පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ රසාංජලී වාසල



මගීන්ගේ බෑග්වල මුදල්වලට විදින අලු‍ත්ම ක්‍රමය කැස්බෑව ප්‍රදේශයෙන් අපට පෙරේදා (5) දැන ගන්නට ලැබුණි.
දිනය පසුගිය 5 වැනිදාය. වේලාව උදෑසන 7.00 පමණ පැවැතුණි. කෝරළඉම සිට පිළියන්දල දක්වා ගමන් ගත් බසයක මගීන්ගෙන් පිරි ඉතිරී තිබිණි. 
බසයේ ඉදිරියෙන් පාසල් ඇඳුමකින් සැරසී සිටි සිසුවියක සහ ඇගේ මව බසයේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටියහ. 


කොළඹ ප්‍රදේශයේ කාර්යාලය සේවය කරන තරුණ යුවළක් පොල්ගස්ඕවිටින් බසයට ගොඩවූයේ කැස්බෑවට යාමේ අදහසිනි. 
බසය මගීන්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණි. තමන් අත වූ ගමන් බෑග් නිසා තරුණ යුවළ තරමක් අපහසුවෙන් ගමන් ගත්හ.
ඉදිරි අසුණේ වාඩිවී සිටි පාසල් සිසුවිය බලෙන්ම මෙන් එම යුවළ අත තිබූ බෑගය ඉල්ලා ගත්තාය. මගීන්ගෙන් පිරි ඉතිරි යද්දී එම යුවළ බසය මැදට තල්ලූ වී ගිය අතර තම බෑග් පාසල් සිසුවියක අත තිබූ නිසා ඔවුහු ඒ ගැන සැක නොකළහ.
කැස්බෑවට ළඟවූ බසයෙන් බැසගත් එම යුවළ කොළඹ බලා ගමන් ගත් බසයට ගොඩවිණි. ටික දුරක් යද්දී එම බසයෙන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා බෑගය විවෘත තළේය. ඔවුන්ට දෙවියන් සිහි විය. බෑගයේ මුදල් සාක්කුවේ තිබූ රුපියල් තුන්දහසකට ආසන්න මුදල් සහ ලියකියවිලි කිසිවක් එහි නොවීය. එය දැක කලබලයට පත් යුවළ බෑගයෙන් අනෙක් කොටස් විවෘත කළ බැලු‍වේ රුපියල් ලක්ෂයකට ආසන්න දුරකතනය, තවත් අවශ්‍යතාවකට පරෙස්සමින් තිබූ මුදල් ගැනය. වාසනාවට එම මුදල් සොරකම් කර නැත.