හසලක සුනිල් ඒකනායක



රැස්වීම් ශාලාවක මේසයක් මත තැබූ මල් පොකුරක් නිසා කාන්තාවන් දෙදෙනකු අතර වෙන්නට ගිය මහා ගැටුමක් ගමේ වැඩිහිටියන් කීප දෙනෙකුගේ මැදිහත් වීමෙන් වැළකී ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.
එම ගමේ ගැමියන්ගේ හෙට දවසේ සුභ සාධනය වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානයකි. මාසයකට වරක් ගමේ ප‍්‍රජා ශාලාවට එම සංගමයේ සභාපතිවරයාගේ නායකත්වයෙන් රැස්වෙන සාමාජික සාමාජිකාවෝ පැය දෙකක පමණ කාලයක් සාමාජිකයින්ගේ හා ගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කරති.
 මෙම ප‍්‍රජාශාලාවේ මේසයක් මත තිබෙන හිස් මල් පෝච්චිය රැස්වීම අවස්ථාවේ ගමේ කිනම් හෝ සාමාජිකාවක් රැගෙන එන අලංකාර මල් පොකුරකින් සැරසෙනු ඇත. මෙය සාමාන්‍ය සිද්ධියකි.


මෙදිනද රැස්වීමට සහභාගි වූ සාමාජිකාවක් විසින් රැගෙන ආ මල් පොකුරකින් මේසය මත තිබූ හිස් මල් පොච්චිය අලංකාර අන්දමින් සැරසුණි. ඇය රැගෙන ආ මල් පොකුර පෝච්චියට දැමීමෙන් පසු ඇය කිසියම් කටයුත්තක් සඳහා සමිති ශාලාවෙන් බැහැරව ගියාය. මේ අතරේ තවත් සාමාජිකාවක් මල් පොකුරක් රැගෙන ආවාය. ඒ වෙන විටත් මල් පෝච්ච්ය මල් පොකුරකින් සරසා ඇති බව දැක එම මල් පොකුර ඉන් ඉවත් කොට ඇය රැගෙන ආ මල් පොකුර එහි දමා සරසන ලදී.
ගතවූවේ විනාඩි කීපයකි. කිසියම් අවශ්‍යතාවයකට සමිති ශාලාවෙන් පිටව ගිය සාමාජිකාව නැවත රැස්වීම් ශාලාවට පැමිණෙන විට දැක ගන්නට ලැබුණේ තමන් රැගෙන විත් මල් පෝච්චියේ දමා සරසා ගිය මල් පොකුර ඉන් ඉවත් කර ශාලාවෙන් පිටතට විසිකර දමා ඇති බවත් වෙනත් මල් පොකුරක් මල් පොච්චියේ දමා ඇති බවත්ය.
මෙය දුටු ඇයට යක්ෂයා ආරූඩ විය. තමන් මෙහි රැඳවූ මල් පොකුර පිටතට විසිකර මෙහි නව මල් පොකුරක් දැමුවේ කවුදැයි අනෙකුත් සාමාජික සාමාජිකාවන්ගෙන් විමසීමේදී ඒ වැඩේ කළේ අසවලා යැයි සාමාජිකාවකගේ නමක් සඳහන් කරමින් ඔවුහු පැවැසූහ.
ඒ නම කිව් සැණින් ඇය වෙත කඩා පැන එම සාමාජිකාවට බැණ වදිමින් පහර දෙන්නට සුදානම් විය. ක්ෂණයකින් ඔවුන් දෙදෙනා අතරට එක්වූ සමිතියේ වැඩිහිටි සාමාජික සාමාජිකාවන් කීප දෙනෙකු ඉදිරිපත් වී දෙදෙනාටම කරුණු අවබෝධ කර දී මෙවැනි සමිතියක හැසිරිය යුතු ආකාරය පිළිබඳව අවවාද කර එම වාග් ප‍්‍රහාරය හා වෙන්නට ගිය ගැටුම නවත්වා සමිතිය ඉදිරියට කර ගෙන යාමට පියවර ගන්නා ලදී.
එය එසේ සමථයකට පත් නොවන්නට එම සාමාජිකාවන් දෙදෙනාගේ ගැටුම රෝහලෙන් හෝ පොලිසියෙන් නිමා වන්නට තිබූ බව අනෙක් පිරිස පැවසූහ.