පෝද්දල - සරත් ආනන්ද ගමගේ
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා යතුරුපැදියෙන් රැකියාවට යාමට නොහැකි වූ පුද්ගලයකු ලොකු කුඩයක්ද ගෙන බස් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේ ඇතිවූ සිද්ධියකින් ඔහුගේ පවුල් ජීවිතය කෙළවර වීමට ගොස් යන්තම් බේරී ඇති පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය.
හෙතෙම රජයේ රැකියාවක නියුතු වූවෙකි. ගමන බිමන යතුරුපැදියෙනි. පාසල් වියේ දරු දෙදෙනකුගේ පියකු වන ඔහු කඩවසම් පෙනුම ඇත්තෙකි. මේ පෙනුම අන් කාන්තාවන්ගේ ඇස ගැටෙතැයි සිතා බිරිඳ සිටියේ හොඳ සෙවිල්ලෙනි.
මේ දිනවල එකදිගට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා යතුරුපැදියේ ගමන මහත් වදයක් විය. කාලය පිළිබඳ ගැටලුවක් ඇතිවුවද ඔහු බස් රථයෙන් ගමන් කිරීමට තීරණය කළේය. බිරිඳ ඔහුගේ ආරක්ෂාවට ලොකු කුඩයක්ද ලබා දුන්නාය.
පසුගිය දිනක ඔහු රැකියාවට ගොස් සිටි අතර එදින සවස් කාලයේ බිරිය දරු දෙදෙනා සමග රූපවාහිනිය නරඹමින් සිටියාය. ඒ අතර එකවරම ගාලු නගරයට ධාරානිපාත වර්ෂාවක් ඇදවැටෙන්නේ යැයි කියමින් රූපවාහිනි තිරයේ විශේෂ ප්රවෘත්තියක් විකාශනය කළේය.
එහි එක් දර්ශනයක ඔහුගේ ස්වාමිපුරුෂයා සිය කුඩය යටින් කාන්තාවකද සමග ගමන් කරන දර්ශනයක්ද විකාශනය විය.
දර්ශනය දුටු දරු දෙදෙනා ද “අන්න අපෙ තාත්තා” යැයි කෑගැසූහ. මේ සිද්ධියෙන් මහත් කම්පනයට පත් කාන්තාවට සිය පුරුෂයා පිළිබඳ ඇතිවූයේ මහත් කලකිරීමකි. “ආපුදෙන්කො අද ගෙදර මං හොඳ පාඩමක් උගන්වනවා” යැයි සිතමින් ඈ ඔහු ගෙදර එනතුරු බලා සිටියාය.
එතැන් සිට එම නිවසේ ඇතිවූයේ බැණ වැදීම් හා අඬෝවැඩියාය.
තමා සිය සේවා ස්ථානයේ කාන්තාවක සිය කුඩය යටින් එක්කරගෙන ගොස් පාරෙන් එහා පැත්තේ වූ ඇගේ සැමියා පැමිණි වාහනයට හැරලූ බව ඔහු දිවුරා ප්රකාශ කළ ද බිරිඳ එය පිළිනොගත්තාය.
විවාහය අදින් පසු අවසන් කර ඈ ගමට යන බවට තර්ජනය කරමින් ඔහුට දෝෂාරෝපණය කළාය. පසුදා ඔහු වැඩට ගියේ දහවල් බත්පතද අහිමිවය. ඔහු තමා පත්ව ඇති තත්වය කාර්යාලයේ මිතුරු මිතුරියනට ද පැවැසීය. කුඩය යටින් ගිය කාන්තාව දුරකතනයෙන් ඔහුගේ බිරිඳ අමතා සිද්ධිය පැහැදිලි කිරීමට උත්සාහ කළ ද ඈ ඇයටද බැණ වැදුණාය.
එම සති අන්තයේ කාර්යාල මිතුරන් දෙදෙනකු ඔවුන්ගේ නිවෙසට පැමිණ තිබුණේ එම සිද්ධිය වූ ස්ථානය ආසන්න තැනක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගත වූ දර්ශන පෙළක්ද දුරකතනයේ බාගත කරගෙනය. එහි කාර්යාලය ඉදිරිපිට සිටින අදාළ කාන්තාව සිය කුඩය යටින් කැඳවාගෙන වාහන තදබදය අතරින් රැගෙන ගොස් වාහනයට නගිනතුරු ඔහු කුඩය අල්ලාගෙන සිටින අයුරු පැහැදිලිව සටහන් වී තිබුණි. එම දර්ශන නැරඹීමෙන් පසු ඔහුගේ බිරිඳගේ සැකය දුරු විය. “මේ සීසීටීවී නොතිබුණා නම් මගේ පවුල් ජීවිතෙත් ඉවරයි එහෙනම්” කියමින් ඔහු මහ හඬින් සිනාසුණේය.
සුනුවිසුණු වී අවසන් වීමට නියමිතව තිබුණු “පවුල් ජීවිතය” නැවත යථා තත්වයට පත්වීම නිමිත්තෙන් අනතුරුව එම නිවසේ මධු සාදයක්ද පැවති බව ආරංචිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd