ඔහු ව්‍යාපාරිකයකි.. කලක් එක්තරා සුළු පක්ෂයක ආසන සංවිධායකවරයකු ලෙසද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයකු ද විය. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේ ද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක් ද සිටියහ. ඔවුන් අතර විවිධ ක්ෂේත්රවල අය සිටියහ.
පසුගිය කාලයේ රටේ ඇති වූ එක්තරා වසංගත තත්වයක් සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට ද යම් බලපෑමක් සිදුවිය. එහෙත් සිරිත් පරිදි මිතුරන් සමග ‘‘සෙට්’’ වීමට අමතක නොකළේය.වසංගත තත්වයෙන් පසුව පළමු වරට මිතුරන් හමු වූයේ එදිනය. ඔහු මිතුරන් ද කැටුව අවන්හලට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ යළිත් කරළියට පැමිණ ඇති රටේ දේශපාලන ප්‍රශ්න ගැනය. එහි සිටි නීති ක්ෂේත්රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළේය. “මම හොඳ සිංහල බෞද්ධයෙක්. හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.’’ කියමින් මිතුරා කීවේය.
දැන් දැන් ඔවුන්ගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි හදන්නේ’’ කීවේය. “එහෙනම් ගේනව අපේ බිල’’ ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර් ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.
ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවෙකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්“ කියමින් ඉවත්ව ගියේය. ඒ සමගම පිරිස ද විසිර ගියහ.
පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබු රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. වේටර්ට සන්තෝසමට දුන්නේ පන් දහසේ නෝට්ටුව බව පසුව මතක්විය. ඉන් පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය.
උණවටුන ඩී.ජී. සුගතපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd