කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අලුත් අවුරුද්දට ගෙනවිත් ඉතිරිවූ කොටයක් කොට කලිසම් නිතර අඳින කොට හාදයකු එක්ක සප්පායම්වීමට ගොස් කෝටියක් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවූ දකුණේ මාළු ව්‍යාපාරිකයකු පිළිබඳව අපූරු කතාවක් කන වැකුණේ මේ ඊයේ පෙරේදාය.
ඔවුහු අසල්වැසියෝය. මිතුරෝය. අඹ මිතුරන් නොවුණත් ඇතැම් විශේෂ අවස්ථාවලදී එකට කෑහ. බිව්වෝය. දෙදෙනාගේම නිවස තිබුණේ හූවක දුරකය. කොටියෙන්ම කියතොත් පයින් යාහැකි දුරකය. එකෙක් මාළු මුදලාලි කෙනෙකි. අනෙකා එක එක වැඩ කර කර ජීවත් වෙයි. මාළු මුදලාලිට සරුය. මිතුරාට නිසරුය. නිසරු මිතුරා කොටය. නිතරම ඇන්දේ කොට කලිසම්ය.
මාළු මුදලාලි අලුත් අවුරුද්ද ජයටම සැමරුවේය. අලුත් අවුරුද්දට අඩිපුඩි එමටය. අලුත් අවුරුද්දට ගෙනා අඩිපුඩිවලින් කොටයක් ඉතිරිවී තිබුණේය. අසල්වැසි මිතුරාට අලුත් අවුරුද්දට අඩියක් ගස්සවන්න බැරිවුණු බව ඔහුගේ සිහියට ආවේය. දැන් වේලාව රාත්‍රී හතට පමණය. මාළු මුදලාලි අසල්වාසී කොට මිතුරාට දුරකතන ඇමතුමක් දුන්නේය. කාරණය එයින් කියවිණ. ඒ කාරණය ඇසූ කොට මිතුරාගේ කට කනේය.
ඔහු බිරිඳට අවශ්‍යතාවය පවසා නිවසින් පිටවීමට බිරියට නොවැන්ද එක පමණි. කොන්දේසි සහිතව බිරිය ඔහුට අවසර දුන්නාය. ඒ ගිය සැණින් ආපසු එන බවට පොරොන්දු කරවාගෙනය. ඒ අඩියක් පුඩියක් ගැසුවාම සිය සැමියාට වනදේ වෙන අයටත් වඩා ඇය හොඳින් දන්නා නිසාය.
ලද අවසරයෙන් මිනිහා දනිපනිගා මිතුරාගේ නිවසට ගියේය. ගියා නොව ඉගිලුනේය. දැන් දෙන්නා සෙට්ය. කොටයේ පතුල හිස්ය. කොට මිතුරා සමුගත්තේය. ඒ යළිත් මෙවන් හමුවීමක් ප්‍රාර්ථනා කරමිනි. ඒ අතරයේදී එයින් නොසෑහුණු මාළු මිතුරා තවත් කොටයක් ආතල් එකේ ගනිමින් සිටියේය. වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය.
මාළු මිතුරා නිදි දෙව්දුව තුරුලේය. කොට මිතුරාගේ නිවසින් ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. ඒ කොට මිතුරාගේ ප්‍රියම්බිකාවගෙනි. සිය සැමියා තවමත් නිවසට නොපැමිණි බව ඇය කීවාය. සැමියාට යම්දෙයක් සිදුවුවහොත් එයට ඔහු වගකිව යුතු බවද ඇය කීවාය. මේ පිළිබඳව පොලිසි යන බවද කොට මිතුරාගේ භාර්යාව කීවාය. මාළු ව්‍යාපාරිකයා ඇඳෙන් නැගිට්ටේය.
නැගිට්ටා නොව නැගිටුනේය. උඩු කය නිරාවරණය නොකරම ඔහු විදුලි පන්දම දල්වාගෙන ඔහුගේ නිවසේ සිට කොට මිතුරාගේ නිවසට යන මග හොඳින් පරීක්ෂා කළේය. පාර දෙපස තිබු කානු ද ඔහුගේ පරීක්ෂාවට ලක්විය. ඒ කිසිම තැනක කොට මිතුරා වැටී නොසිටියේය.
මාළු මුදලාලිගේ තුන් මුහුණෙන්ම දාඩිය පිට විය. ඔහු අහල පහල අයද කූද්දගෙන කොට මිතුරා සෑම තැනකම සෙව්වේය. මිතුරකුගේ නිවසට ගොස් ඇත්දැයි සෙවීමට අහල පහල මිතුරන්ටද දුරකතන ඇමතුම් දුන්නේය. එය ඇසූ ඔවුහුද කොට මිතුරා සෙවීමේ මෙහෙයුමට සහභාගීවූහ. කොට මිතුරා සොයන දැවැන්ත මෙහෙයුම යන අතරින් පතර කොට මිතුරාගේ ඇඹේනිගෙන් අඬ අඬා එන දුරකතනය ඇමතුම්ය. මාළු මුදලාලිගේ හිස ගිනි ගෙනය. කරන්නේ, කියන්නේ කුමක්දැයි දැන් ඔහු නොදත්තේය.
කොයිඑක වෙතත් කියා ඔහු කොට මිතුරා කුලියට වෙසෙන නිවසට ගියේය. එහි ගිය සැණින් කොටයාගේ භාර්යාව මාරාවේෂයෙන් ඔහුගේ ඇඟට කඩා පැන්නාය. නොකළේ නොගැසූ එක පමණි. මේ අල්ලපනල්ලේ මාළු ව්‍යාපාරිකයාගේ නිවසේ අයද කලබල වී හමාරය. ඔවුහුද බැණ වදිමින් සිටියෝය. මාළු මුදලාලිගේ කටේ දෙකොන දැල්වෙන විලක්කුවක් ඇත්තාක් මෙන්ය. ඔහු අන්ත අසරණතාවට පත්ව සිටියේය. පොලිස් කූඩුවේ කූරු ගනින ආකාරය ඔහුගේ චිත්ත සන්තානයට ආවේය.
මේ අතරවාරයේ කොට මිතුරා සෙවීමේ දැවැන්ත මෙහෙයුමට සහභාගීවූ අයකු නිකමට මෙන් නිවසේ සොල් දොරයට නැග්ගේය. එහි විදුලි පහන දැල්ලුවේය. දෙයියනේ කොට මිතුරා හොඳටම නිදිය. කොටයා ඉන්නා බව ඔහු කීවේය. හැමෝම සොල්දොරයට නගින්න ගියේ පොරකකාය.
කොටය හමාර කළ කොට මිතුරා වේලාසනින්ම පැමිණ නිවසේ ඇර තිබූ පිටිපස තිබූ දොරෙන් නිවසට රිංගා භාර්යාවට හොරෙන් සොල්දොරට පැන නිදාගෙන ඇත්තේ භාර්යාවට ඇති අප්‍රමාණවූ බයෙන් බව කරුණු අවබෝධවුවත්, ඒ වෙන විට විය යුතු සියල්ල සිදුවී අවසානය. කොටින්ම කියතොත් කොට මිතුරාගේ භාර්යාවට මාළු මුදලාලි කොතරම් දොස් කීවාද දන්නේ එතන සිටි අය සහ උඩ ඉන්නා අය පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd