වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අපේ රට තුළ පැවැති උතුරු නැගෙනහිර යුද ගැටුම් පවතිද්දී ඒ කාලයෙහි ජනමාධ්‍ය ඔස්සේ වැඩිවශයෙන් ඇසුණු ගම් බිම් අතර වැලිකන්දට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. යුද්ධය හමුවේ ඒ තරම් පීඩා විඳි ගම් ඇත්තේ නම් අතළොස්සකි.

මේ කාල වකවානුවෙහි එම ප්‍රදේශයේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබනවා වෙනුවට තිබුණේ කෙසේ හෝ තම ජීවිතය රැකගැනීමේ අරමුණයි. එවන්වූ දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතයද නගාසිටුවීමේ අරමුණින් පළමු පත්වීමේ සිටම විශ්‍රාමගන්නා තුරුම වසර 30කට ආසන්න කාලයක් වැලිකන්දේ පාසල් රැසක ගුරු, විදුහල්පති භූමිකා දරමින් වැලිකන්දෙන් එහා ඇති ලෝකය දරුවන්ට පෙන්වන්නට ජීවිතය කැපකළ ගුරු පියකු වේ නම් ඔහු වසන්ත පීරිස්ය. මේ ඔහුගේ කතාවයි.

රංජිත් වසන්ත කුමාර පීරිස් උපත ලබන්නේ ගම්පහ දිස්ක්‍රික්කයේ උඩුගම්පොළ කෙහෙල්බද්දර ග්‍රාමයේය. වසන්තගේ පියා ඉංජිනේරු සංස්ථාවේ පින්තාරු ශිල්පියකු ලෙස රැකියාව කළ අතර මව කුලී වැඩ කරමින් තම දරු පවුල රකින්නට ගත් වෙහෙස අප්‍රමාණය. වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියකගේ රැකවරණය ලබමින් වසන්ත තම සුන්දර ළමාවිය ගෙවා දමන්නේ තම යහළු යෙහෙළියන් හා ගම් මැද්දේ කරක් ගසමිනි.

‘ඉස්සර ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නෑ. අපි ඉතින් අපිට ඕන විදියට තමයි හවස් කාලෙ ගෙවන්නෙ. වෙල්වල, පිට්ටනිවල එල්ලෙ ගහනවා, නාන්න යනවා, ගහගන්නවා. ඇත්තටම පුදුම නිදහසක් තිබුණේ. කාගෙන්වක් අපට ඒ කාලෙ බලපෑමක් තිබුණේ නෑ. හිතේ හැටියට සෙල්ලම් කළා. කරුවල වැටුණට පස්සෙ තමයි අපි ගෙවල්වලට යන්නෙ.

එක දවසක් ඔහොම සෙල්ලම් කරකර අපි කට්ටියක් ඉන්නකොට දැක්කා එක ගෙදරක පොල් ගොඩක් තියෙනවා. අපි එතැනින් පොල් ගෙඩි පහක් අරගෙන කඩේට දීලා ඒ සල්ලිවලින් පානුයි හකුරුයි අරන් කෑවා. කොහොම හරි මේක අපේ තාත්තා දැනගෙන. අපේ තාත්තා හවස ගෙදර ඇවිත් පොල් ගෙඩි දෙකක් එකට පෑහලා ඒක මගේ බෙල්ලෙ දාලා පාර දිගේ ගහ ගහ මාව අරගෙන ගියා අර ගෙදරට සමාව අරගන්න. ඒ දඬුවම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඇත්තටම අපි ඒක කළේ හොරකමකට නෙමෙයි. කොලු‍කමට. නමුත් ඒ දේවල්වලින් පාඩම් නම් ඉගෙන ගත්තා’

වසන්ත පාසල් අධ්‍යාපනය ලබන්නේ උඩුගම්පොළ මහා විදුහලෙනි. අද එම විදුහල සෙනරත් පරණවිතාන ජාතික පාසලයි. අධ්‍යාපන කටයුතුවලට වඩා ක්‍රීඩාව ප්‍රිය කරන වසන්ත පාසල් කාලයෙහි වැඩිපුරම රැඳෙන්නට තෝරා ගන්නේ පිට්ටනියයි. ඒ හේතුවෙන් විදුහල්පතිගෙන් දඬුවම් ලැබූ වාර අනන්ත වුවද වොලිබෝල් ක්‍රීඩාවෙන් ඔහු පෑ දක්ෂතා අතිවිශාලය.

