IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මිතුරු තුමෝ තම ජන උරුමයට බැතී

මතක හා මතය

 

 

 

[කීර්තිමත් සංගීතඥ ලයනල් රන්වලයන්ගේ (1939 - 2002) 23 වන අභාව අනුස්මරණය නිමිත්තෙනි.]

මගේ මතකය ඈත අතීතයට දිව යයි. මගේ මහගෙදර පිහිටි කළුබෝවිල පන්සල පාර එකල පටු ගුරු පාරකි. එම ගුරු පාරට හැරෙන නුගේගොඩ දෙහිවල මහ පාරද එකල පටු තාර පාරකි. අද පන්සල පාර ඉදිරිපිට මහේශාඛ්‍ය ලීලාවෙන් විරාජමාන වන දකුණු කොළඹ ශික්ෂණ රෝහල එදා එහි නොතිබුණි. ඉස්පිරිතාලය ගොඩනැගුණු විසල් පොල් වත්ත එදා ප්‍රසිද්ධ වූයේ බොතේජු වත්ත නමිනි. එහි තැනින් තැන තැනුණු ටකරන් හා උළු ගෙවල්හිද ගෙවල් පේලිවලද ගම්මු පදිංචි වී සිටියහ. බොතේජු වත්තේ වූ විශාල ගල් වළ ගම්මුන්ගේ විශ්වාසය අනුව අඩි අසූවක් ගැඹුරු වූවකි. අවුරුද්දකට දෙතුන් දෙනෙකු බිලිගත් හෙයින් ඔවුන්ට එය පිහිටි ළඳු පෙදෙස අමනුෂ්‍ය පරිගෘහිත බිය ජනක අඩවියක් විය.

මහ පාරෙන් හැරී සුනන්දාරාම පන්සල පාර දිගේ අපේ මහ ගෙදර දෙසට යන කෙනෙකුට හමුවන පළමු වන වංගුව අසල වම් පස , බෑවුම්ව පිහිටි දිගු වත්තක් විය. දකුණු පස වූයේ පන්සල වට කොට බැඳි දිගු තාප්පයයි. එකල එකී වත්ත කෙළවරේ කුඩා ගෙයක් විය. එහි පදිංචිව සිටි පවුලට අයත් බාල පිරිමි ළමයා කෙට්ටුය. මිටිය.
ඔහුට හෙමින් ගමනක් නොවීය. ඔහු නිතරම කඩේ ගියේ කටින් කාරයක් එලවමිනි. බ්‍රෑම්..ම්..ම් ..ම්. ඔහු කරාස් ගා කාරයේ ගියරය
දැම්මේත් , පීප් පීප් ගා නළාව හැ⁣ඬෙව්වේත් කටින්මය. ඔහු දෑතින් ස්ටියරින් වීලය කරකවමින් පීප් පීප් බ්‍රෑම්...ම්...ම්...ම් ගාගෙන වේගයෙන් ගුරු පාර දිගේ කටින් තම කාරය එලවාගෙන ගිය සැටි මේ දැනුත් මට මැවී පෙනේ. ඒ දර්ශනය ඒ අයුරින්ම තවමත් මගේ සිතේ නොමැකී ඇඳී ඇත්තේ මන්දැයි මම නොදනිමි.
එදා ඒ කටින් කාරය එලවාගෙන ගිය කෙට්ටු මිටි පිරිමි ළමයා ඉපිද හැදී වැඩුණේ කළුබෝවිල මගේ ගමේමය. කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේදී හෝඩියේ සිට පස් වන පන්තිය දක්වා මා සමග එකට අකුරු කළ ඔහු මගේ ළෙන්ගතු මිතුරෙක් විය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු හැව්ලොක් ටවුන් සීනියර් විදුහලටත් (පසු කලක මෙය ලුම්බිනි විදුහල නමින් ප්‍රකට වුණි.) මා නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලටත් වෙන්ව ගියද අප දෙදෙනාගේ මිත්‍ර සන්ථවය නොවෙන්වම පැවතුණි.
කුඩා වියේ කටින් කාරය එලවාගෙන ගමන් යෑමට ප්‍රිය කළ ඒ මගේ සකි සඳාණෝ අනිකෙකු නොව අප අතර සිට අකල්හි සදහටම මෙලෝ හළ කීර්තිමත් සංගීතඥ ලයනල් රන්වලයෝය. පාසල් වියේ සිට මිය පරලොව යන තෙක්ම ලයනල් රන්වලයන් සහ මා අතර පැවතුණේ ඉතා කුලුපග මිත්‍ර සන්ථවයකි. කීර්තිමත් සංගීතඥයෙකු , නාට්‍ය කරුවෙකු , නළුවෙකු හා ගායකයෙකු වීමෙහිදී ඔහුගේ ජන්ම උපනිශ්‍රය පොබයා ලීමට තම ජාන උරුමයද ඉඳුරා හේතුකාරක වන්නට ඇතැයි මම කල්පනා කරමි. ලයනලයන්ගේ පියා රංගන කුසලතා උරුම කරගත්තෙක් වූ සේම , ඔහුගේ මවද ගායන කුසලතා උරුම කරගත්තියක් වූ හෙයිනි. ලයනලයන්ටත් පෙර , ප්‍රතිභා සම්පන්න වේදිකා නළුවෙකු හා චිත්‍රපටි නළුවෙකු ලෙස ජනප්‍රියව සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරු විනී රන්වලයන්ගෙන්ද ඒ බව මනාව සනාථ වෙයි.
මෙවේලේ 06 වන දශකය වෙත ඉගිල යන මගේ මතක හිත , එකල තරුණ වියේ සහ මැදි වියේ හුන් කලාකරුවන්ගේ එකම සන්ථාගාරය වූ ප්‍රෙස් ක්ලබ් අවන්හලේ නවතියි. ගෝල්ෆේස් හෝටලේ එක් පසෙක මහ මුහුදට බෑවුම් වූ ඉඩමක පිහිටි එම සොඳුරු අවන්හල තුළ එක් නිශා භාගයේ ගිගුම් දුන්නේ සුගතපාල සිල්වාණන්ගේ 'අපේකට්ටිය'
පැවැත්වූ මධුර මධුසාදයක උන්මාද රාවප්‍රතිරාවයයි. ඒ රම්‍ය රාත්‍රියේ මධු මද මුදිතව සඳ අඹරට යවමින් අප නැටු ගැයූ එම මධුසාදයේදී විනී රන්වලයන් රඟපාමින් ගැයූ නාඩගම් ගී රාවය දැනුදු මගේ මතක මන්දිරය සිසාරා නින්නාද වෙයි. චිත්‍රා ධනවලවිතාන (වාකිෂ්ට) දික්තලාව සමග විනී රන්වලයන් කාලගෝලයාට රඟ පෑ වේදිකා නාට්‍ය දසුනද තවමත් මගේ මතකයේ නොමැකී ඇඳී පවතින්නකි. ප්‍රශස්ත නිළියක සහ හඬ කැවීම් ශිල්පිනියක වශයෙන් මෙකල ප්‍රකටව සිටින වසන්ති රන්වල කලාකාරිය විනී රන්වලයන්ගේ ඖරස දියණියයි.
කාලයාගේ ඇවෑමෙන් ලයනල් රන්වලයෝ සහ මම නොයෙක් සාහිත්‍ය සම්මන්ත්‍රණ , පාඨමාලා , වේදිකා නාට්‍ය , ගුවන් විදුලි - රූපවාහිනී වැඩසටහන් ආදියෙහිදී නිතර නිතර හමුවීමු. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු සේ සේවය කරන අවධියේ ඔහු වරක් මා එහි කැඳවා තම ශිෂ්‍යයන් උදෙසා සාහිත්‍ය වැඩමුළුවක් පැවැත්වූ අයුරු මෙවේලේ මගේ සිහියට නැගේ. ලයනල් රන්වලයෝ දේශජ
සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ දැඩි මතධාරියෙක් වූහ.
ඇතැම් සම්මන්ත්‍රණයකදී ඔහු පැවැත්වූ දේශනය අසා සිටි මට නිතැතින්ම සිහියට නැගුණේ ඔහුගේ පාසල් ජීවිතයයි. එකල අප දෙදෙනා එකට ඉගෙන ගත් බුද්ධඝෝෂ විද්‍යාලයේ සාහිත්‍ය සමිතියට ලයනල්හු නැතිවම බැරි ළමයෙක් වූහ. මෙකල මෙන්ම එකලද පාසල් සාහිත්‍ය සමිතිය ඉදිරියේ විවිධාංග ඉදිරිපත් කිරීමේදී සබකෝලෙන් තොරව පෙරමුණට එන ළමයි හිඟ වූහ. එසේ පෙරමුණට ආ අතළොස්සක් ළමයින් අතරින් ලයනලයෝම මුල් තැනක් ගත්තෝය.
පසු කලක ලයනල් රන්වලයන් සාත්වික , ආංගික , වාචික යන ත්‍රිවිධ අභිනයෙන් විචිත්‍ර වූ වාග් චාතුර්යෙන් සමන්විත දේශකයෙකු ලෙස කීර්තිමත් වීමට සමත් වූයේ ඔහුගේ නිසර්ග සිද්ධ කුසලතා තුනක් නිසාය යනු මගේ කල්පනාවයි. ගායන , රංගන හා භාෂණ යන ත්‍රිවිධ කෞශල්‍යයන්ගේ සමවාය කරණ කොටගෙන ඔහුගේ දේශනය විචිත්‍ර විය. රසාලිප්ත විය. ලයනලයන්ගේ එම ජන්මජ කුසලතා තුනේ මහිම බීජය මා පළමුවරට දුටුවේ බුද්ධඝෝෂ විද්‍යාලයේ අපගේ පාසල් සාහිත්‍ය සමිති රැස්වීමේදීය. කාලයාගේ ඇවෑමෙන් බිහිවුණු ලයනල් රන්වල නමැති ස්වාධීන සංගීතඥයාගේ නාට්‍යකරුවාගේ සහ දේශකයාගේ ප්‍රතිභා ශක්ති ආලෝක පුංජය , එදා පාසල් සාහිත්‍ය රැස්වීමේදී ඔහු ඉදිරිපත් කළ නානා රසාංග අතරින් කැලුම් දෙන අයුරු සියල්ලන්ගේම ඇසට දිස්වන්නට ඇතුවා නිසැකය.
ලයනල් රන්වලයන් සතු ගායන , රංගන හා භාෂණ කුසලතා පෝෂණය කිරීමෙහිලා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලය ආභාස තෝතැන්නක් වීය යනු මගේ හැඟීමයි. බුද්ධඝෝෂ විද්‍යාලයේදී ලයනලයන්ට මෙන්ම මටද සිප් සතර දුන් සාහිත්‍ය ගුරුවරුන්ගේ ගුරු භූමිකාව වූකලී සාත්වික , ආංගික හා වාචික යන ත්‍රිවිධ අභිනය අතින් නළු භූමිකාවට අසමාන නොවූවක් වූ හෙයිනි.
මෙවේලේ මගේ මතකය 06 වන දශකයේ සිංහල නාට්‍ය ලෝකය කරා දිව යන්නේ ඉබේය. 06 වන දශකයේදී ප්‍රථම වරට සිංහල නාට්‍ය ලෝකයට කැරකෙන වේදිකාව (Revolving Stage) හඳුන්වා දුන්නේ ප්‍රශස්ත නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ය. ඒ , ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද 'බක්මහ අකුණු' නාට්‍යය වේදිකාගත කිරීමෙහිදීය. වේදිකා සැරසිලි පිළිබඳ කෘතහස්තයෙකු ලෙස එකල නම් දරා සිටි මහින්ද ඩයස් කලාකරුවා හැව්ලොක් ටවුන් රඟහලේ ( පසු කල ලුම්බිනි රඟහල) ලෑලි කරළිය මත මේ නව කැරකෙන වේදිකාව තැනූ අයුරු මට අද මෙන් මතකය. 'බක්මහ අකුණු' නාට්‍යයේ එක් එක් ජවනිකා වරින් වර ප්‍රේක්ෂකයන්ගේ ඇසට හසු කරන ලද්දේ එම වේදිකාව අතින් කරකැවීමෙනි. ලංකාවේ රඟහලක කැරකෙන වේදිකාවක් තැනූ පළමු වාරයත් අවසාන වාරයත් එයම වී යැයි සිතමි.
06 වන දශකයේදී තවත් මෙවැනි පුරෝගාමී ප්‍රයත්නයක් නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සූරීන් විසින්ද දරන ලදී. එය , කැරකෙන වේදිකාව වැනි අචේතන රංග වස්තුවක් හඳුන්වාදීමක් නොවේ. එය වූකලී නව සචේතන රංග ප්‍රයෝගයක් ප්‍රථම වරට සිංහල නාට්‍යයක් සඳහා
භාවිතයට ගැනීමකි.
ඉන් පෙර , කරළිය මත පෑ නළු නිළි රැඟුම් නැරඹීමට සිංහල නාට්‍ය රසිකයන් පුරුදුව සිටියේ ප්‍රේක්ෂාගාරයේ හිඳගෙනය. නළු නිළියන්ද එසේ රඟනු පිණිස නන් වෙස් ගෙන කරළියට පිවිසුණේ නේපථ්‍යාගාරයේ සිටය. එහෙත් , ප්‍රේක්ෂාගාරයේ සිට නළු නිළියන් රඟපාමින් කරළියට පිවිසෙනු සිංහල ප්‍රේක්ෂකයන් ප්‍රථම වරට දැක ගත්තේ සුගතපාල ද සිල්වා නාට්‍යවේදියා රචනා කොට නිෂ්පාදනය කළ 'හරිම බඩු හයක්' නාට්‍යය නරඹද්දීය. සුගතපාලයන් තම නාට්‍ය සංගමය වන 'අපේ කට්ටිය' වෙනුවෙන් මෙම නාට්‍යය සිංහලට නගා නිෂ්පාදනය කළේ ඉතාලි නාට්‍ය රචක ලුයිජි ෆිරැන්ඩලෝගේ Six Characters in search of an Author නමැති නාට්‍යය ඇසුරෙනි.
06 වන දශකයේ හා හපුරා කියා භාවිතයට ගැනුණු මේ සචේතන රංග ප්‍රයෝගය හා කැරකෙන වේදිකාව ලයනල් රන්වලයන් සහ මා පළමුවරට දුටුවේ 05 වන දශකයේ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රාථමික පන්තිවල ඉගෙන ගනිද්දීය. එකල අපට සාහිත්‍යය ඉගැන්වූ කරුණාරත්න ඉස්කෝල මහත්තයා කිසි දිනක පන්තිය ඉදිරියේ වූ ගුරු මේසය ළඟ හිටගෙන හෝ ඒ මත ඉඳගෙන හෝ අපට ඉගැන්වූ කෙනෙක් නොවේ. කවි රසයෙන් හා කතා රසයෙන් ඔහු අප ප්‍රබෝධ කළේ පන්තිය වටේම යමිනි. එක් එක් ඩෙස්ක් පේලි දිගේ ඇවිදිමිනි. අප එකිනෙකාගේ මුහුණුවලට එබෙමින් සාත්වික , ආංගික , වාචික යන ත්‍රිවිධ අභිනයම පාමිනි. වරෙක පන්ති කාමරය ප්‍රේක්ෂාගාරයක් කොට ගෙනද වරෙක එය කරළියක් කොටගෙනද රඟන නළුවෙකුගේ විලාසයෙනි. අපද ඔහුගේ රසාත්මක නාට්‍යමය සාහිත්‍ය පාඩමෙන් ආස්වාදය ලබන්නේ ඔහු යන යන දෙසට හැරි හැරී බලමිනි. මුළු පන්ති කාමරයම එකම කැරකෙන වේදිකාවක් වැන්න. ගුරු නළුවා ඒ වටා බමන හෙයිනි.
සංස්කෘත නාට්‍ය කලාවේ ආදි කර්තෘ භූත භරත මුනි ආචාර්යපාද ප්‍රණීත 'නාට්‍ය ශාස්ත්‍ර' නම් ග්‍රන්ථ රත්නයේ 'චතුර් අභිනය' පිළිබඳ රංග සිද්ධාන්තය හමුවෙයි. චතුර් අභිනයෙන් තොරව නාට්‍යයක් පහළ විය නොහැකි බව තත් ප්‍රාමාණික නාට්‍ය ග්‍රන්ථ රත්නයෙන් ඉඳුරා සාක්ෂාත් වෙයි. රඟ පෑමේදී නළු නිළියන් උනුනුන්ගේ ඇසට ඇස අවුළුවා ගැනීම (Eye Contact) අත්‍යවශ්‍ය කාර්යකි. බුද්ධඝෝෂයේදී අපට සාහිත්‍යය ඉගැන්වූ සිංහල ඉස්කෝල මහත්තයා භරත මුනිවරයාගේ එකී චතුර් අභිනය පිළිබඳ රංග සිද්ධාන්තය දැන සිටියේද යන්න නොදනිමි. එහෙත් ඔහු තෙවැදෑරුම් අභිනයක්ම තම ගුරු භූමිකාවේදී ප්‍රායෝගිකවම භාවිතයට ගත් බැව් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. ඔහු තම මුහුණින් හැඟීම් පළ කරමින් සාත්වික අභිනයද , අඟපසඟ සොලවා ලෙළවා ආංගික අභිනයද , මිහිරි කවි හා මුකරි දෙබස් කියමින් වාචික අහිනයද එක සේ පෑවේ අප සිතු සේ කුල්මත් කරමිනි. එසේ නම් ගුරු භූමිකාවත් නළු භූමිකාවට සමාන කොට සැලකීමේ වරද කිම? සතර අභිනයෙන් අභිනය තුනක්ම ගුරුන් විසින් භාවිතයට නොගත යුතුද? එවිට ඔවුන්ගේ ඉගැන්වීමේ කාර්ය ගතානුගතික ව්‍යායාමයකට වඩා නිර්මාණාත්මක අභ්‍යාසයක් බවට පෙරළෙනු කවර අරුමයක්ද? එකල ගුරුවරයා යනු බහුශ්‍රැත රස සාගරයකි. ලයනල් රන්වලයන් සතුව පැවැති අපූරු ගායන , රංගන හා භාෂණ කෞශල්‍යය වූකලී අර පාසල් ඥාන උරුමයේ සහ භාව උරුමයේ අභීෂ්ට ප්‍රතිඵලයක් යැයි කීම කවර වරදද?
වරක් දිනේෂ් ගුණවර්ධනයන්ගේ 'මහජන එක්සත් පෙරමුණ' පක්ෂය විසින් සංවිධානය කරන ලද ෆිලිප් ගුණවර්ධන අනුස්මරණ උත්සවයක් හංවැල්ල නගරයේ පැවැත්වුණි. මෙම අනුස්මරණය නිමිත්තෙන් මගේ
සන්මිත්‍ර ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අතින් සංක්ෂිප්ත ෆිලිප් ගුණවර්ධන අපදානයක්ද සම්පාදනය වූයේ එකල මහජන එක්සත් පෙරමුණේ ප්‍රබලයෙකුව සිටි නීතිඥ සෝමරත්න දිසානායකයන්ගේ ඇරයුමෙනි. දිසානායකයෝ මගේ විශ්වවිද්‍යාල වයස්‍යයෙකි. මාත් සුනන්ද මහේන්ද්‍රයනුත් මේ උත්සවයට සහභාගීවීමට හංවැල්ලට ගියේ දිසානායකයන් සමගය.
එදා එම සමරු උලෙළේ විශේෂ ආරාධිත දේශකයා වූයේ ලයනල් රන්වලයන්ය. දේශජ සංස්කෘතික අනන්‍යතාවේත් පාරම්පරික ජන ගී සම්ප්‍රදායේත් මහිමය කෙරෙහි තමා තුළ පැවති අව්‍යාජ අධ්‍යාත්ම බන්ධුත්වය ඔහු එදා තම දේශනයෙන් විදහා පෑවේ අප්‍රමේය උද්දාමයකින් හා උද්වේගයකිනි. ඔහුට හුරු පුරුදු උපහාසයෙන් හා හාස්‍යයෙන් සපිරි මුකරි කියමන්වලින් එම දේශනය රසාලිප්ත විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම උත්සවයට සහභාගි වුණු මහජන එක්සත් පෙරමුණ පක්ෂ නායක දිනේශ් ගුණවර්ධනයන් මෙන්ම එහි රැස්ව සිටි සියලු ජනතාවද රන්වලයන්ගේ දේශනයෙන් නොමඳ ආස්වාදයක් ලැබූ සැටි මට අද මෙන් මතකය.
ලයනල් රන්වලයන් , සුනන්ද මහේන්ද්‍රයන් , සෝමරත්න දිසානායකයන් සහ මා ඇතුළු සුළු පිරිසකට එදින මධු සාද සංග්‍රහයකට ආරාධනා ලැබුණි. එය පැවැත්වුණේ හංවැල්ල තානායමේය. ප්‍රකට ප්‍රශස්ත ගායකයන් දෙදෙනෙකු වන නාරද දිසාසේකරයන් සහ පියසිරි විජේරත්නයන්ද එදින අප සමග එම සංග්‍රහයට සහභාගි වුණු බව මට මතකය.
ලයනල් රන්වලයන්ගේ රස කතාවලින් හා ගායනාවලින් පමණක් නොව නාරද දිසාසේකරයන්ගේ සහ පියසිරි විජේරත්නයන්ගේ මධුර සින්දු වලින්ද අපමණ ආස්වාද විඳිමින් මධු මද මුදිත මධුකර නිකරයක ආකාරයෙන් අප එදා එම සහෘද ජන සාදය සඳ අවරඹරේ රැඳෙන තුරුම පැවැත්වූ සැටි මට අද මෙන් මතකය.
මේ සොඳුරු සාදය පැවැත්වෙන අතරතුර හිටි හැටියේ ලයනල් රන්වලයෝ සහෘද පර්ෂදයෙන් අතුරුදහන් වූහ. සාහිත්‍ය සංගීත
රසාකරයක ගිලී සිටි බැවින් රන්වලයන්ගේ අන්තර්ධානය කෙරෙහි අපගේ අවධානය වහා යොමු නොවුණි. මඳ වේලාවක් ගිය පසු රන්වලයන් සහෘද පර්ෂදයෙන් එර්දි වී ඇති බව ඉව වැටුණු එකෙක් එක් වරම උස් හඬක් නැගීය.
"කෝ බං රන්වලය. මූ පැදුරටත් නොකිය පැනල ගිහිල්ල වගේ."
එසැණින් අහසින් බැස්සා සේ රන්වලයන් සිය සුපුරුදු සිනා වතින් එතැනට පිවිසුණේ මෙසේ තෙපලමිනි.
"යකෝ මං පැනල යන එකෙක් නෙමෙයි. මං ගියෙ මේ රෙස්ට් හවුස් එකේ කාමරයක් බලන්න."
"මොකටද බං මේ අස්සෙ රෙස්ට් හවුස් කාමර බලන්නෙ? රෑට ඉන්නද?"
"රෑට ඉන්න නෙමෙයි. රෑක හිටිය කාමරයක් බලන්න ගියෙ."
"කා එක්කද බං?"
"කා එක්කවත් එක්ක නෙමෙයි යකෝ මගේ මායියත් එක්ක."
ලයනල් රන්වලයන් තම මංගල රාත්‍රිය ගෙවූ සුන්දර මන්දිරය හංවැල්ල තානායම බව අප සියල්ලන් දැනගත්තේ එවෙලේය.
තම ජීවිතයේ රම්‍ය අවධියක , සුරම්‍ය අත්දැකීමක් විඳි , ශුභ මොහොතක් සිහියට නගන සුප්‍රසන්න තැනකට අනපේක්ෂිතව පැමිණීමට සිදුවීමත් කොතරම් අපූර්ව අත්දැකීමක්ද! ඈත අතීතයට ඇදී ගිය මිහිරි මොහොතක් යළි සිතින් ස්පර්ශ කිරීමට සොයන්නාගේ සිත මඳ
නලිනිදු සැලෙන වෙණ තතක් නොවේද?
සංගීතය සම්බන්ධයෙන් මෙරට ශාස්ත්‍රවාද තුනක් විද්‍යමානය. එයින් එක් වාද ධාරාවකට ආධාරක කොට ගෙන ඇත්තේ උත්තර භාරතීය රාග ධාරී සංගීත සම්ප්‍රදායයි. අනික් ශාස්ත්‍රවාදය ජන කවි හා ජන ගී අයත් වන දේශීය ගායන සම්ප්‍රදාය පාදක කොට ගත්තකි. තුන් වැන්න නම් සංගීතය යනු වචනයෙන් විනිර්මුක්ත හුදු ස්වරයම ආත්ම කොට ගත්තකැයි යන මතය මත පිහිටියකි.
මෙරට උත්තර භාරතීය රාග ධාරී සංගීත සම්ප්‍රදායේ ශාස්ත්‍රීය පුරෝගාමියා එම්.ජී. පෙරේරා සංගීතඥයා යැයි සිතමි. එය පාසල් පද්ධතියට එක් කිරීමට පුරෝගාමී වූයේ සංගීතඥ ලයනල් එදිරිසිංහයන්ය. දේශීය සංගීතය පිළිබඳ මුල් බිජුවට ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්තයන් විසින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ වපුරන ලද්දේ වී නමුත් එය ශාස්ත්‍ර වාදයකට හරවා පර්යේෂණාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත් කළේ ඩබ්ලිව් .බී. මකුළොළුව සංගීතඥයාය. සංගීතය යනු වචනයෙන් විනිර්මුක්ත හුදු ස්වරයම ආත්ම කොට ගත්තක් යන මතය මත පිහිටා මෙරට අඛණ්ඩ අරගලයක් ගෙන ගිය සංගීතඥයා වශයෙන් හැඳින්විය යුත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ය.
ඩබ්ලිව් . බී . මකුළොළුව සංගීතඥයා විසින් අරඹන ලද ගමන් මගට පිළිපන් සංගීතඥයෝ දෙදෙනෙකි . ඉන් එක් අයෙක් සී ද ඇස්.කුලතිලක සංගීත වේදියාය. අනෙක් සංගීතවේදියාණෝ ලයනල් රන්වලයෝය. ඔවුන් දෙදෙනා අතරින් ලයනල් රන්වලයෝම තම ගුරු මකුළොළුව සංගීතඥයාගේ දේශීය සංගීත ශාස්ත්‍රවාදය ඉතා ළැදි සිතින්
වැලඳගෙන ඉතා දැඩි සිතින් ඉදිරියට ගෙන ගියහ. තම සංගීත මතය අරබයා ප්‍රේමසිරි කේමදාසයන් දිවි හිම් තෙක් අඛණ්ඩව අරගලයක් ගෙන ගියේ කෙතරම් අභීත සිතකින්ද ලයනල් රන්වලයන්ද තම සංගීත මතය වෙනුවෙන් තම ජීවිතයේ අවසානය තෙක්ම අඛණ්ඩ අරගලයක් ගෙන ගියේ එතරම්ම අභීත සිතකිනි. ලයනල් රන්වලයන් තම සෞන්දර්ය නිර්මාණ කාරියේදී අන් සියල්ලටම වඩා විශ්වාසය තැබුවේ තමාට උරුම පාරම්පරික ජන කවි සම්ප්‍රදාය සතු අනන්‍යතාව කෙරෙහිය යනු මගේ අවංක හැඟීමයි. ඔහු අභිනව ශිෂ්‍ය පරම්පරාවකට එම අනන්‍යතා බීජය එන්නත් කළේ රසාත්මකවය. එකී ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව එහි ජීවමාන සාක්‍ෂිකරුවෝය. ඔහු තම ජීවිතය පුරාම විරුද්ධ වාද නැගුවේ නව නිර්මාණ ව්‍යාජයෙන් එකී අනන්‍යතාව කෙලෙසන රැඩිකල් සංගීත භ්‍රෂ්ටයන්ට එරෙහිවය. එහෙත් ඔහු කිසිසේත් විවිධ විචිත්‍ර ප්‍රාචීන හෝ අර්වාචීන වෙනත් සංගීත සම්ප්‍රදායන්ගේ ආභාසය , ආවේශය හා ආලෝකය සපුරා ප්‍රතික්ෂේප කළ කූප මණ්ඩුකයෙකු නොවිණැයි සිතමි. උචිතානුචිත භේදය සිත තබාගෙන දේශීය නොවන තූර්ය භාණ්ඩද උපයෝගී කරගෙන ඔහු කළ නව නිර්මාණයෝ ඒ බවට සාක්ෂාත් සාක්ෂි සපයති.
"සතර දෙසින් එන සුළඟට තම ගෙට පිවිසෙනු පිණිස කවුළු
දොර හැර තබව.එහෙත් තමා ගසාගෙන යෑමට ඊට ඉඩ නොදෙව." යන ගාන්ධි ජීගේ සනාතන ආප්තවාක්‍යය මා ළබඳ ලයනල් රන්වලයන්ගේ හද මැදුරෙහි නිබඳ නිනද වන්නට ඇතැයි මම ඉඳුරා විශ්වාස කරමි,.
ලයනල් රන්වලයෝ උභය පුත්‍ර ලාභියෙකි. තත් පුත්‍රයෝ දෙදෙනාම උපනිශ්‍රය ඇත්තෝය. පිතෘ ජාන උරුමය නොමඳව ලද්දෝය. කුලුඳුල් චිරන්තයෝ මෙකල තම පියාගේ පදවීතිහාරය අත්හැර ඇත්තා සේය.
එහෙත් කිස් දොවුන් පුත් සහන්හු තම පියා අනුදත් මග දිග දැඩි එඩියෙන් නොනැවත ගමන් ගන්නේ ඒකචර ඛග්ග විසාණයෙකු වෙසිනි. බඩ පිස්සා වන තමාට 'සහන්' යන නම තබන විට පිය සිත්හි වූ පැතුම අරුත් සුන් නොකරන උදාර අදිටනින් මෙනි.
අපේ ජීවිතය කවර දෛවෝපගත සිද්ධියකින් කෙළවර වේදැයි යන දාර්ශනික ප්‍රශ්නය ගැන සිතමින් වෙහෙසීමට එකල කුඩා වියේ වූ අපට කවර අවශ්‍යතාවක්ද? එහෙත් එදා පාරේ දුව යද්දී නිතරම කටින් කාරය එලවාගෙන යෑම විනෝදාස්වාදයක් කොටගෙන සිටි ඒ මගේ ළෙන්ගතු පාසල් පන්ති මිතුරු ලයනල් රන්වලයන්ගේ ජීවිතය පසු කලෙක තම වෑන් රිය පදවාගෙන යද්දී මුහුණ පෑ හදිසි අනතුරකින් නොසිතූ නොපැතූ ලෙස කෙළවර වීම දෛවෝපගත සිද්ධියක් නොවන්නේද?
ලයනල් රන්වලයන් මෙලෝ හළ කල මා ළබඳ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ හද හෙළුෑ කවි කඳුළු බිඳුවලින් මේ මතක වත දොවා නිම කරම්හ.

පර සතුරන් බලමුළු ගෙන පැමිණි කලට
වනයට ගිය කඳු හෙල් ගංගා පසු කොට
ආදි මුතුන් මිත්තනියන්ගේ
කටහඬ
සිහිනෙන් ඇසුණාද ඔබට

ගන වන ගැබ පීරා ගොස් ගමින් ගමට
අවදි කරන් එම කටහඬ රස මුසු කොට
නාද රටා සදා මවා තුටු
වන්නට
කවදා සිතුණාද ඔබට

එවන් නාද තනු ගළපා අලුත්
ලොවට
නොයෙක් සුළං රැළි හමනා කොදෙව්වකට
මුනුපුරු මිනිපිරි හදවත්
නළවන්නට
සතුටක් තිබුණාද ඔබට

ඒ මෙවලම් සියල් දමා
අතරමගෙක
නිහඬ බවේ නාදය දී අපෙ
සවනට
අනන්ත දිගු විරාමයක
සැතපෙන්නට
වෙහෙසක් දැනුණාද ඔබට



අදහස් (0)

මිතුරු තුමෝ තම ජන උරුමයට බැතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 586 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 427 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site