පෝද්දල සරත් ආනන්ද ගමගේ
අසල්වැසි නිවෙසක පැවති උපන් දින සාදයකට ගිය තම පුත්‍රයා මහ රෑ වනතුරුත් ගෙදර නොපැමිණීම නිසා කෝපයට පත් මවක් ඔහු කැඳවාගෙන ඒමට ස්වාමි පුරුෂයා පිටත්කර යැවීමෙන් පසු සිදුව ඇති අලකලංචියක් ගැන අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
මෙම මවුපිය යුවළට සිටියේ එකම පිරිමි දරුවෙකි. තරුණ වයසේ පසුවූ මෙම ළමයා මෑතක සිට පෞද්ගලික ආයතනයක රැකියාවකට යන්නේය. ඔවුන් පදිංචි වී සිටියේ නිවාස විස්සකින් පමණ සමන්විත වෙන්දේසි ඉඩමකය. පසුගිය දා මෙම නිවාස සංකීර්ණයේ එක් නිවෙසක උපන් දින සාදයක් යෙදී තිබුණි. රාත්‍රී පැවති මෙම සාදය සඳහා මෙම තරුණයාටද ආරාධනා ලැබී තිබුණි. ඔහු ඒ සඳහා නිවසින් පිටව යන අවස්ථාවේ “රෑ වෙන්න කලින් ගෙදර එන්නැයි” අම්මා නියෝග කළාය.
මධ්‍යම රාත්‍රිය ලඟාවෙමින් පැවැතියද ඔහු ගෙදර නාවේය. අම්මා අවස්ථා කීපයකදී ඔහුට දුරකථනයෙන් ආමන්ත්‍රණය කළද එය ගොළු වී තිබිණි. ඉවසීමේ සීමාවේ රතු කට්ටද පන්නාගත් අම්මා තාත්තාට ගෝරනාඩු කරමින් “ගිහින් ඕකාගෙ කනට දෙකක් ගහලා ඇදගෙන එනවා” යැයි අණ කළාය. නිදාගෙන සිටි ඒ මනුස්සයා කමිසයකුත් දාගෙන “මට නිදාගන්නත් නෑ” යි කියමින් නහයෙන් අඬ අඬා ගෙයින් එළියට බැස්සේය.
සිය නිවෙසේ සිට ගෙවල් හත අටක් දුරින් පිහිටි සාදය පැවති නිවෙසට ඔහු ළඟාවනවිට තරුණ පිරිස එළිමහනේ පුටු තියාගෙන සින්දු කියමින් ආතල් ගනිමින් සිටියහ. පිරිස අතරේ තම පුත්‍රයා කොහේදැයි බලමින් ඔහු සීරුමාරු වෙන අවස්ථාවේ ළඟට පැමිණි තරුණයෙක් අතට වීදුරුවක් දී අනෙක් අතේ තිබුණු බෝතලයකින් ඊට මත්වතුර පිරෙව්වේය. එසැනින්ම තවත් තරුණයෙක් ඔහු අත තිබූ බෝතලයකින් සෝඩාද වක් කර “ගහන්න අංකල්” යැයි කීවේය. ඒ කියන පරක්කුවෙන් ඔහු ගුඩු ගුඩු ගා වීදුරුව හිස් කළේය. ඒ සැණෙන්ම ඔහු අතට බැදපු මස් කෑල්ලක්ද ලැබුණේ ය.
දැන් පුත්‍රයා කැඳවාගෙන ඒමට ගිය තාත්තාද නැත. අම්මාට හොඳම එකෙන් යකා නැගලාය. ගෙදර දොරද වසා දැමූ ඇයද සාදය පැවැති නිවෙසට ගියාය. ඇය යනවිට ඇගේ සැමියා සිටියේ කොල්ලන් සමග නට නටාය.
“ගෙදර නිදාගෙන හිටපු එකා මෙන්න මෙතැන නටනවා” යැයි කියමින් සාදය දෙවනත් වෙන්න නාද කරමින්, ඈ සැමියා සහ පුත්‍රයා සමග කැටුව නිවෙසට ආවාය. පසුදා අසල්වැසි නිවෙස් අතරේද සිද්ධිය පැතිර ගොස් ඇති අතර, ඒ හේතුවෙන් එම නිවෙසේ ඇත්තෝ මුහුණ සඟවාගෙන සිටින බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd