කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පුහුණුවකට යන මුවාවෙන් නිවසින් ගිය සැමියා යනවා යයි කියූ පුහුණුව මග හැර අපූරු පුහුණුවකට ගොස් තිබූ අයුරු භාර්යාව අනාවරණය කරගත් අලුත් කතාවක් අලුත්වල නගරයෙන් අසන්නට ලැබේ.
මිනිහා පොඩි අයකු වුවත් ලොකු වැඩ්ඩෙකි. රාජකාරියේ මෙන්ම අනෙක් වැඩවලටත් අපූරු දක්ෂතාවයක් ඇති අයෙකි. එහෙත් භාර්යාව දන්නේ ඔහුගේ එක් දක්ෂතාවයක් පමණි. අනෙක් දක්ෂතාවයන් ගැන භාර්යාව දන්නා දේට වඩා නොදන්නා දේ වැඩිය. ඒ ඔහු එම දක්ෂතාවයන් රඟ දෙන්නේ භාර්යාවගේ ඇසට වැලි ගසා වීමෙනි.
රාජකාරියට දක්වන දක්ෂතාවය නිසාම ඔහුට සිය ආයතනයට එනු ලබන බොහෝ පුහුණුවීම් දෙන්නේ ඔහුටය. මේ ඊයේ පෙරේදාත් එසේ ඔහුට දෙදින නේවාසික පුහුණුවකට යෑමට ආයතනයෙන් නම් කළේය. ඒ අනුව දෙදිනකට නොව පස් දිනකටම සෑහෙන්න ඇඳුම් පැලඳුම් ගමන් මල්ලේ තැන්පත් කොට ඔහු නිවසින් පිට වූයේ භාර්යාවට හාදුවක් ද දීමෙන් අනතුරුව. හිමිදිරි උදෑසනය.
ඔහුට පුහුණුව තිබුණේ ගාල්ලේය. ගාල්ලේ පුහුණු මධ්‍යස්ථානයකය. අනෙක් අය එම ස්ථානයට පැමිණෙන්නත් කලියෙන් ඔහු එම පුහුණු මධ්‍යස්ථානයට පැමිණියේය. එහි නාම පුවරුවද වදින ආකාරයට සිය ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය සිය භාර්යාවගේ දුරකතනයට වට්ස්ඇප් මාර්ගයෙන් යැව්වේය.
එදින දහවල එම පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වී තිබුණේය. සමාජ මාධ්‍ය ජාලයේ බැස කිමිදෙන කාන්තාවක වන ඔහුගේ බිරිඳ ද මේ ඡායාරූප හොඳින් නිරීක්ෂණය කළාය. දෙයියනේ එහි එකදු ඡායාරූපයකවත් පුහුණුවට ගිය සිය ස්වාමියා දක්නට නොවීය. මේ සමගම ඇය ඔහුට දුරකතන ඇමතුමක් ගත්තාය. එයින් ප්‍රතිචාරයක් නොවීය. ඒ නිසාම එම පුහුණුවට ගොස් සිටි ඔහුගේ මිතුරකුට ඇය දුරකතන ඇමතුමක් දුන්නාය. මේ කිසිවක් නොදත් මිතුරා කීවේ ඔහු මේ පුහුණුවට නොපැමිණි බවය.
දැන් භාර්යාවට කාරණය පැහැදිලිය. සැමියා ගොස් ඇත්තේ වෙන පුහුණුවකට බව ඇයට අවබෝධ විය. ඇය මේ බව ඔහුගේ ජංගම දුරකතනයට වට්ස්ඇප් පණිවිඩයක් දමා තිබුණේ එය සක්‍රීය කළ විට බලන්නය. එහි ලියවී තිබුණේ ඔහු ගිය පුහුණුව පිළිබඳව දැනගත් බවත් මෙය දුටු වහාම නිවසට එන ලෙසත්ය. අදින් පසු ආයෙත් පුහුණුවීම්වලට යෑමට නොදෙන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd