කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය දියණියට වියදමට තමා දුන් මුදලින් මාටියා ගැසූ මුදල පොලියත් සමග ඉල්ලා බිරිය විසින් නිවෙසින් පිටමන් කළ සැමියකු පිළිබඳව කතාවක් ඇසෙන්නේ කරන්දෙණියෙනි.
මනුස්සයා රස්සාව ලෙස කුරුඳු තැලුවත් ඒ මුදල් යට කළේම බොන්නය. නිවෙසේ ජීවිකාව ඇදගෙන ගියේ බිරිය ය. ඒ ඇඳුම් මසාය. එකම දියණිය ඉගෙනීමට ගජ හපනියක් වූවාය. මේ නිසාම ඇය පළමු උත්සාහයෙන්ම විශ්වවිද්‍යාලයට තේරීපත්වූවාය. මේ දියණිය මේ තත්වයට ගෙනඒමට සිය මව කළ කැපවිම සටහන් නොකළහොත් එය ලොකු වැරැද්දකි. අඩුපාඩුවකි.
නේවාසික පහසුකම් නොමිලයේ ලැබුණත් දියණියට අනෙක් වියදම් සඳහා මුදල් නිවෙසින් යැවීමට සිදුවිය. එය කළේද දිවා රෑ මහන්සි වී කුලියට ඇඳුම් මැසූ අම්මාටමය. ඇය එය ඉතා කැමැත්තෙන් දේව කාරියක්සේ ඉටු කළාය. දුව දන්වන දන්වන වෙලාවට ඇය දුවට මුදල් යැව්වාය. ඒ සිය පියා ලවා නගරයේ බැංකුවක් මාර්ගයෙනි.
මාස තුනකින් පසුව දියණිය ලැබූ කෙටි නිවාඩුවකට නිවෙසට ආවාය. මවගේ ඉහේ මලක් පිපුණාක් මෙන්ය. වසර ගණනාවකට පසුව සිය දියණිය නිවෙසට ආවාක් මෙන් මේ මවට දැනුණා ය. ආගිය කතා මේ අතරය. එදාත් පියා පැමිණ සිටියේ කට ගොන්නක් බීෙගනය.
මේ අතර වාරයේ මව දුවගෙන් විමසුවේ දුව එවන්න යැයි කියමින් ඉල්ලූ මුදල් වියදමට ඇතිවූවාදැයි යන්නය. නැහැ අම්මේ මම කියන ගාණට වඩා අම්මා හැමපාරකම වගේ එවලා තිබුණේ රුපියල් දාහක් එක්දහස් පන්සීයක් අඩුවෙන්නේ. අම්මට සල්ලි නැති නිසානේ එහෙම එව්වේ. මම ඉතිං බොහෝම පරිස්සමට ඒ මුදල් වියදම් කරලා ජීවිතය ගැට ගහගත්තා. රස්සාවක් කරන කොට මම ඒ මුදල් දෙගුණ තෙගුණ කරලා දෙන්නම් අම්මේ යැයි දුව කීවේ මවගේ මුවද සිඹය.
මොනවා මම දුව ඉල්ලලා එවන මුදලට වඩා අඩුතරමෙන් රුපියල් පන්සීයක්වත් වැඩියෙන් එව්වා. දාහදෙදහා වැඩියෙන් එවපු වාරත් තිබුණා, ඒම කොහෝමද වෙන්නේ යැයි ඇය පුදුම වූවාය. දුවගේ සහ අම්මාගේ මේ දෙබස අසා සිටි පියාගේ මුහුණ කළුවීමටත් මුහුණෙන් දහඩිය දැමීමටත් පටන් ගත්තේය.
එක එක පාරට දුව තමාට මව එවූ මුදල් පිළිබඳව විශ්ලේෂණය කළාය. ඒ මුදල් එවූ හැම වාරයකම මව දුන් මුදලින් රුපියල් දහසක් එක්දහස් පන්සීයක් වාෂ්ප වී තිබුණේය. මම දුවට මුදල් දැම්ම රිසිට් එක බැලුවේ නැත්තේ මේ මිනිහා විශ්වාස කරලා. අනෙක තමන්ගේ දුවට කන්න බොන්න දෙන සල්ලිවලිනුත් හොරකම් කරයි කියලා කවුද දෙයියනේ හිතන්නේ. දැන් කරන්න දෙයක් නැහැ ගත්ත සල්ලි පොලියත් එක්ක අරගෙන මිස මේ පැත්ත පළාතේ පස් පාගන්න එපා යැයි කියමින් ඔහු නිවෙසින් පන්නා දැම්මේ දුවගේද විරෝධය මධ්‍යයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd