
ඔහු 2017 වසරේදී ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූයේ ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හි යෝමෙයිටී ජාතික උද්‍යානයේ පිහිටි එල් කැපිටන් සිරස් ශිකරය කිසිදු ආරක්ෂක උපකරණයක් නොමැතිව තරණය කිරීමෙනි. දැන් 40 හැවිරිදි වියේ පසුවන මෙම කඳු නගින්නා තායිවානයේ පිහිටි තායිපේ 101 ගොඩනැගිල්ල කිසිදු ආරක්ෂක උපකරණයක් නොමැතිව තරණය කළ පළමුවැන්නා ලෙසින් නැවැත වරක් ලෝක වාර්තාවක් තබා ඇත.
ඇමෙරිකානු ජාතික කඳුනගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ් පසුගියදා තායිපේ 101 ස්කයිකේපරය මුදුණටම ළඟා වූයේ අවම වශයෙන් ලණුවක් හෝ උපයෝගී නොකර වීම ද විශේෂත්වයකි.
හොනෝල්ඩ් තායිපේ 101 කුලුන තරණය කිරීමට මුලින් සැලසුම් කර තිබුණේ ජනවාරි 24 වැනිදාය. එහෙත් එදින ඇදහැළුණු වර්ෂාව හේතුවෙන්, මුලින් සැලසුම් කළ දිනට වඩා දිනකට පසුව එනම් ජනවාරි 25 වැනි දින ඔහු සිය ගුරුත්වාකර්ෂණ-විරෝධී ප්‍රයත්නය සම්පූර්ණ කළේය. අඩි 1,667 ක් උසැති මහල් 101 කින් යුතු මෙම කුලුනට කිසිදු බාහිර සහායක් නොමැතිව නැගීම සඳහා ඔහුට ගතවූ කාලය පැයයි මිනිත්තු 31 කි.
හොනෝල්ඩ් ගේ මෙම දස්කම තත්පර දහයක ප්‍රමාදයකින් යුතුව නෙට්ෆ්ලික්ස් හි සජීවීව විකාශනය වූ අතර, තායිපේ 101 කුලුන තරණය කරන විට ඔහු රතු පැහැති ටී-ෂර්ටයක්, කළු කලිසමක් සහ කඳු නඟින්නන් පලඳින ආකාරයේ කහ පැහැති සපත්තු යුවළක් පැලඳ සිටියේය. ඔහුගේ ඉණ හරියට වන්නට සුදු පැහැති කුඩා මල්ලක් සවි කර තිබූ අතර, එය සුදුහුණු දැමූ බෑගයක් බව පසුව අනාවරණය විය. ගොඩනැගිල්ලේ බාහිර පෙනුම සෑදෙන ලෝහ ව්‍යුහයන් සහ බාල්ක වඩා හොඳින් ග්‍රහණය කර ගැනීම සඳහා ඔහු වරින් වර තම දෑත්වල හුණු තවරා ගන්නා අයුරු දකින්නට ලැබුණි.
වයස අවුරුදු 40 ක් වූ මෙම ක්‍රීඩකයා ගොඩනැගිල්ලේ එක් කොනකින් එහි ඉහළට නැග්ගේ තමාගේම ශක්තිය පමණක් උපයෝගී කර ගනිමිනි. ක්‍රමානුකූලව ඉහළට යන අතරතුර විවේකගැනීම සඳහා ඔහු වරින් වර නතර වූ නමුත්, ගොඩනැගිල්ල තරණය කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත පැවසුවේ ඉහළට නගින විට තමාට කිසි විටෙකත් වෙහෙසක් නොදැනුණු බවයි.
“ඒක හරියට සතුටුදායක වෙහෙසක් වගේ. ඔයා දන්නවද, ඒක මට දැනුණේ ධාවන තරගයකට සහභාගි වෙනවා වගේ. තරගය අවසන් වන විට ඔබට හිතෙන්න ගන්නවා “හරි, මම මහන්සි වෙනවා, නමුත් මම දන්නවා මම අවසන් රේඛාව තරණය කරනවා” කියලා. අන්න ඒ වගේ හැඟීමක් තමයි මට දැනුණේ” යැයි හොනෝල්ඩ් රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

හොනෝල්ඩ් කුලුන තරණය කරන ආකාරය නැරඹීමට දහස් ගණනක පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් වීදියේ සිට මෙන්ම වානේ සහ වීදුරුවලින් සාදන ලද මහල් 101 කින් යුත් ගොඩනැගිල්ල ඇතුළතද රැස්ව සිටියහ. අවසානයේ ඔහු කුලුනේ කොත මුදුනට ළඟා වී පහත රැස්ව සිටි පිරිසට සිය දෑත් ඔසවා ආචාර කරන විට නරඹන් සියලු දෙනාම ප්‍රීති ඝෝෂා නැඟුහ. සාමාන්‍යයෙන් හුදකලා කාන්තාර ප්‍රදේශවල කඳු නැඟ පුරුදු හොනෝල්ඩ්ට නරඹන්නන්ගේ පැමිණීම තරමක් අලුත් අත්දැකීමක් විය.
