අනියම් යෝජනාවකට අකමැති වූ කාන්තාවකට සිදු කරන්නට ගිය පීඩාවක් තම බිරියට පත්තු වී ප්‍රතිකාර සදහා ඇය රෝහල්ගත කිරීමට අනංග සැමියකුට සිදුවු පුවතක් මිණිපුර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
ඔවුනොවුන් අසල් වැසියන්ය. දුකේ දී සැපේදී නිතර උදව් උපකාර කරගන්නා මිතුරු පවුල් දෙකකි. තිස් අට හැවිරිදි තිදරු පියකු වන මොහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරයි.
මොහුගේ නිවසට ආසන්නයේ පදිංචිකරුවන් වන්නේ එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන දරුවන් දෙදෙනකු සිටින පුංචි පවුලක කණ්ඩායමකි. එම නිවසේ ගෘහණිය තිස් පස් හැවිරිදි වියේ පසුවෙන රුවැති කාන්තාවකි.
එම අයගේ ගෙවත්තේ නාන ළිඳක් තිබේ. ඔවුන් ජල අවශ්‍යතා ඉටු කරගනු ලබන්නේ එම ළිඳෙනි. මොහුගේ නාන කාමරයේ ජලය නොමැති වූ ඇතැම් දිනවල ඔවුන් ද එම ළිඳට ගොස් තම අවශ්‍යතා ඉටු කර ගනු ලබයි.
මෙදින සවස මොහු අසල් වැසි ගෙවත්තේ පිහිටි නාන ළිඳට ගියේ දිය නෑම සඳහාය. එහි යන විට එම නිවැසි කාන්තාව ද දිය නාමින් සිටියාය. ඇය සමග කතා කරමින් සිටින අතරේ ඇයට ගෙනා යෝජනාවට උරණ වූ ඇය ඔහුට දොස් නගා එම යෝජනාවට විරෝධය පෑවාය.
එම අනියම් යෝජනාව තම සැමියාට සහ ඔහුගේ බිරියටද පවසන බව පැවසු පසු තමන් මෙය කළේ විහිළුවට බවත් මෙය දුර දිග රැගෙන නොයන ලෙසත් ඔහු ඇයට පවසා ඇත.
තම යෝජනාවට ඇය අකමැත්ත පළ කළ හෙයින් ඇයගෙන් පලිගැනීමේ අරමුණින් ඇය දිය නෑමට දෛනිකව යන වේලාව බලා ඊට පෙර පසුදින හොර රහසේ ළිඳට ගොස් රැගෙන ගිය කිතුල් ඇට කීපය තලා පොඩිකර ඒවා එම ළිඳට දමා වහා නිවස බලා පිය මැන්නේ කිසිවෙකුගේ ඇස ගැටෙන්නට පෙරය.
ජල මණ්ඩලයේ කිසියම් නඩත්තුවක් තිබු හෙයින් මෙදින ඔහුගේ නිවසට නළ මගින් ලැබෙන ජල සැපයුම අත්හිටුවා තිබිණි. ඒ නිසා මොහුගේ බිරිය අසල ගෙවත්තේ තිබු ළිදට සවස ගියේ දිය නෑම සඳහාය.
ඒ වෙන විට අසල්වැසි කාන්තාව දිය නෑමට ගොස් නොසිටියාය. ඇය දිය නෑම නිම වෙනවාත් සමගම ඇයගේ මුළු ඇඟම දැවිල්ලක්, කැසීමක් සහ පළු මතුවීමක් දක්නට ලැබුනෙන් වහා නිවසට දිව ගියේ සිද්ධිය සැමියාට පැවසීමටය. ඇය නිවස කරා දිව එන අයුරු දුටු සැමියා වහා මිදුලට බැස මේ මොකදැයි විමසා තිබේ. එහිදි ඇය ළිඳෙන් දිය නෑ පසු තම ශරීරයේ කැසීමක්, දැවිල්ලක් සිදුවු බවත් පළු මතුවී තිබෙන අයුරුත් ඔහුට පෙන්වා ඇත.
සිදුවී ඇති තත්වය වටහා ගත් ඔහු වහා ත්‍රී රෝද රථය පණගන්වා ගෙන බිරිඳව රෝහලක් කරා රැගෙන ගියේ රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහාය. අනුන්ට කරන්නට ගිය විපත තමන්ටම පාරා වළල්ලක් වීම ගැන ඔහු මිතුරන්ට පැවසුවේ තවත් නම් මෙවැනි නොහොබිනා වැඩ නොකරන බව ද පවසමිණි.
හසලක සුනිල් ඒකනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd