොගෙනියන්න ඇතැම් විට අවාසනාවන්ත සිදුවීමකට පවා ලක්වෙන්න තිබුණා.”

මීගහකිවුල ජාතික පාසලේ අජන්ත පද්මකුමාර මෙසේ කීය.

“චමින්ද මහත්තය මට හමුවුණු මිනිසුන් අතර ඉතාම සුවිශේෂ පුද්ගලයෙක්. රැකියාව සේවයක් කරගෙන තමයි ඔහු වැඩ කරන්නේ. ඔහුට දවල්ද රෑ ද කියන එක අදාළ නෑ. මීගහකිවුල ජාතික පාසලට මහා විනාසයක් සිදුවෙලා තිබ්බා. සමහර තැන්වලට වාහන යන්න බෑ. එහෙම තැන්වලට චමින්ද මහත්තයා ගිහිල්ලා පස් දාලා ජේසීබී යන්ත්‍රයෙන්ම තළලා වාහනවලට යන්න පාර හදලා දීල තමයි ඒ අපද්‍රව්‍ය ඉවත් කරන්න කටයුතු කළේ.”

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මෙසේ කීය.

“අද රාජ්‍ය සේවය ගැන විවිධ විවේචන තියෙනවා. හැබැයි ඒ අතර චමින්ද මහත්තයා වගේ නිලධාරීන් ඉන්න එක අපිට විශාල ආඩම්බරයක්. ඔහු තමන්ගේ කියලා කිසි කෙනෙක් නැති ප්‍රදේශයකට ඇවිල්ලා මේ දරුවෝ හා ගම්වාසීන් වෙනුවෙන් කරපු සේවය අගය කරන්න ඕනෑ.”

කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අධිපති නෙළුවේ ඥානවිමල ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූහ.

“මීගහකිවුල ජාතික පාසලට විශාල විනාශයක් වෙලා තියෙන නිසා  මම පාසැල ගොඩනැගීමේ කටයුත්තට අත ගැහුවා.පාසලේ ප්‍රධාන කාර්යාලය, මාධ්‍ය ඒකකය, ගොඩනැංවීමට අප කටයුතු කළා. අවශ්‍ය සංගීත භාණ්ඩ, දරුවන්ට අවශ්‍ය පොත් පත් ලබාදීමට කටයුතු කළා. මේ කටයුතු සොයා බලන්න ආපු වෙලාවෙ තමයි චමින්ද මහත්තයා ගැන මට අහන්න ලැබුණේ. මේ වගේ අය අපේ රටට සම්පතක්.”

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් සුරවීර අදහස් පළ කළේය.

“චමින්ද අපේ සභාවේ ඉන්න හොඳම සේවකයෙක්. වගකීමක් ඇතුව වැඩක් බාර දෙන්න පුළුවන් පුද්ගලයෙක්. ඔහු කරපු බොහෝ හොඳ කටයුතු තියෙනව. මීගහකිවුල ජාතික පාසල වගේම මීගහකිවුල ප්‍රදේශය ගොඩනැංවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බව මෙතැනදී කියවුණා. මීටත් වඩා විශාල වැඩ කොටසක් අප සභාව වෙනුවෙන් මොහු නිරන්තරයෙන් ඉටු කරනවා. එවැනි සේවකයෝ ඉන්න සභාවක සභාපතිවීම මටත් අපේ සභාවටත් විශාල ආඩම්බරයක්.”

වියලු‍ව නිශාන්ත කුමාර