‘ඇත්තම කියනව නම් ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණෙ නෑ. පන්තියේ ගුරුවරයෙක් නැතිවුණ හැටියෙ කරන්නෙ බජව් දාන එක. ඉතින් ප්‍රින්සිපල්ගෙන් නිතරම ගුටි කනවා. එහෙම කාලය ගෙවද්දි තමයි පාසලට සිංහල උගන්වන්න අලු‍තෙන් ගුරුවරයෙක් ආවෙ. ඒ පියසේන සර්. සර් තමයි අපේ ජීවිත කණපිට හැරෙව්වෙ. සර් අපිත් එක්ක විවෘතව හැම දෙයක්ම කතා කළා. ඒ සර් තමයි අපිට කිව්වේ “කොහොම හරි කැම්පස් පලයල්ලා, එතකොට උඹලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා” ඇත්තටම ඊට පස්සෙ අපි ඒ පසුපසම වැටුණා. සර් අපිට පාඩමට එහා ගිහින් ජීවිතේ කියාදුන්නෙ. කොහොම හරි අපේ පන්තියේ ඒ කාලෙ කප් ගහන්නෙ ගැහැනු ළමයි ටික. ඒත් උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එද්දි කොල්ලො හතරක් කැම්පස් තේරිලා. එක ගැහැනු ළමයෙක්වත් නෑ. ඒ අතරේ මමත් හිටියා. මගේ ජීවිතේ අද ඉන්න තැනට පාර කැපුවෙ සිංහල සර් සහ ක්‍රීඩා සර්.’

උදේට ඉස්කෝලෙ යන්න පාරට එන්නේ හමුදාවෙන් පාරවල් සුද්ද කළාට පස්සෙ

වසන්ත උසස් අධ්‍යාපන කටයුතු සඳහා සුදුසුකම් ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයටය. පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයේ බැවින් ඔහු විශ්වවිද්‍යාලයට එන්නේ තම නිවෙසේ සිටය ඔහුට නේවාසිකාගාර ජීවිතයේ මිහිර විඳින්නට සිදුවන්නේ නැත. විශ්වවිද්‍යාලය තුළදී ද අධ්‍යාපන කටයුතුවලට වඩා ඔහු මුල් තැන දෙන්නේ ක්‍රීඩාවට බැවින් වැඩි කාලයක් රැඳෙන්නේද ක්‍රීඩා පිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වසර කිහිපයක්ම විශ්වවිද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරන අතර 1985 වසරේ දී ජපානයට යන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරමිනි. විශ්වවිද්‍යාලයීය වර්ණලාභියකු වන ඔහු ඒ උත්සාහයත් සමඟ පෙරට ආ කීර්තිමත් ක්‍රීඩකයෙකි. පසුව උපාධිධාරියකු වී විශ්ව විද්‍යාලයෙන් පිටවන ඔහුට1989 වසරේ පළමු ගුරු පත්වීම ලැබෙන්නේ වැලිකන්ද සෙවනපිටිය මැණික්විල ප්‍රාථමික විදුහලටය.

‘ඒ කාලෙ ඉතාම බිහිසුණු පරිසරයක් තමයි වැලිකන්දෙ තිබුණෙ. දකුණෙත් භීෂණ කාලෙ. පාසලේ වැඩ බාරගෙන සතියක් යනකොට පාසලට අල්ලපු බොරවැව ගමම එල්.ටී.ටී.ඊයෙන් කැපුවා. මම ආයෙත් ගෙදර ආවා. ඒ කාලෙ පාසල් වහපු නිසා සතියකට සැරයක් වගේ ගිහින් අත්සන් කරලා එන්න ඕන. මම ඒ කාලෙ නැවතිලා හිටියෙ මොනරතැන්න ගමේ. පාරකට බහින්න බෑ ඇඳිරි වැටුණට පස්සෙ. උදේටත් පාරට එන්නෙ අට නවය වුණාට පස්සෙ. ඊට කලින් හමුදාවෙන් පාරවල් සුද්ද කරනවා. ගම්වල මිනිස්සු එළියට බහින්න කලින්. අවුරුදු හතක් ඒ පාසලේ වැඩකරලා මම වැලිකන්ද මහා විදුහලට එනවා. ඒ පාසල පටන් ගන්නෙ 1991දී. ක්‍රීඩා ගුරුවරයකුගෙ පුරප්පාඩුවට තමයි මම එන්නේ. ඒ පාසල ඉස්සෙල්ලම පටන් ගත්තේ ළමයි විසිතුනකිනුයි ගුරුවරු පහකිනුයි. විදුහල්පති මැඩම් කෙනෙක් තමයි හිටියේ. ඇයට පුදුම ඕනැකමක් තිබුණා පාසල දියුණු කරන්න. අපි කැපවෙලා වැඩ කළා. ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලැබුවා. ඒත් ඇගෙන් පසුව පාසලට ආ ප්‍රින්සිපල් එක්ක අපි වැඩකරන්න කැමති වුණේ නෑ. ඒ ඔහුගේ පාසලට නොගැළපෙන වැඩ නිසා. ඒවාට විරුද්ධ වූ නිසා මාව කොටි කටේ තියෙන කඩවත්මඩුව විදුහලට මාරු කළා. ඒ පාසලේ ක්‍රීඩා උත්සවයක් වෙලාවෙ පාසලට කොටි ගැහුවා. අම්මලා තාත්තලා හතරක් මැරුණා වගේම දරුවකුටත් තුවාල වුණා. අපි බේරුණේ අනූනවයෙන්.’

තිස් වසරක යුද්ධයක් හමුවේ අදටත් වැලිකන්ද ඉතිහාස පොතට ලියැවෙන්නේ යුද්ධයෙන් වැඩියෙන්ම බැට කෑ ගම්මානයක් ලෙසය. නමුත් ගුරු ජීවිතය වැලිකන්දෙන් ඇරඹූ වසන්ත ඒ ගම අතහැර දැමීමට කෙසේවත් කැමතිවන්නේ නැත. ඒ අකුරක් කරන්නට වෙර දරන ගම් දරුවන්ගේ ජීවිත කෙසේ හෝ ගොඩදමන්නට ඇති කැපකිරීම මතය. ඒ කැපකීරීම කෙසේ ද යත් ඔහු සූරියවැව විදුහලේ උගන්වන සමයේ මෝටර් බයිසිකලයෙන් පාසලට යද්දී අවස්ථා දෙකකකදී ක්ලේමෝ බෝම්බවලින් බේරුණේ අනූනවයෙනි. ඒ කුමන බාධා අවහිරතා පැමිණියත් වැලිකන්දේ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවන්නට ඔහු ගත් උත්සාහය කිසි දවසක අතහැරියේ නැත.

‘මම ඒ වෙද්දි වැඩබලන විදුහල්පතිවරයකු ලෙස රාජකාරි කළ නිසා 2009 වසරේ විදුහල්පති ශ්‍රේණි විභාගය සමත් වී විදුහල්පතිවරයකු ලෙස නවගිනිදමන විදුහලට පත්වීම් ලැබුවා. එතැන අවුරුද්දක් විතර වැඩකරලා නැවත මම වැලිකන්ද මහා විදුහලට විදුහල්පති වෙලා එනවා. ඒ එනවිටත් කිසිම දරුවෙක් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබලා තිබුණෙ නෑ. මම ආ පළමු අවුරුද්දෙම එක දරුවෙක් විශ්ව විද්‍යාල වරම් ලැබුවා. පිළිවෙලික් සෑම වසරකම ළමයි දෙදෙනෙක්, හයදෙනෙක්, නවදෙනෙක් වශයෙන් විශ්‍වවිද්‍යාල වරම් ලැබුවා. ඒක මට මහා ශක්තියක් වුණා ඇත්තටම.

මේ කාලයේ තවත් අමතක නොවන අත්දැකීමක් වුණා. ඒ කාලෙ උතුරුමැද මහ ඇමති පාසලට ගොඩනැගිල්ලක් හදන්න අනුමැතිය දුන්නා. ඒ ගොඩනැගිල්ල හදන්න මම තැනක් පෙන්නුවත් ඔවුන් ඒ තැනට කැමති වුණේ නෑ. ඔවුන්ට ඕනැ වුණේ පාරට පේන්න හදන්න. එහෙම හැදුවොත් එතැන තිබුණු කුඹුක් ගස් දෙකක් කපන්න වෙනවා. මම ඒකට අවසර නොදුන් නිසා අන්තිමට මාව මනම්පිටිය සිංහල විදුහලට මාරු කළා’

තම ගුරු ජීවිතයේ අප්‍රමාණ දුෂ්කරතා වින්දත් වසන්තට අවශ්‍යවන්නේ වැලිකන්දේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් මෙන්ම ජීවිතය කියාදී හරිමඟ පෙන්වා ඔවුන්ද මේ සමාජයේම කොටසක් බැව් ලෝකයට කියා පාන්නටය. ඒ සඳහා ඔහු තම පඩි පතද කැපකළ වාර අනන්තය.

‘මම විශ්‍රාම ගියේ 2023 වසරේ. ඒ වැලිකන්දෙම කෙළවරක පිහිටි අසේලපුර මහා විද්‍යාලයෙන්. මම ඒ පාසලේ විදුහල්පති වෙලා යනකොට කවදාවත් දරුවෙක් විශ්ව විද්‍යාල වරම් ලබලා නෑ. මම ගිය පළමු අවුරුද්දෙ උසස් පෙළට දරුවන් හත් දෙනෙක් පෙනී සිටියා. ඒ හත් දෙනාගෙන් පහක් විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ තරම් සතුටක් තවත් නෑ.”

ගුරු ජීවිතයේ වසර 35කට ආසන්න කාලයක් වැලිකන්ද දරුවන්ගේ නැණ නුවන පාදන්නට අප්‍රමාණ කැපවීම් කළ වසන්ත ඒ දරුවන් වෙනුවෙන් දුන් දෑ බොහෝමය. යුද සමයේ ස්ථීර පදිංචිකරුවන් පවා ගම්බිම් හැර යද්දී වසන්ත වැලිකන්ද අතහැරියේ නැත. ඒ දරුවන්ගේ හෙට දවස වෙනුවෙනි.

පළමු පත්වීම අරන් සතියක් යද්දි පාසලට අල්ලපු ගමම කොටි කැපුවා

‘එදා වැලිකන්දෙ දරුවො වෙන ලෝකයක වගේ. හැබැයි අද වෙද්දි ඒක දුරස් වෙලා. මම මේ පළාතට එන කාලෙ දරුවො පාසලට ගෙන්න ගන්න ගෙවල් ගානෙ යන්න ඕන. මේ දරුවන්ට ඕන ගොයම් කපන කාලෙට ට්‍රැක්ටර් පස්සෙ දුවන්න විතරයි. ඔවුන් දැක්කෙ ඒ ලෝකය. මම උගන්වපු හැම පාසලකම දරුවන්ට කියා දුන්නේ වැලිකන්දෙන් එහා තවත් ලෝකයක් තියෙනවා කියලා. අම්මලා තාත්තලා වුණත් ඒ තරම් පස්සෙන් පන්නන්නෙ නෑ. මම උගන්වපු සමහර පාසල්වල ඉන්නෙ ගුරුවරු දෙන්නයි තුන්දෙනයි. ඒත් අපි වැඩ කළා. හැබැයි එදා අපට තිබුණු නිදහස අද දරුවන්ට නෑ. ඒක තමයි තියෙන කනගාටුව. අද දරුවො යන්නෙ විභාග පස්සෙ. ඒ දරුවො අධ්‍යාපනය අතින් ඉහළට ගියත් ගුණ ධර්ම, සමාජය ඇතුළෙ පිරිහිලා ඉවරයි. එහෙම දරුවන්ගෙන් මොන තරම් උගත් වුණත් රටකට වැඩක් නෑ. මම කවදාකවත් දරුවකුට වාඩිවෙලා ඉගැන්වුවෙ නෑ. හැම දෙයක්ම ප්‍රායෝගිකව කියා දුන්නා වගේම වෙනසක් නැතිව ජීවිතයත් කියා දුන්නා.’

මේ වනවිට වසන්ක පීරිස්ගේ පදිංචිය ගම්පහ ගනේමුල්ල වුවද ඔහු වැඩි හරියක්ම දිවි ගෙවන්නේ වැලිකන්දේය. ඒතරම්ම ඔහුට වැලිකන්දේ මිනිසුන්ගේ ජීවන අරගලය හුරුපුරදුය. ආදරණීය බිරියත් දරුවන් දෙදෙනාත් සමඟ නිදහස් ජීවිතයක් ගෙවන ඔහු මේ කාලයේද ඇප කැපවී සිටින්නේ සමාජ සේවයටය.

‘මගේ උපන් ගමේ ඉස්සර මාසෙකට සැරයක් මනුස්සයෙක් මරලා දානවා. හැමදාම රණ්ඩුසරුවල්. මත් ජාවාරම්. හැබැයි අපි මේවා දැකලා හැදුණා මිසක් ඒවාට කවදාවත් පෙලඹුණේ නෑ. මගේ අම්මා තමයි අපේ පවුලම ගොඩදැම්මේ කුලී වැඩ කරලා. ඇය දිරිය කාන්තාවක්. මට අදටත් අම්මගෙ හයිය තියෙනවා කියලා හිතෙනවා. මම හරිම කැමතියි දැන් නිදහසේ ඉන්න. මගේ දරුවන්ටත් කියලා තියෙන්නෙ එයාලගෙ දරුවො ඉස්කෝලෙ ගෙනියන්න නම් මට බෑ කියලා. වරදකට නෙමෙයි. එයාලා ජීවිතේ තනියම ගොඩනැගෙන්න ඕන. මම හරි කැමතියි රටවල සංචාරය කරන්න. මේ වෙද්දි රටවල් 14කට ගිහින් තියෙනවා. තායිලන්නයේ තාවකාලික පැවිද්ද පවා ලබලා තියෙනවා.’

ගුරුවරයා පළමුව තමා කවුදැයි හඳුනාගත යුතුය. පසුව තම දරුවන් හඳුනාගත යුතුය. ඒ භුමිකා මැනවින් හඳුනාගන්නේ නම් සිදුකළ හැකි මෙහෙවර අති විශාලය. යුද්ධයෙන් අප්‍රමාණ බැට කෑ වැලිකන්දේ දරුවන්ට ජීවිතයේ වරදින තැන් ඕනෑවටත් වැඩි කාලයක ගුරු පියකු ලෙස අප්‍රමාණ කැපකිරීම් කළ වසන්ත පීරිස් වැනි ගුරු පියවරුන්ට මේ කාලයේ මල් තබා පිදිය යුතු යැයි සිතෙන්නේ ගුරු භූමිකාව කෙළෙසා දමන නමට ගුරු වූ ඇතැම් පිරිස් සමාජ සංස්ථාව ඇතුළත පිළිල වී ඇති අයුරු දැකීමෙනි.

සුජිත් ප්‍රසංග