පෝද්දල සරත් ආනන්ද ගමගේ



රුපියල් පනහක් බේරගන්න ගොස් රුපියල් තුන් දහස් අටසීයක් පාඩුකරගෙන දහසක් බැනුම් ඇසූ පුද්ගලයකු ගැන කියවෙන කතාවක් පසුගියදා දකුණු පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
හෙතෙම ජීවිතයේ මැදි වයසට ආසන්න වෙමින් සිටින අයෙකි. සංචාරක පුරවරයේ හෝටල් රැකියාවක නිරත වූවෙකි. රුපියලට ගණන් බලා වියදම් කරන්නෙකි. නිවසට අවශ්‍ය කෑමක් බීමක් ගන්න ගියත් මිල අඩුම ස්ථානය සොයා ගන්නටද ඔහු සමත්‍ ය. සැර බීමක් බොන්න හිතුනත් ඒ සඳහාද දේශීය පාන සොයා යන්නෙකි. සියලු‍ විය හියදම් පොතක ලියා මාසික අය වැය ලේඛනයද පවුලේ අයට ඉදිරිපත් කරන්නෙකි. ඔහුගේ බිරිඳ නම් මේ සියලු‍ කටයුතු එක වචනයකින් හඳුන්වයි. ඒ ලෝභකම කියාය.
පසුගියදා ඇදහැලු‍ණු වර්ෂාවත් සමග මොහුගේ නිවස පිටුපස පස් කණ්ඩියක් කඩා හැලු‍ණාය. තවදුරටත් මෙම පස් කණ්ඩිය කඩා වැටීම නතර කිරීමට නම් එම ස්ථානයේ කෙටි බැම්මක් ඉදිකළ යුතු බව එය නිරීක්ෂණය කළ පවුලේ දැනුමැත්තෙක් පෙන්වා දුන්නේය. ඒ සඳහා ඔහුගේ හිතවත් මේසන් බාස් කෙනකු සම්බන්ධ කරගෙන ඒ සඳහා දිනයක්ද යොදා ගත්තේය.
ඒ සඳහා කලින්ම ගල් වැලි ප්‍රවාහනය කරගෙන තිබූ අතර, මේසන් බාස් පැමිණෙන දිනට පෙර දින සිමෙන්ති ගේන්න අසල යකඩබඩු කඩේට ගියේය. එකවර සිමෙන්ති ගේන්න අවශ්‍ය නැති බවත්, පළමු දින සිමෙන්ති කොට්ට දෙකක් ප්‍රමාණවත් බවත් මේසන් බාස් දැනුම් දී තිබුණේය.
ඒ අනුව සිමෙන්ති කොට්ට දෙකක් මිලට ගත් ඔහු එය ප්‍රවාහනය කිරීමට එම ස්ථානයේ තිබෙන අත් ට්‍රැක්ටරයේ හිමිකරුගෙන් විමසීමේදී, රුපියල් දෙසිය පනහක් දෙන්නැයි ඔහු ඉල්ලීය. ප්‍රධාන මාර්ගය අසල ඇති වෙළඳ සලේ සිට අතුරු මාර්ගයේ ඇති ඔහුගේ නිවසට දුර මීටර් එකසිය පනහක් පමණ බැවින් රුපියල් දෙසීයක් ප්‍රමාණවත් බව හෙතෙම පැවසීය.
අත්ට්‍රැක්ටර්කරු රුපියල් දෙසිය පනහම ඉල්ලීම නිසා ‘‘හරි දෙසීය ඕනත් නෑ. මං ඕක ගෙනියන්නම්”‍ කියා ඔහු නැවත නිවසට පැමිණ විල්බැරෝවද රැගෙන යන්නට සූදානම් විය. එය දුටු ඔහුගේ බිරිඳ ‘‘තමුසෙට පිස්සුද ඕයි, දෙසිය පනහ දීල වාහනේ දාගෙන එනවා”‍ යැයි ඔහුට අවවාද කළේය.
ඇගේ අවවාදය නොපිළිගෙන ඔහු යන්නට සැරසෙද්දී ‘‘ඔහේට දෙසීය දෙන්න පුළුවන්නෙ. හරි ඉතුරු පනහ මං දෙන්නම්. වාහනේ දාගෙන එනවා”‍ යැයි යෝජනා කළද හෙතෙම එයද ප්‍රතික්ෂේප කරමින් විල්බැරෝවද රැගෙන වෙළඳසල වෙත පිය නැගීය.


මුදල් ගෙවා කඩේ ගෝලයා හා එක්ව සිමෙන්ති කොට්ට දෙක විල්බැරෝවට පටවාගත් ඔහු එය තල්ලු‍කරගෙන නිවස දෙසට පැමිණියේය. මාර්ගයේ එක් ස්ථානයක් යම් උසකින් පිහිටි බැවින් ඔහු කන්ද නැගීමේ චේතනාවෙන් වේගයෙන් වීල්බැරෝව පදවාගෙන ආවේය. කන්ද මැද හරියේදී වේගය පාලනය කරගත නොහැකිව වීල්බැරෝව පාලනයෙන් ගිලිහී පෙරළී ගියේය. ඇද වැටුණේ කානුවටය. වීල්බැරෝවත් සමග කානුවේ හිරවී සිමෙන්ති කොට්ට දෙක පුපුරා ගිය අතර, එහි රැඳී තිබුණු වැසි ජලය හා සිමෙන්ති මිශ්‍ර වී ගියේය.
සිමෙන්ති කොට්ට දෙක කානුවේ තිබියදී වීල්බැරෝව ඇදගත් ඔහු හිස් අතින්ම ගෙදරට ආවේය. සිදුව ඇති අලකලංචිය දැනගත් බිරිඳ පස් පඩංගුවේ ඔහුට දෙස් දෙවොල් තැබුවාය. පසුව නැවත මුදල් ගෙවා අත්ට්‍රැක්ටරයෙන් සිමෙන්ති ප්‍රවාහනය කරගෙන ඔහු බැම්ම බැඳගෙන පස් වැටීම නතර කරගෙන ඇතත්, බිරිඳගේ කටනම් තවමත් නතර වී නැතැයි තතු දත්තෝ පවසති.