“පළවැනි අඩිය ඉහළට තබද්දිම මගේ හිත කිව්වා “ඔහ්, ඒක ටිකක් තීව්‍රයි, ගොඩක් අය බලාගෙන ඉන්නවා” කියලා. ඓතිහාසික තායිපේ 101 නැගීම සම්පූර්ණ කිරීමෙන් පසු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. “නමුත්, අවංකවම, ඔවුන් සියලු දෙනාම මට සුභ පැතුවා. මේ සියලු හොඳ මිනිසුන් මට සහයෝගය දක්වමින් හොඳ සහයෝගයක් දුන්නා”
“ස්පයිඩර් මෑන්” ලෙස හඳුන්වන ප්‍රංශ කඳු නගින්නෙකු වන ඇලයින් රොබට් 2004 දී තායිපේ 101 කුලුන තරණය කළ අතර, ඔහු එහිදී ඉහළට නැගීම සඳහා ආරක්ෂිත උපකරණ භාවිත කළේය. එහෙත් ලණු නොමැතිව සම්පූර්ණයෙන්ම ශරීර ශක්තියෙන් පමණක් එම උත්සාහය සාක්ෂාත් කරගත් පළමු පුද්ගලයා ලෙසින් හොනෝල්ඩ් ඉතිහාසගත විය. දශක දෙකකට පෙර රොබට් සිය නැගීම සිදුකරන විට ලොව උසම ගොඩනැගිල්ල වූයේ තායිපේ 101 කුලුනයි. දැන් එම වාර්තාව ඩුබායි රාජ්‍යයේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල සතු වන අතර, එහි උස අඩි අඩි 2,717 කි.
“මට එය දැනුණේ හරියට අනන්තය වෙත යනවා වගෙයි” ගොඩනැගිල්ල තරණය කිරීමෙන් අනතුරුව එන්බීසී චැනලය වෙත අදහස් දක්වමින් හොනෝල්ඩ් පැවැසීය. “ඔබ ඉහළ බලන විට, ඔබට දැකිය හැක්කේ ඉමක් කොනක් නොපෙනෙන ගොඩනැගිල්ල පමණයි. ඉතිං ඒක අනන්තයක්ම තමයි”
නිව්‌යෝර්කර් පුවත් සේවයේ චාල්ස් බෙතියාට අනුව, තායිපේ 101 යනු ලණුවක් නොමැතිව මිනිසෙක තරණය කළාවූ ලොව උසම ගොඩනැගිල්ලයි. ඊළඟ උසම ගොඩනැගිල්ල මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි අඩි 1,483 ක් උස පෙට්‍රොනාස් නිවුන් කුලුනු වලින් එකක් වන අතර, 2009 වසරේදී “ස්පයිඩර් මෑන්” හෙවත් රොබට් එම කුලුන කිසිදු ආධාරකයක් නොමැතිව තනිවම තරණය කළ බව “ක්ලයිම්බින්” සඟරාවේ මායා සිල්වර් පවසයි.
හොනෝල්ඩ් මේ වන විට ලෝකයේ වඩාත්ම අභියෝගාත්මක ස්වාභාවික ව්‍යුහයන් රාශියක් තරණය කර ඇත. 2017 ජුනි මාසයේදී ඔහු යොසෙමයිට් ජාතික වනෝද්‍යානයේ පිහිටි සිරස් ග්‍රැනයිට් සැකැස්මක් වන එල් කැපිටන් තරණය කළේද කිසිදු ආධාරකයක් නොමැතිවය. කෙසේ වෙතත්, ඔහු තායිපේ 101 තරණය ඔහුගේ ජීව දත්ත පත්‍රයට එක් කිරීමට සිහින මැවුවේ දශකයකටත් වැඩි කාලයක සිටය. එහෙත් කෙසේ හෝ අවසානයේදී නෙට්ෆ්ලික්ස් චැනලයේ අනුග්‍රහය ඇතිව ඔහුට තම සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදාවිය.

මෙම වික්‍රමය සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය ඔහුට ගෙවන ලද නිශ්චිත මුදල කොපමණදැයි මෙතෙක් අනාවරණය වී නොමැත. නමුත් නිව්‌යෝර්ක් ටයිම්ස් හි ඇඩම් ස්කොල්නික්ට පවසන ආකාරයට, මෙම අවදානම වෙනුවෙන් ඔහුට ලැබුණු ප්‍රසාද මුදල“ඉලක්කම් හයක”මුදලකි. එසේම මෙම වික්‍රමය සිදු වූයේ තායිපේ 101 සහ පළාත් පාලන ආයතනයේ පූර්ණ සහයෝගය සහ අවසරය ඇතිවය.
“ඒක අඩි 1,700ක් විතර උස, නගරයක් මැද්දේ නිදහසේ සිටගෙන ඉන්න කුලුනක්. ඒක උඩට නගින්න හරිම අමාරුයි” කුලුන තරණය කිරීමට පෙර නිව්‌යෝර්කර් වෙත අදහස් දක්වමින් හෝනෝල්ඩ් පැවසීය. “ඔන්න එතකොටම එකපාරටම කවුරුහරි ඔයාට ඒකට නගින්න අවසර දෙනවා. ඊට පස්සේ එයාලා “ඒක කරන්න අපි ඔයාට සල්ලිත් දෙන්නම්” වගේ දෙයක් කියනවා. නිකමට හිතලා බලන්න ඒක හරිම අපූරුයි නේද?. මට ඒක කරන්න ලැබෙනවා විතරක් නෙවෙයි, එයාලා මට ඒක කරනවට සල්ලිත් ගෙවනවා. ඒක හරිම විනෝදයි”.
තම කළ මේ වික්‍රමය අන් අයව ඔවුන්ගේ සිහින පසුපස හඹා යාමට පොලඹවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද හොනෝල්ඩ් පවසයි.
“සමහර විට මෙවැනි දෙයක් නරඹන විට, ඔවුන්ට ඉතිරිව ඇති කාලය සීමිත බව ඔවුන්ට මතක් වේවි. එවිට ඔවුන් තමන්ට ඉතිරි වෙලා තියෙන කාලය හැකි උපරිම ආකාරයෙන් භාවිතා කරයි” යැයි පැවැසීය. “ඔබ සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කළහොත්, ඔබට හිතාගැනීමට පවා අපහසු දුෂ්කර දේවල් කළ හැකියි”.
අනිල් කරුණාරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd