හිඟුරාණ නවරත්න සමරතුංග
කසිප්පු බොන්නට හැදූ කට ගැස්ම එක්ක ඇල්වතුර බී බොරු සූර් පෙන්වූ මිතුරන් දෙදෙනකු පිළිබඳ සිද්ධියක් අම්පාරේ එක්තරා ගමකින් වාර්තාවේ.
ඔවුන් දෙදෙනා ගජ මිතුරන් වූ අතර, ඉඳහිට මධු විතෙන් සප්පායම් වීම පුරුද්දක් කරගෙන තිබිණි.
එක් අයකු වඩුබාස්වරයකු වූ අතර, අනෙකා එදිනෙදා කුලී වැඩ කර ජීවත්වන්නෙකි.
‘‘අපි අද හැන්දෑවට පොඩි අඩියක් ගහමු!
මම නැටුම් තෙල් ටිකක් ගේන්නම්... ඔයා බයිට් එක හදලා තියන්නැ”යි වඩුබාසුන්නැහේ තම මිතුරාට උදෑසන පැවසීය. ඊට එකඟ වූ මිතුරාද කුකුළු මස් මිලදීගෙන නිවසට ගොස් කට ගැස්ම සදා තබා සවසට වඩුබාස් මිතුරා එනතුරු බලා සිටියේය.
පොලිසියෙන් බේරීම සඳහා සැක නොසිතන ආකාරයට පොලිතින් උරවල දමා කසිප්පු අලෙවි කරන එක්තරා තිප්පොළක් වෙත ගිය වඩුබාස් කසිප්පු පාර්සල් දෙකක් මිලදී ගත්තේය.
පසුව ඔහු නගරයට ගොස් එක්තරා එළවළු කඩේක මැස්ස යට එම කසිප්පු පාර්සල් දෙක තබා ගොස් සවස පැමිණ ඒවාද රැගෙන මෙසේ තම මිතුරාගේ නිවසට පැමිණි ඇත.
මිතුරා ද මත්පැන් පොදක් තොලගෑමේ නොතිත් ආසාවෙන් සිටි අතර, කට ගැස්ම දීසියක් ද රැගෙන සාලයේ ටීපෝව මත තැබුවේය.
වඩු මිතුරා කසිප්පු පාර්සල් දෙකින් එකක් ලිහා වීදුරුවකට දැමුවේය.
ගඳක් හෝ සුවඳක් නොමැති වූ බැවින් ඔහු වීදුරුවට ඇඟිල්ල ගසා දිව ගා බැලුවත් කසිප්පු වෙනුවට එහි තිබුණේ ඇල් වතුරය.
අනික් කසිප්පු මුලද ලිහා පරීක්ෂා කළත් එහි තිබුණේද ඇල්වතුරය.
‘‘මළ කෙළියයි කියා එකකු කියද්දී, අනෙකාට ‘‘දෙයියෝ සාක්කි” යැයි කියැ විණි. අහඹු ලෙස සිදුවූ මෙම ඇබැද්දිය තේරුම් ගැනීමට නොහැකිව ඔවුන් දෙදෙනා විවිධ හේතු කතා කරමින් සිටි අතර, වඩු මිතුරා මෙසේ පැවසීය.
‘‘සවුත්තු වැඩේ කරලා තියෙන්නේ එළවළු කඩේ එකෙක් තමයි. කසිප්පු ටික අරගෙන උන් මේ මලුවලට වතුර පුරවලා තියෙනවා’’ කියා ඔහු මාපියන් සිහි කර බැන වදින්නට විය.
‘‘කමක් නෑ දැන් බයිට් එක කාලා හෙට අපි මොනවා හරි කරමු” යැයි අනෙකා යෝජනා කර දෙදෙනා කුකුළු මස් දීසිය හිස්කළහ.
ඒ අතර ඔවුන් දෙදෙනා බොරු සූර් පෙන්වමින් විනෝද වූ බවද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd