මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි 



සමාජ මාධ්‍ය ජාලාවල ලයික් සහ කමෙන්ට් ලබා ගැනීම සඳහා සිදුකළ ක්‍රියාවකින් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකතනයක් අහිමි කරගත් සොහොයුරකු හා සොහොයුරියක පිළිබඳව බස්නාහිර පළාතේ පිටිසර ගමකින් වාර්තා වේ.
තරුණයා උදේ සිට රෑ වනතුරුම ෆේස්බුක් හි ඡායාරූප මෙන්ම වීඩියෝ පට එක් කරමින් නම රන්දවා ගැනීමට වෙහෙසෙන පුද්ගලයෙකි.
පසුගිය දිනක මොහුගේ නැගණිය ගෙවත්තේ තිබී දුර්ලභ ගණයේ අල වර්ගයක් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව මව ලවා එම අලවලින් රසවත් වෑංජනයක් පිස ගැනීමට කටයුතු යොදා ඇත. අල හට්ටිය ළිප තබා තැම්බෙමින් පවතිද්දී නැගණියට අපූරු අදහසක් පහළ වී තිබේ.
“මේක නම් පට්ට කෑමක් වෙයි! මේක හදන හැටි වීඩියෝ කරලා ෆේස්බුක් එකටයි ටික්ටොක් එකටයි දැම්මොත් ලයික් කෝටියක් විතර ගන්න පුළුවන්,”‍ යැයි ඇය උද්දාමයෙන් පවසා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ නැගණිය, ඇගේ අලු‍ත්ම ඉස්තරම් වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනය ක්‍රියාත්මක කර, “අල ටික හොඳට තැම්බෙනවා,” කියමින් එහි සමීප දර්ශන ගැනීමට සොහොයුරා අතට දුරකතනය දී තිබේ.


සොහොයුරාද මහත් උනන්දුවෙන් දුරකතනය උතුරන අල හට්ටියට ඉහළින් අල්ලාගෙන වාෂ්පය මධ්‍යයේ වීඩියෝ කිරීම ආරම්භ කර ඇත. එහෙත් හට්ටියේ පියන ඇරීමත් සමග මතු වූ දැඩි උණුසුම් හුමාල පාර වදිනවාත් සමගම, තරුණයාගේ අත දහඩිය දමා එකපාරටම ලිස්සා ගොස් ඇත.
ඊළඟ මොහොතේ “ටෝං”‍ හඬින් අර අලු‍ත්ම ස්මාර්ට් ජංගම දුරකතනය කෙළින්ම පතිත වූයේ උතුරමින් තිබූ අල හොද්ද මැදටය.
නැගණිය විලාප තබමින් වහාම හැන්දක් ගෙන අල හොද්දෙන් දුරකතනය ගොඩට ගැනීමට උත්සාහ කළද, ඒ වන විටත් අල හොද්දේ උණුසුම නිසා දුරකතනයේ තිරය ඇතුළු පද්ධතියම අක්‍රිය වී අවසන් ගමන් ගොස් තිබිණි.
ගෙවත්තේ වැවුණු අල වර්ගයකින් වෑංජනයක් හදන අයුරු සජීවීව වීඩියෝ කර ෆේස්බුක් හා ටික්ටොක් වෙත මුදාහැරීමට ගිය අයියා කෙනකුට සහ නැගණියට අන්තිමේදී සිදු වූයේ තමන්ගේ අලු‍ත්ම ස්මාර්ට් ජංගම දුරකතනය අල හට්ටියටම පූජා කිරීමටය.