කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බසයේදී මුණගැසුණු තරුණිය නිසා තරු පෙනුන තරුණ කාර්යාල සේවකයකු පිළිබඳව කතාවක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
තරුණයා කඩවසම්ය. දෙනෙත මනමාලය. මුහුණ සුකුමාලය. මේ නිසාම තරුණියකට දෙවරක් ඔහු දිහා නොබැලීමටනම් හේතුවක් නම් නැත්තේය.
එදා ඔහු සිය ගම් පළාතෙන් කොළඹ ගියේ බසයෙනි. ඇඟලාගෙන ගියේ කාර්යාලයේ නම සඳහන් කාර්යාලයෙන් ලබාදී තිබූ ටී ෂර්ට් එකකි. ගමන ආරම්භයේදීම බසයට ගොඩවූ නිසාම ඔහු වාඩිවීමට තෝරා ගත්තේ රූමත් තරුණියක අසුන් ගෙන සිටි අසුනක්ය.
බසය ඉදිරියට ඇදී ගියේය. ඔහුගේ දෙනෙත තරුණිය දෙසය. ඇයට ද ඔහු දෙස නොබලා සිටීමට තරම් හේතුවක් නොවීය. ඒ නිසාමදෝ ඒ තැනැත්තිය නාදලු දෙතොලින් ඔහු සමග ලාවට සිනාසුනාය. ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ ඔහු දෙතිස් දසන් පෙන්වාම සිනාසුණාය. මේ අතර මුලින්ම කටහඬ අවදි කළේ තරුණියය. අයියා වැඩ කරන්නේ අසවල් ආයතනයේ දැයි ඇය ඇසුවාය. ඉබ්බා දියේ ඇන්නෑවේ කිවුවාක් මෙන් මිනිහා කුලප්පුවූ කුලු මීමකු මෙන් නංගී කොහෝමද දන්නේ යයි ඇසුවේය. ඔයා ඇදලා ඉන්න ටීෂර්ට් එකෙන්නේ මම දැන ගත්තේ යයි ඇය කිංකිනි හඬින් කීවාය. හා ඒකත් එහේමදැයි කියමින් දෙන්නා දැන් ලොකු කතා බහකය. කතා බහ නිසාම ඔවුන් දෙදෙනාට කොළඹ කොට බව තේරුම් ගියේය.
නංගී මම වැඩ ගොඩක ඉන්න කෙනෙක්. මම කැමතියි ඔයා ඇසුරු කරන්න. මෙන්න මගේ කාර්යාලය ලිපිනය ඇතුළත් කාඩ් එක කියමින් ඔහු ඇය අත තබමින් ලොකු සීන් එකක් දමමින් කීය. දෙන්නා දෙපැත්තකට ගියහ. තමාට හමුවූ රූමත් තරුණිය ගැන වංහුං කාර්යාලයේ මිතුරන්ට කියන තෙක් ඔහුට ඉස්පාසුවක් නොවීය.
එය පසක් කරමින් පසු දින කාර්යාලයට පැමිණි ඔහුගේ පළමු හා ප්‍රමුඛ කාර්ය වූවේ බසයේදී මුණගැසුනු රූමත් තරුණිය ගැන මිතුරන්ට කීමය. තමාගේ ලිපිනය ඇය ඉතා සතුටින් ලබා ගත් බවද ඔහු මිතුරන්ට කීවේ පෙරමග ඇගෙන් ලිපියක් ඒවී යයි මහත් බලාපොරොත්තු සහිතවය.
ඔහුගේ ඒ බලාපොරොත්තුව මල්පල ගැණින. ඇය හමුවී දින තුනකින් ඔහුගේ නමට කාර්යාලයට ලිපියක් ලැබුණේය. එහි මල් මල් අකුරුය. ආදර බර වදන් එමටය. ඔහු එම ලිපිය මිතුරන්ට පෙන්න පෙන්නා පපුවට තුරුළු කර ගත්තේ බසයේදී හමුවූ රූමත් තරුණිය පපුවට තුරුළු කර ගන්නවාක් මෙන් ආදරයෙනි. කාර්යාලයේ මිතුරු මිතුරියෝ මේ සුබ මොහොත සැමරීම වස් ඔහුගෙන් යෝගට් පාටියක් ඉල්ලූහ. ඒ සුන්දර අවස්ථාව සැමරීම වඩාත්ම යෝග්‍ය යයි සිතූ ඔහු ඔවුනට යෝගට් ගෙනත් දුන්නේය.
යෝගට් කෑ කාර්යාලයේ මිතුරු මිතුරියන් දැන් දැන් කසුකුසුවකය. ඔහුට එවූ ලිපියේ මල් මල් අත් අකුරුවලට සමපාත වන අත් අකුරු කාර්යාලයට අලුතින් ආ සේවිකාවකගේ බව මිතුරෙක් ඔහුට පෙන්නුවේය. අලුත් සේවිකාව අවභාවිතා කොට සිය මිතුරන් දුන් ලණුව අමු අමුවේම ගිල දැමීම සම්බන්ධයෙන් ඔහු ඉන්නේ ගල උඩ කැත කළ බළල් තඩියා මෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd