කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



අසනීප දරුවාට පෞද්ගලික ඔසුසලකින් බෙහෙත් ගේන්න භාර්යාව දුන් මුදලට අපූරු සෙල්ලමක් කර නිවෙසට යාමට නොහැකි වූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අඩියට පුඩියට යට නොවුණත් ඔහු කොළ කුට්ටම ජීවිතයට ළං කරගෙන තිබුණේ හය හතර දන්නා කාලයේ සිටමය. කසාද බඳින විටත් ඔහු එසේමය. භාර්යාව ඒ ගැන දැනගත්තේ විවාහ වී කාලයක් ගතවූ පසුවය. ඒ වන තෙක් ඔහු කොළ කුට්ටම ජීවිතයට බද්ධ කරගෙන තිබුණේ ඉතා රහසිගතවය. හොර රහසේය.
හම්බ කරන මුදලින් වැඩිමනක්ම වැය කළේ බූරුවා සූදුවටය. මුදල් නැති කල්හි ඔහු ඒ සඳහා මුදල් සොයාගත්තේ භාර්යාවගේ රෙද්ද හැට්ටේ නොවිකුණා පමණි. ඒ තරමටම ඔහු සූදුවට ඇබ්බැහි වී සිටියේය. භාර්යාව මේ සම්බන්ධයෙන් කොතෙක් අවවාද කළත් ඔහු සිටියේ නොඇසූ කන් ඇතිවය. ගණනකට නොගෙනය. ඒ නිසාම භාර්යාව ඔහුට ඒ ගැන කීමෙන් වැළකී සිටියේ බීරි ඇතාට වීනා වාදනය කර වැඩක් නැති නිසාවෙනි.


භාර්යාව ඇඳුම් මැසීමෙන් යම් මුදලක් උපයාගන්නා නිසා පවුලේ නඩත්තුවෙන්ද ඔහු බොහෝ දුරට නිදහස් වී තිබුණේය.
එදා භාර්යාව පෞද්ගලික රෝහලකින් වෛද්‍යවරයකු නිර්දේශ කළ ඖෂධ වට්ටෝරුවක් ඔහු අත තැබුවේ නගරයේ ඔසුසලකින් බෙහෙත් ගෙන ඒමටය. ඒ අසනීප වූ දරුවා සඳහාය. මුදල් නොමැති යැයි ඔහු පැවසීමත් නිසා භාර්යාව ඒ සඳහා මුදල් දුන්නාය.
මිටෙන් හල කුරුල්ලකු ලෙස ඔහු නගරය කරා ඇත්තටම පා නැගුවේ ඖෂධ මිලදී ගැනීමටය. ඒ ගමන අතරතුර තමාගේ බූරුවා සූදු පොළ පසු කිරීමට සිදුව තිබෙන නිසා ඔහුගේ සිත ගියේ තමා අත දැන් තිබෙන මුදල දෙගුණ තෙගුණ කරගෙන දරුවාට බෙහෙත් සමගම ඇඟ රත්කර ගැනීමට දෙයක් ගැනීමටය. එය සිත්හි තබාගෙන ඔහු බූරුවා සූදු පොළට ගියේය.
ඔට්ටු ඇල්ලු‍වේය. මුදල් දිනුවේය. සූදු පොළම සුද්ද කරගෙන යන්න යැයි සිතූ ඔහු තව තවත් සූදුවේ නිරත වූවේය. අවසානයේදී සියලු‍ම මුදල් පැරදී ගියේය. අත මුදල් නොතිබුණු කල ඔහුගේ තොලකට වියළී ගියේ දරුවාට බෙහෙත් ගැනීමට තමා අත මුදල් නොමැති නිසාය. මේ වන විට ඔහු ඒ සූදු පොළෙන් ණයට ගෙන සූදුවේ යෙදී සිටි නිසාත් අදාළ කාරණයට මුදල් ඉල්ලීමට නොහැකිවීම නිසාත් ඔහු පත්වූවේ කිව නොහැකි අසරණ තත්වයකටය.
භාර්යාව ගේන්න කියූ බෙහෙත් වට්ටෝරුව ගෙන නොගියහොත් ඉලපත් පාර කන්න වන බව දන්නා නිසා ඔහු එදා රෑ ළඟම ඇති පන්සලේ නිදාගෙන පසුදා නැගිට ගියේ කුලියක් මලියක් කර දරුවාගේ බෙහෙත් ටික රැගෙන යන අධිෂ්ඨානයෙන් යුතුවය.