පෝද්දල සරත් ආනන්ද ගමගේ 



නැන්දම්මාගේ ලෝබකම මට්ටු කිරීමට බෑනා කෙනකු යෙදූ අපූරු උපක්‍රමයක් පිළිබඳ කතාවක් ගාල්ලට නුදුරු ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
මෙම නැන්දම්මා වෙසෙන්නේ තම දියණියට පවරා ඇති මහගෙදරය. ඇගේ පුත්‍රයාද ආසන්න ගමක පදිංචි වී සිටියේය. පිට ප්‍රදේශයක සිට පැමිණ මෙම නිවසේ බින්නබැස ඇති බෑනාද දැන් ගමේම කෙනකු මෙන් හැසිරෙයි.
මෙම නිවසේ ඇතුළු කාමරයක වෙසෙන මේ නැන්දම්මාගේ සියලු‍ බඩුබාහිරාදිය ඇත්තේ කාමරයේ ඇති කුඩා කබඩ් එකක් තුළය. එය ඇයට ගෙනැවිත් දී ඇත්තේ තම පුත්‍රයා විසිනි. ඈ බලන්නට එන නෑ හිතවතුන් විසින් ගෙනැවිත් දෙන පිටි, සීනි, තේ කොළ බිස්කට්, සබන් ආදී නොයෙකුත් දෑ එම නිවසේ පාවිච්චියට නොදී ඒ සියල්ල ඇය කබඩ් එකේ ගොඩ ගසාගෙන සිටින්නීය. ඇගේ දියණිය මේ පිළිබඳව බලවත් විරෝධය දක්වන්නීය. එහි තිබෙන කිරිපිටි පැකට් කල් ඉකුත්වී ඉවත දමන අවස්ථා බොහෝය.
  දිනක් ඇයට හොරා මේ කබඩ් එක විවෘත කළ දියණිය එහි තිබුණු සබන් කැටයක් ගන්නවා ඇගේ අතටම අසුවිය. එතැන් පටන් එහි යතුර තමන් සන්තකයේ තබා ගැනීමට මේ අම්මා පරෙස්සම් වූවාය. එතැන් පටන් නිවෙසින් බැහැරවීමටද ඇය මැලි වූවාය. පෝදා සිල් ගත්තේද නිවසේ සිටය. කාමරයෙන් බැහැර නොවී ඒ තුළම රැඳී සිටිමින් ඇය සිය කබඩ් එක රැකගත්තාය.


මේ අතර ඇගේ පුත්‍රයාගේ නිවසේ දානමය පිංකමක් සංවිධානය කෙරුණි. පුත්‍රයා පැමිණ සිය මවට ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනා කළද
“බලමු ! බලමු !”‍කිව්වා මිස ඇය ස්ථිර ලෙසම සහභාගි වීමට පොරොන්දු නොවූවාය. සහෝදරයා අම්මා රැගෙන එන වගකීම මස්සිනාට පැවරුවේය. කෙසේ හෝ අම්මා රැගෙන ඒමේ වගකීම මස්සිනා බාරගත්තේය.
පිංකම පැවති දින බෑනා නැන්දම්මාට ගමනට සූදානම් වන ලෙස දැනුම් දුන්නේය. එහෙත් ඇය සූදානම් නොවූවාය. බෑනා නැවත ඇගේ කාමරයට පැමිණ “අම්මට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේ කබඩ් එකනෙ. මං ඒකට වැඩක් හදල තියෙන්නෙ. අම්ම ඇඳගන්න”‍ යි කියමින් පිටව ගියේය.
ටික වේලාවකට පසු මෙම නිවස කරා කුඩා අත් ට්‍රැක්ටරයක් ළඟා විය.
ඉන් බැස ආ බෑනා නැන්දම්මා ළඟට පැමිණ “අම්ම ඇඳගන්න අපි කබඩ් එකත් වාහනේ දාගෙන දානෙ ගෙදර යමු”‍ යැයි කීවේය. ඉන් මහත්සේ ලජ්ජාවට පත් මේ කාන්තාව “කබඩ් එක ඕන්නෑ අපි යමු”‍ යැයි කීවාය.
දියණිය හා බෑනාගේ කටින් දානය සඳහා පැමිණි නෑයින් අතරද සිද්ධිය පැතිර ගොස් ඇති අතර එතැන් පටන් මෙම තැනැත්තියගේ ලෝබකමද කෙමෙන් අඩුවී ගිය බවද ආරංචිය.