IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බුදුන් ඇගැයූ පන්සිළු පෙම් ගීය

මතක හා මතය

 

එක් කලෙක බුදුහු ඉන්දසාල නම් ගුහාවේ වැඩ වෙසෙති. එවක බුදුන් හමුව පැන විචාරීමක් කරනට රිසිවූ සක් දෙව් තම ගඳඹ පන්සිළු අමතයි. 

"පන්සිළුච, බුදුන් හමුවට මා එක් වරම යාම නොමනායි. ඔබ පළමු ගොස් බුදුන් සිත පහදා ලනු මැනැවි."

ඉන්දසාල ගුහාවට ගිය පන්සිළු බුදුන් අබියස එකත්පස්ව හිඳ තම බෙලි පැහැ වෙණ වයමින් ගීයක් ගයයි. එය ඇසූ බුදුහු පන්සිළු අමතති. 

"සංසන්දති ඛෝ පන තේ පංචසිඛ තන්තිස්සරෝ ගීතස්සරේන 
ගීතස්සරෝච තන්තිස්සරේන. නච පන ⁣තේ පංචසිඛ තන්තිස්සරෝ 
අතිවණ්ණති ගීතස්සරං. ගීතස්සරෝවා තන්තිස්සරං. කදා සංයූළ්හා පන තේ පංචසිඛ ඉමා ගාථා බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතාති."

" පන්සිළුව, ඔබේ වෙණ තත්‍ සර ගී සර සමගද ගී සර වෙණ තත්‍
සර සමගද මනාව සැස⁣⁣ඳෙයි. ඔබේ වෙණ තත්‍ සර ගී සර ඉක්මවා නද නොදෙයි. ගී සරද වෙණ තත් සර ඉක්මවා නද නොදෙයි. පන්සිළුව, ඔඛ බුදුන් ඇසුරු කොටද දහම් ඇසුරු කොටද රහතුන් ඇසුරු කොටද කාමය ඇසුරු කොටද ගැයූ මේ ගී කවදා ගෙතුවේද?"

බුදුන්ට පන්සිළු පිළිතුරු දෙයි.

"හිමියෙනි, බුදු වුණු මුල් කලම එක් අවදියක ඔබ වහන්සේ උරුවෙල් දනව්හි නිල්දලා හෝ තෙර අජපල් නුග රුක මුල වැඩ සිටින කල භද්‍රා නම් එක් සොඳුරු යුවතියක් ළහිරු මඬල සේ දිලෙන තම සිරුර නිසා සුරියවච්චසා නමින් පරසිඳුව උන්නා. තිම්බරු නම් ගඳඹ රජ දුව වන ඇයටයි මා එකල පෙම් කළේ. ඒත් ඇය පෙම් කළේ සක් දෙව් රියැදුරු මාතලී පුත් සිඛන්ඩිටයි. එය දන්නා මම මේ ගී පබඳා මගේ වෙණද රැගෙන තිම්බරු ගඳඹ රජ මැදුර අසලට ගොස් එය වයමින් ඒවා ගැයුවා."

පෙළ බසින් වූ එම පන්සිළු ගී ඔබේ පහන් සංවේගය පිණිස මෙසේ හෙළ පැදියට නගම්හ.

වන්දේ තේ පිතරං භද්දේ 
තිම්බරුං සුරියවච්චසේ
යේන ජාතාසි කල්‍යාණි 
ආනන්ද ජනනී මම

ළා හිරු මඩල මෙන් රැස් විහිදෙන 
බඳැතී
මා සිත සතුට පොබයන සොඳුරියෙ
රුවැතී
මේ ලොව ඔබේ දිවි බිහි කළ පින
  අයිතී
ඒ ඔබෙ පියා නමදිමි තිම්බරු 
නමැතී

වාතෝව සේදනං කන්තෝ 
පානීයංව පිපාසිනෝ 
අංගීරසි පියාමේසී 
ධම්මෝ අරහතා මිව

ගිමනින් දැවෙනවුන් හට ඇල්
පවන් මෙන 
පවසින් පෙළෙනවුන් හට පැන් 
 පොදක් මෙන 
රහතුන් හැමට ලොව්තුරු දම්
රසක් මෙන
සැනසෙම් ලඳුනි මම් ඔබගෙන් 
කැලුම් දෙන 

ආතුරස්සේව භේසජ්ජං
භෝජනංව දිඝච්ඡතෝ
පරිනිබ්බාපය භද්දේ 
ජලන්තමිව වාරිනා

රෝ දුක ඇති අයට සුව දෙන
ඔසුව මෙන 
සා දුක ඇති අයට රස පිරි 
බොදුන මෙන 
ආලය වඩන්නියෙ රුව දිළි 
 ළහිරු මෙන 
මා සිත නිවනු දිය ඉස ගිනි 
නිවන මෙන

සීතෝදකිං පොක්ඛරණිං
යුතං කිංජක්ඛ රේණුනා 
නාගෝ සම්මාභිතත්තෝව
ඕගහේතේ ථනූදරං

නොහිම් ගිම් තැවුල් ගත් ඇතෙකු 
හණිකට 
පියුම් රොනැති සිහිලැල් දියැති 
 විලකට 
එගිම් නිවා ගැන්මට බසින
විලසට 
බසිම් ඔබ දෙතන අතරට 
බඩතුරට

අච්චංකුසෝව නාගෝච 
ජිතම්මේ තුත්ත තෝමරං 
කාරණං නප්පජානාමි 
සම්මත්තෝ ලක්ඛණූරුයා

කන් පා පෙළන අංකුස ඇනුම්
නොතකන 
මදමත් ඇතෙකු විලසින් කිසිත් නොදැනෙන
මන් මත් වූ බැවින් ඔබෙ ළකල් 
 වටොරින 
කම් පල විපා හැම මගෙ සිතින්
  ගිලිහිණ

තයි ගථිත චිත්තෝස්මි 
චිත්තං විපරිණාමිතං 
පටිගන්තුං නසක්කෝමි 
වංකඝස්තෝව අම්බුජෝ 

ඇලුණෙම් සිතින් ඔබටම මම සෙනෙහසිනී 
එතරම් ඇලුණු සිත දැන් විකලව
 ගොසිනී 
බිලියෙහි රැඳුණු මසෙකුට සම වන  
  ලෙසිනී
පසුවෙයි සිත මිදෙනු නොහැකිව ඔබ වෙතිනී

වාමූරු සජමං භද්දේ 
සජමං මන්ද ලෝචනේ
පලිස්සජමං කල්‍යාණි 
ඒතම්මේ අභිපත්ථිතං 

සොඳ වටොරැති සොඳුර මා වැලඳ ගනු මැන
අඩ බැල්මෙන් බලා මා වැලඳ
ගනු මැන
කලණියෙ අත නෑර මා වැලඳ
ගනු මැන 
එයමය මා පැතූ එක පැතුම
හැම දින 

අප්පකෝ වත මේ සන්තෝ 
කාමෝ වෙල්ලිත කේසියා 
අනේක භාගෝ සම්පාදි 
අරහන්තේව දක්ඛිණා

රැළි වරලින් සැදි ඔබ රුව දැක 
ළඳුනේ 
කම් ආසා බිඳකි පළමුව හට
ගැනුණේ
නොසිතූ විරූ ලෙස එය දින දින 
 වැඩුණේ
රහතෙකු හට පිදූ දානෙක පල 
 ලෙසිනේ

යං මේ අත්ථි කතං පුඤ්ඤං අරහන්තේසු තාදිසූ
තම්මේ සබ්බංග කල්‍යාණි 
තයා සද්ධිං විපච්චතං.

එවන් උතුම් රහතුන් හට බැති
සිතින
මා කළ පින්කමක් ඇත්නම් පල 
දරන 
පිය කලණියේ හැම අඟ පසඟින
 සොබන 
එපින් පල විඳිමු එකටම අපි 
දෙදෙන

සබ්බේ අත්ථි කතං පුඤ්ඤං 
අස්මිං පුථුවි මණ්ඩලේ
තම්මේ සබ්බංග කල්‍යාණි 
තයා සද්ධිං විපච්චතං 

මේ මිහිමඬලෙ වසනා කල මගෙ 
අතින 
සිදුවුණු පින්කමක් ඇත්නම් පල
දරන 
පිය කලණියේ හැම අඟ පසඟින
සොබන 
එපින් පල විඳිමු එකටම අපි
දෙදෙන

සක්‍ය පුත්තෝව ඣානේන 
ඒකෝදි නිපකෝ සතෝ
අමතං මුනි ජිගිංසානෝ 
තමහං සුරියවච්චසේ

දැහැනින් එකඟ වුණ සිහි නුවණ
  සමගින 
මුනිඳුන් සැරි සරන මෙන් නිවන
  සොයමින 
ළා හිරු මඬල විලසින් කිරණ 
බබළන
සොඳුරියෙ මමද එන්නෙම් ඔබම
  සොයමින

යථාපි මුනි නන්දෙය්‍ය
පත්වා සම්බෝධි මුත්තමං
ඒවං නන්දෙය්‍ය කල්‍යාණි 
මිස්සීභාවංගතෝ තයා 

මුනි උතුමන් කෙලෙස් මල මුලින
 නසමින 
සොම්නස් වූ සේම බුදු පදවි 
ලැබගෙන 
එක්වන්නට ලැබීමෙන් සොඳුර 
සමගින 
සොම්නස් වෙමි මමත් ඒ මුනිඳු 
විලසින

සක්කෝච මේ වරං දජ්ජා 
තාවතිංසානමිස්සරෝ 
තාහං භද්දේ වරෙය්‍යාහේ 
ඒවං කාමෝ දළ්හෝ මම

දෙදෙව්ලොවට අදිපති සක් 
දෙවියන්ම 
දුන්නත් දෙව් රජය වරමක් 
විලසින්ම 
අත හැර දමමි එය සොඳුරිය 
පතමින්ම 
මසිතෙහි කම් පවස දැඩිවෙයි 
එතරම්ම

සාලං වනං චිරං ඵුල්ලං
පිතරං තේසුමේධසේ
වන්දමානෝ නමස්සාමි 
යස්සසේතාදිසී පජාති 

නුවණින් සපිරි රූ සිරි මනරම් 
ලඳුනී
කිසියම් පියෙකු හට ඔබ විණි නම්
 දියණී
සල් වනයක් සදිසි මල් පිපි කල් 
 ගොසිනී 
ඒ ඔබෙ පියාණන් මම් නමදිම් 
බැතිනී

(මූලාශ්‍රය - සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ එන 'සක්ක පඤ්හ' සූත්‍රය.)



අදහස් (0)

බුදුන් ඇගැයූ පන්සිළු පෙම් ගීය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site