ඉතිහාසය යනු සිද්ධීන් මාලාවක අතීතාවර්ජනයකි. ලොව ඕනෑම රටක අනන්‍යතාව, ප්‍රෞඪත්වය, අභිමානය හා උදාරත්වය ගොඩනැගී ඇත්තේ එරට ඉතිහාසය පදනම් කරගනිමිනි.
සම්බුදු පහසින් පහස ලැබූ මහියංගණ, බින්තැන්න පුරවරය ඉතිහාසයට ඵෙතිහාසික තොරතුරු රැසක් එක් කරනු ලබන ජනීජනයා ගේ කතාබහට ලක්වෙන පොත්ගුලක් වැනිය.
ඵෙතිහාසික පුවත් මවන බින්තැන්න ප්‍රදේශය වර්තමානයේ කතාබහට ලක්වන්නේ අසරණ ගම්වැසියන්ගේ ජීවිත වටිනා දේපොළ හා ගම්මාන ගණනාවක් ජාතියට අහිමි කරමින් ඔවුන්ගේ දූ දරුවන් හා ඥාතීන්ගේ නෙතු අගට සදාකාලික කඳුළු බිඳක් එකතු කරමින් පසුගිය දා දුම්බර කඳුකරය හරහා හමාගිය දිට්වා සුළිකුණාටුව හේතුවෙනි. ගම් නියම්ගම් විනාශ කරමින් හැමුණු සුළිකුණාටුවේ අඳෝනා, සිත්තැවුල් හා මැසිවිලි අතරෙන් රටේ ඉතිහාසයට අදාළ පුවතක් ද මේ දිනවල දනන් තුඩ තුඩ රැව්දේ.
සුළිකුණාටුවත් සමග එම ප්‍රදේශයට ඇදවැටුණු අධික වර්ෂාව නිසා වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශයන්හි වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ ඔස්සේ පැමිණි දැවැන්ත ජලකඳේ බලපෑමෙන් ගංඉවුරු වලට දැඩි හානි සිදුවී, ගං පතුලද ගැඹුරට හෑරි තිබේ. මෙලෙස ඉවුරු කැඩී පතුල ගැඹුරට හෑරීයාමෙන් - හසලක, උල්පතගම 13ඇළ කෙත්යායට පහළ ප්‍රදේශ හරහා ගලා බසින ගංගාවේ ගලින් නිමකෙරුණු ඉපැරණි පටු මාර්ගයක් මතුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මහවැලි ගංගාවේ 13ඇළ කෙත්යායට පහළ ප්‍රදේශයේ දැක ගන්නට ලැබෙන පළලින් අඩි 06ක් පමණ හා දිගින් අඩි 60ක් පමණ දුරට ගංගා ඉවුරේ සිට ගඟ මැදට වන්නට සකස් කර ඇති මෙම මාර්ගය ගල් අතුරා ගලින් ගල අලවා නිර්මාණය කළ බවට පැහැදිලිවම පෙනෙන බවද ඔවුහු කියති.
හසලක නගරයේ සිට වස්ගමුව මාර්ගයේ ගමන් ගන්නා විට උල්පතගම, දහතුනේ ඇළ හංදියෙන් දකුණු පසට හැරී බෙදුම් ඇළ කණ්ඩිය ඔස්සේ කිලෝ මීටර් එක හමාරක පමණ පසුකර යන විට සුන්දර වෙල් යායක් මැද ඵෙතිහාසික නටබුන්වලින් ගහණ ප්‍රදේශයක් හමුවෙනු ඇත. මෙහි ඇති නටබුන් වගකිවයුතු පුරාවිද්‍යා අංශයක හෝ බලාධිකාරයක නිසි අවධානයකට ලක් නොවී විනාශයට පත්වෙමින් පවත්නා ආකාරය අතිශය ඛේදජනකය.
නටබුන් ව්‍යාප්තව පවතින ආකාරය අනුව අතීතයේ මෙම භූමිභාගයේ විහාරරාම සංකීර්ණයක් පැවතියේ යැයි වටහා ගැනීමට පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු විය යුතු නැත. මීට වසර තිහකට පමණ පෙර දැනට ඉතිරිව පවත්නා ගොඩනැගිලි කීපයේ නටබුන්වලට සමාන ස්ථාන දහසයක් පමණ පැවතියේ යැයි කියන අතර, ඊට අමතරව - සඳකඩ පහණක්, කැටයම් කළ ගල් කුලුනු පුදසුනක් සහ පියගැට පේළි රැසක් පැවති බව තතු දත් පැරැන්නෝ පවසති.
මෙතෙක් වගකිව යුත්තන්ගේ අවධානයට ලක් නොවූ මෙම ඵතිහාසික භූමි භාගය ක්‍රි.ව. 571 - 604 අතර කාලයේ අනුරාධපුර රාජධානියේ සිහසුන හෙබවූ පළමුවෙනි අග්බෝ රජ දවස මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කොට එම ජලයෙන් පෝෂණය වන කෙත් වලින් ලබන ආදායමෙන් නඩත්තු වූ බව ඵෙතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ. “මණිමේඛලා ප්‍රාසාද” නමින් වූ විහාරාරාමයක් සහ පිරිවෙනක් මෙම ප්‍රදේශයේ පැවති බැව් මහාවංශයෙහි සඳහන් වන බැව් - ලේඛක ධර්මසේන මහවල “උඩදුම්බර හා මිනිපේ විත්ති” ග්‍රන්ථයේ දක්වා තිබේ. එම පූජනීය ස්ථානය වත්මනෙහි කිසිවෙකුගේ සැලකිල්ලකට හෝ අවධානයකට ලක් නොවී කෙත් යායක විසිරී පවතින නටබුන් (ගල් කණු) ගොඩක් පමණක් බවට පත්ව තිබීම කනගාටුදායකය.
ක්‍රි.ව.835 - 887 සමයෙහි සිහසුන හෙබවූ දෙවෙනි සේන රජු මණිමේඛලා පිරිවෙන් විහාරයට පූජා කළ බෝසත් පිළිමයක් පිළිබඳව සඳහන් වන අතර, මෙම විහාරාරාම සංකීර්ණ පරිශ්‍රයෙහි කිනම් ස්ථානයක හෝ එවැන්නක් පවතින බැව් මහාවංශයේ දැක්වෙතැයි කියැවේ.
මිණිපේ පුරාවිද්‍යා ගවේෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිංහ මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “ඉතිහාසයට වටිනා පුවත් මවන මිනිපේ මහ ගොවි ජනපදයේ නැගෙනහිර දිසා මායිමෙන් ගලා බසින මහවැලි ගංගාව පළාත් වාසීන්ට මහඟු සම්පතක්. මේ වෙන විට මහවැලි ගංගාව ආශ්‍රිතව ඓතිහාසික පුවතක් අනාවරණය වී තිබෙනවා. ඒ පැරණි මාර්ගයක නටබුන් හමුවීම. මෙම මාර්ගය ගලින් ගල අලවා ඉදිකෙරුණු එකක් ලෙස සැලකිය හැකි බවයි අපට වැටහෙන්නේ. සිංහල රජ සමයේ ජනාවාසයක්ව පැවති මෙම ප්‍රදේශයේ ජනතාව 13ඇළ ගංගා ඉවුරේ සිට ගඟෙන් එගොඩ වී මහියංගණය ප්‍රදේශයට ගමන් කිරීමට හෝ ගංගාවට බැස දිය නෑමට ප්‍රවේශ වීමට සකස් කළ මාර්ගයක් විය හැකි බවට නිගමනය කළ හැකි බවත් සඳහන් කරන්න පුළුවන්.”
“එසමයෙහි මෙම පූජනීය ස්ථානයේ වැඩ විසූ බවට සිතිය හැකි භික්ෂූන් සඳහා ජලස්නානයට ගඟට බැසීමට හෝ ගඟෙන් එතෙරවී ඵෙතිහාසික මහියංගණ සෑ රදුන් වන්දනා කිරීමට යාම ඒම වෙනුවෙන් මෙම මාර්ගය සකස් කර ගන්නට ඇතැයි සිතිය හැකියි. එහෙම නැත්නම් මෙම පිරිවෙනේ විසූ භික්ෂූන්ට මහවැලි ගඟේ ගල්තලාවේ සකස් කරගත් පෝය විනය කර්ම සිදු කළ ස්ථානයට ගමන් කිරීමට යොදාගත් මාර්ගයක් වෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් මෙම මාර්ගය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කීමට හැකියාවක් නැහැ. මේ මාර්ගය පිළිබඳව අපි තවදුරටත් අධ්‍යයනය කිරීමට අදහස් කරනවා. වෙල් යායක් මැද නටබුන් ගොඩක් පමණක් බවට පත්ව ඇති “කොටවෙහෙර” එකල “මණිමේඛලා ප්‍රාසාද පිරිවෙන් විහාරය” බැව් බොහෝ දෙනාගේ විශ්වාසයක් පවතිනවා.”
මිණිපේ ප්‍රාදේශීය ලේකම් චමිලා විජේරත්න වෙත ප්‍රස්තුත කරුණ දක්වා ඒ සම්බන්ධ තතු විමසූ විට මෙසේ කීවාය.
දිට්වා සුළිකුණාටු සංසිද්ධියෙන් පසු උල්පතගම 13ඇළ ප්‍රදේශයේ මහවැලි ගංඟාවේ මතුවී ඇති බව කියන ගල් වලින් සැකසුණු ඉපැරණි මාර්ගයක් සම්බන්ධ තොරතුරු මටත් ලැබුණා. අනතුරුව අදාළ නිලධාරීන් යොමු කරලා අවශ්‍ය තොරතුරු ද ලබා ගත්තා. ඒ අනුව මෙහි යම් පුරාවිද්‍යා වටිනාකමක් තිබේ ද යන්න සොයා බැලීමට මම එම තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමට අදහස් කරනවා. ඒ අනුව ලැබෙන නිර්දේශ අනුවයි මෙහි පවතින වැදගත්කම සම්බන්ධයෙන් නිශ්චිත යමක් ප්‍රකාශ කරන්න හා ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ.”
හසලක සුනිල් ඒකනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd