පෝද්දල - සරත් ආනන්ද ගමගේ 


සීතල පළාතක මුදල් ගෙවා පැවැත්වෙන නේවාසික පාඨමාලාවක් හැදෑරීමට ගිය තරුණයකු ආහාරයට රතු බත් නැතැයි කියමින් පාඨමාලාව අතරමග දමා නිවසට පැමිණි පුවතක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා වාර්තා විය.

මෙම තරුණයා ගම් ප්‍රදේශයේ පාසලකින් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්වය සමත් වී දකුණේ අග නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හැදෑරුවෙකි. උසස් පෙළද ඉහළින් සමත්ව රජයේ විශ්වවිද්‍යාලයක උපාධියද ලැබූවෙකි. උපාධි සහතිකයක් තිබුණද ස්ථිර රැකියාවක් නැති නිසා පනම් හතරක් සොයාගැනීම සඳහා ටියුෂන් කරමින් සිටියේය.

මේ අතර ඔහු හැදෑරූ විෂයට අදාළ තවත් ඩිප්ලෝමා සහතිකයක් ලබාදෙන පාඨමාලාවක් ගැන මිතුරකු මාර්ගයෙන් ඔහුට දැනගන්නට ලැබුණි. උපාධි සහතිකයට අමතරව මෙම සහතිකයද ලබාගන්නා අයට රජය හා බැඳී කටයුතු කිරීමට අවස්ථාව හිමිවෙන බවද ආරංචි විය. රුපියල් දහදාහක මුදලක් බැඳ පාඨමාලාව හැදෑරිය යුතු අතර තවත් හැට දහසක් ගෙවා සහතිකය ලබාගත යුතුය.

මෙම තරුණයාද මුදල් ගෙවා පාඨමාලාව හැදෑරීමට ඉල්ලු‍ම්පතක් යොමු කළේය. ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණයටද ඉදිරිපත්ව ඉන් සමත් වී පසුගිය සතියේ පාඨමාලාව හැදෑරීම සඳහා නුවරඑළිය බලා පිටත් විය.

තරුණයා නිවසින් පිටව ගිය දා රාත්‍රී සිය මව සමග දුරකථනයෙන් කතා කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ “කෑම නම් අවුල්”‍ කියාය.
මෙම තරුණයා ඊට පසුදින නිවසට කතා කරමින් කියා ඇත්තේ මේ ප්‍රදේශයේ කොතැනකවත් රතු කැකුළු බත් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ගෙදර සිටියදී තුන් වේලටම රතු බත් කෑ කොල්ලාට උගේ ආශාවට කටට රහට බත් වේලක් කන්න නැතිවීම පිළිබඳව අම්මා සිටියේ විස්සෝපයෙනි. පිටරට ගිහිල්ලා බත් දකින්න නැතුවත් මිනිස්සු ඉන්න ලෝකෙ මූට මේ රටේවත් ඉන්න බැරිද කියමින් තාත්තා සිටියේ නොරුස්සනා ස්වරූපයෙනි.

කොල්ලා නුවරඑළි ගොස් ගෙවී ගියේ සිවු දිනකි. ගෙදරට නොදන්වාම පස්වැනි දින රාත්‍රියේ කොල්ලා ගෙදර ආවේය. හදිසියේ පැමිණියේ ඇයිදැයි මවුපියන් විමසීමේදී “කන්නෙ නැතුව ඉන්න බෑ. මොනා කරන්නත් කාල ඉන්න ඕන”‍ යැයි කීවේලු‍.

ආණ්ඩුවේ රස්සාවකට යන්න කොල්ලා පාඨමාලාවක් හදාරන්න ගියා යැයි කියමින් ගම්මු හා පම්පෝරි ගැසූ මවුපියන්ට කොල්ලා කළ වැඩේ නිසා සමාජයට මුහුණදීමට නොහැකිව සිටින බවද ආරංචිය.