කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



පෙමට හරස් වුණැයි වයෝවෘද්ධ කාන්තාවකගේ සෙවිලි කරන ලද නිවසේ ටකරන් තහඩුවලට ගල් ගසා ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 24 හැවිරිදි කඩවසම් තරුණයෙක් සිටියි. මෙම තරුණයා රඹුක්කන ප්‍රදේශයේ ඇඟලු‍ම් ආයතනයක වසර කිහිපයක සිට අත් උදව්කරුවකු වශයෙන් සේවය කරන්නේය.
මෙම තරුණයා මීට මාස කිහිපයකට ඉහත දී මාසික වැටුපක් ගත් දිනක පසුදා හිතවතකුගේ විවාහ මංගල්‍යයකට යාමට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ගැනීමට  නගරයේ නිමි ඇඳුම් පැලඳුම් අලෙවි කරන වෙළඳසලකට ගියේය. 
අවශ්‍ය ඇඳුම් ටික ගෙන ඇති තරුණයා මුදල් ගෙවීමට කවුන්ටරයේ පෝලීමේ රැඳී සිටිය දී ඉදිරිපසින් වියපත් කාන්තාවක සමග සිටි තරුණියක තරුණයාට අමුතු සිනහවක් පා තිබේ.
 පසුව තරුණයා මුදල් පසුම්බියේ කොළ කැබැල්ලක ලියා තිබුණු තම ජංගම දුරකතන අංකය ගෙන වියපත් කාන්තාවට හොර රහසේ තරුණියට දුන්නේය.
තරුණිය නිවසට ගොස් සිය මිත්තණියට හොර රහසේ තරුණයාට ඇමතුමක් ගත්තාය. ‘අයියේ මම කිරි අම්මත් එක්ක ඇඳුම් දෙකක් ගන්න ඇවිල්ලා හිටියේ. මගේ අම්මා තාත්තා රට රැකියා කරනවා. අම්මා තාත්තා රට යනකොට මමයි මල්ලී කිරි අම්මාට බලා ගන්න කියලා දීලා ගියා. මම උසස් පෙළ විභාගය කරලා ගෙදර ඉන්නේ යැයි තරුණිය සියලු‍ තොරතුරු තරුණයා හමුවේ දිග හැරියාය. තරුණයාත් තොරතුරු තරුණියට පැවසීය. එදා සිට තරුණයා සහ තරුණිය පෙම්වතුන් බවට පත් වූහ.


වැඩි කාලයක් යන්නට පෙර මිනිපිරිය කොල්ලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට වියපත් කාන්තාව දැන ගත්තාය. දැන ගත් එසැණින් වයෝවෘද්ධ කාන්තාව තරුණියගෙන් විමසුවාය. 
තරුණිය සත්‍ය තොරතුරු මිත්තනියට කීවාය. වහාම හාදකම නතර කරන ලෙස වයෝවෘද්ධ කාන්තාව තරුණියට කිහිප සැරයක්ම කීවාය. මිත්තණියගේ කීම ඉවත දමා තරුණිය ඇගලු‍ම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයා සමග දැඩිව පෙමින් වෙලී සිටියාය.
ප්‍රේම සම්බන්ධතාවයට මිත්තණිය දැඩි ලෙස අකුල් හෙළන බව තරුණිය අවස්ථා කිහිපයක දීම තරුණයාට කීවාය. බැරිම තැන තරුණිය සිය සම්බන්ධතාවය නතර කර දමන්නට ද තරුණයාගෙන් ඉල්ලීමක් කළාය. ඊට කෝපයට පත් තරුණයා වයෝවෘද්ධ කාන්තාව බිය ගැන්වීමට අපූරු වැඩක් කරන්නට පෙම්වතියට යෝජනා කළේය.
‘මම රෑ වෙලා ඇවිල්ලා නිවසට ඉහළින් තියෙන ගල් තලාවේ ඉඳගෙන ගල් කැට කිහිපයක් ටකරන් වලට ගහන්නම්. එතකොට කිරි අම්මා බය වෙයි යැයි තරුණයා තරුණියට දුරකතනයෙන් කීවේය.
 තරුණිය ඊට කැමැත්ත දක්වා තිබුණාය. පසුව තරුණයා ඉකුත් දිනක කළුවර වැටෙමින් තිබියදී මිතුරකු සමග යතුරු පැදියෙන් පැමිණ පෙම්වතිය ඇගේ බාල සහෝදරයා හා වයෝවෘද්ධ කාන්තාව පදිංචිව සිටින නිවසේ සෙවිලි තහඩුවලට ගල් කැට කිහිපයක් ඉහළ ගල මුදුණේ සිට ගැසුවේය. 
වයෝවෘද්ධ කාන්තාව මර බියට පත් වී නිවසට ගල් ගසන්නේ කවුරුන් දැයි පවසා කාන්තාව නිවස ඇතුළත සිට කෑ ගසන්නට වුවාය.  දුවේ අර උඹ යාළුවෙලා ඉන්න කොල්ලටවත් ඇවිල්ලා ටිකක් බලන්න කියපන් කවුද ගෙට ගල් ගහන්නේ කියලා. 
පසුව තරුණිය නිවසට ඉහළින් ගල් තලාවේ සිටින පෙම්වතාට ඇමතුමක් දුන්නාය. පසුව තරුණයා සිය හිතවතා සමග මිනිත්තු කිහිපයකින් පෙම්වතියගේ නිවසට පැමිණියේය. ‘අනේ පුතේ අද අපේ ගෙදරට කවුද ගල් ගැහුවා. ගැහුවේ කවුද කියලා දන්නේ නෑ. ගෙදර හරියට පිරිමි කෙනෙක් නෑ යැයි වයෝවෘද්ධ කාන්තාව තරුණයා හමුවේ පැවසුවාය. ‘හරි හරි කිරි අම්මේ මීට පස්සේ ගැහුවොත් මට කියන්න මම බලා ගන්නම්’ යැයි පැවසීය. වයෝවෘද්ධ කාන්තාව හනික සදා ගෙනත් දුන් තේ කොප්පය පානය කර තරුණයා ආපසු මිතුරා සමග යතුරු පැදියට නැගී නිවස බලා පිටත්ව ගොස් ඇති අතර කිරි අම්මාගේ බාධාව එදායින් පසු නතරවිය.