හරිම උජාරුවට ඩෙනිම් කලිසමක් ඇඳගෙන ලස්සන කමිසයකින් උඩුකය සරසාගෙන හොඳ හැටි සුවඳ විලවුන් තවරාගෙන තම පෙම්වතිය බලන්නට හෙල්මටයක් නොපැළඳ යතුරුපැදියේ නැගී ගිය සරසවි ශිෂ්‍යයෙකි.

ඔහුගේ ගම ගාල්ලේය. විශ්වවිද්‍යාලයට ආවේ හොඳින් ඉගෙන ගන්නටය. ඒත් හැමදේටම වඩා යතුරුපැදියක අවශ්‍යතාව ඔහුට දැනිණි. දස අතේ වැඳ වැටී පහසු ගෙවීමේ ක‍්‍රමයට යතුරු පැදියක් මිලදී ගත්තේ මේ නිසාය.

දැන් ඔහුට ”සරු” යැයි ඔහු දුටු යහළු යෙහෙළියෝ සිතූහ. එහෙත් ඇත්ත දන්නේ ඔහු පමණි. අතේ තඹ දොයිතුවක් නැත. ඔහුගේ අසරණකම කොතරම්ද කියනවා නම් ඉන්ධන ගැනීමට ද මුදල් ලබාගන්නේ දස අතේ ණය වෙලාය. බෝඩිමෙන් සරසවියටත් සරසවියෙන් බෝඩිමටත් යතුරුපැදියෙන් යෑම ඔහුගේ සිරිත විය.

මේ අකරතැබ්බය වූයේ මේ අතරතුරය.

”උඹ ගෙදර ඉඳන් දැන් ද ආවේ?” ඒ ඇහුවේ ඔහුගේ අඹ යාළුවාය.

”ඔව් මචං. දැන් මම හොස්ටල් යනවා. පස්සෙ හම්බ වෙමු.”

ඉයර් ෆෝනය කනේය. ඔහු යතුරුපැදියේ නැගුනේ සිනමාවේ වීරයකු සේය.

”ටේරී මේරී මේරී ථේරී....

පේ‍්‍රම් කහානි හු මිසුදිල්...”

ගීතය තාලයට මුමුණමින් ඇක්ෂන් ද දමන්නට වීය.

”මළා” ඔහුට ඉබේටම කියවිණි. ඉදිරියෙන් එන්නේ ”ට‍්‍රැෆික්” පොලිසිය නේද? ඔහුට හීන් දාඩිය දැමීය. පිටිපස්සේ සිටි සාජන්ට් මහත්තයා යතුරු පැදිය නවතන මෙන් අත උස්සා අණ කෙළේය. එහෙත් ඔහු එය ගණන් ගත්තේ නැත. යතුරු පැදියේ වේගය වැඩි කළේය. අතුරු පාරකට යතුරු පැදිය දමා විනාඩි 20ක් පමණ නවතා තබා පසුව මගදී හමුවූ යහළුවකු ද යතුරුපැදියේ නංවා ගත්තේය.

”උඹ දන්නෑනෙ මම අද දීපු ගේම”

යනුවෙන් කතාව පටන්ගෙන තමා කළ වික‍්‍රමය එකින් එක සිනහවෙමින් පවසන්නට වීය. එලෙස පවසමින් බෝඩිම දෙසට යතුරුපැදිය දැම්මා පමණි.
”දෙයියෝ සාක්කි. අරුන් දෙන්නා නේද?” ඔහුට දවල් තරු පෙනිණි.

”කෝ ගන්නවා ලයිසන්.”

”මොකුත් නෑ සර්.” වීරයාට කටඋත්තර නැතිවිය.