පෝද්දල සරත් ආනන්ද ගමගේ
තැපැල් පියුන් මහතා විසින් ලියුමක් බාරදීමට යන අවස්ථාවේ ලියුම ලබාගත යුතු පුද්ගලයා නිවස අසල පිහිටි එළවළු කොරටුවේ වැඩ කරමින් සිට ඇති බැවින්, ලියුම කොස්ගස අසලින් තබා යන්නැයි පැවසීම නිසා එසේ තබාගිය ලියුම අතුරුදන්වීමේ අමුතුම කතාවක් ගැන දකුණු පළාතේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
එම ප්‍රදේශයේ ලියුම් බෙදන්නේ තරුණවිය ඉක්මවමින් සිටින හැමදෙනා සමගම විහිළුවෙන් තහළුවෙන් කතා බහ කරන සුහදශීලී පියුන් මහතෙකි.
ඔහු පසුගියදා සිය ආවරණ කලාපයේ නමක් සඳහන් පුද්ගලයකු සොයා එම නිවසට ගියේය. මිදුලටම ගොස් යතුරු පැදිය නතරකර බලනවිට එම නිවසේ දොර වසා තිබුණේය. බයිසිකලයේ තිබෙන බැල් එක නාද කරනවිට ගෙවත්තේ කෙළවර පිහිටි එළවළු කොරටුවේ පුද්ගලයෙක් ‘‘මං මෙහේ” යැයි හඬ නැගීය. එවිට තැපැල් පියුන් මහතා ඔහු නමට ඇති ලියුම ඔසවා පෙන්වීය. ‘‘හරි හරි ඕක කොස්ගහ මුල තියන්න” යි කියමින් ඔහු කොරටුවේ සිට පැවසීය. ඒ අනුව ඔහුගේ නමින් තිබූ ලියුම කොස්ගහ ළඟින් තැබූ පියුන් මහතා ඊළඟ සේවාලාභියා සොයා ගියේය.
සුපුරුදු පරිදි එදින ලියුම් ටික බෙදාදුන් පියුන් මහතා නිවසට ගොස් දිවා ආහාරයද ගෙන සවස නැවත කාර්යාලයට පැමිණියේය. එසේ පැමිණ සුපුරුදු රාජකාරියේ යෙදී සිටින විට කාර්යාල සඟයකු පැවසුවේ, ඔහු හමුවීමට අමුත්තෙකු පැමිණ සිටින බවයි. කාර්යාලයේ පිටුපස දොරෙන් පිටවී ඉදිරිපසට පැමිණි පියුන් මහතා තමා හමුවීමට පැමිණ සිටින්නේ කවුදැයි විපරම් කර බැලීය. පැමිණ සිටියේ කොස්ගහ මුල ලියුම තබන්නැයි කියූ පුද්ගලයාය.
‘‘මහත්තයෝ අර ලියුම කවුද දන්නෙ නෑ එවල තිබුණේ” පියුන් මහතාගෙන් ඔහු විමසීය. ‘‘මං දන්නෙ කොහොමද ