කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



 ගල් බෝතලයක් සමග එකට සෙට්වූ මිතුරාගේ වටිනා ජංගම දුරකතනය ගල් කළ අපූරු මිතුරෙකු පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් ඇසේ.
මිතුරා ඉතාලියේ සිට පැමිණියේ ඊයේ පෙරේදාය. ආ සැනින් ඔහු සිය සහචරයන් සමග සෙට්වූවේය. ඒ නිවාඩු නිකේතනයකදීය. ඉස්තරම් බීමට සෙට්වූ අය අකමැති වූහ. ඔවුන් සියලු‍දෙනාම කැමතිවූවේ ගල්වලටය. ඒ නිසාම ඉතාලි මිතුරා ගල් යහමින් ගෙන ආවේය.
ඊට අවැසි කට ගැස්මද ඔහුගෙන්ය. ඊට මදිවට සැන්ඩිද ඔහුගෙන්ය. කොටින්ම කියතොත් සෙට් එකටම ඉතාලි මිතුරා අම්බලන්ගොඩ මිතුරන්ට අතදිගහැර වියදම් කළේය. සියල්ලෝම සතුටින් ගල් බිබී ගල් පැලෙන බොරුද කතා කළහ. ආගිය තොරතුරුද කතා නොවුනාම නොවේ.
මධ්‍යම රාත්‍රිය වන තෙක්ම කට්ටිය කරටි කැඩෙන තෙක් ගල් ගැසූහ. කට්ටිය සතුටින් විසිර ගියහ.


අතරමග යනතුර ඉතාලි මිතුරාට තමාගේ වටිනා ජංගම දුරකතනය නැති බව දැනුනේය. තමා මිතුරන් සමග සෙට්වූ නිවාඩු නිකේතනයේ මේසය උඩ තිබූ බව ඔහුට මතකය. ඒ නිසාම ඔහු ඒ නිවාඩු නිකේතනයෙන් විමසීමක් කළේය. එහි ද තමාගේ දුරකතනය නැති බව දැන ගන්නට ලැබිණ.
ඉන් අනතුරුව ඔහු තමා සමග සෙට්වූ මිතුරන් ගෙන්ද ඒ ගැන විමසීය. ඒ කිසිම කෙනකු ළඟ තමාගේ දුරකතනය නැති බවද දැන ගන්නට ලැබිණ. ඉතාලි මිතුරා කලබලවූවේය. ඒ තමාගේ වැදගත් සියල්ලම එහිය. නැවත ඉතාලි බලා යන ගුවන් ගමන් බලපත්‍රයද එහිය. එය මතක්වීමත් සමගම ඔහුට හීන් දහඩිය දැම්මේය.
තමාගේ ජංගම දුරකතනය කවුරුන් හෝ සොරා ගන්න ඇතැයි ඔහු අනුමාන කළේය. ඒ සිය ජංගම දුරකතනයට වෙනත් දුරකතනයකින් ඇමතුම් ගත්තද එය නිෂ්ක්‍රීයව තිබූ බැවිනි. ඉතාලි මිතුරා සිය නැතිවූ ජංගම දුරකතනය සොයා ගැනීමට පොලිසියේ සහාය පැතීමට ඉටා ගත්තේය. රෑ එකට සෙට්වූ මිතුරන්ට ද ඔහු එය කීවේය. දුරකතන අංකය අක්‍රීය කළද එහි ඉමි අංකයෙන් එය සොයාගත හැකි බවද කීවේය.
මෙය ප්‍රචාරයවීමත් සමගම එකට සෙට්වූ එක් අයකු තමා ඔහුගේ ජංගම දුරකතනය රැගෙන ආ බව කීවේය. එම ජංගම දුරකතනය දුටුවිට ඇතිවූ ආශාවට එය රැගෙන ආ බවද කීවේය. තමා කළ වැඩේට සමාවද ඉල්ලු‍වේය. ඔහුගෙන් සමාව ලැබුණත් ඔහු කළ මේ පහත් වැඩේ නිසා මිතුරු රැලෙන් ඔහු හැලුණේ නොදැනුවත්මය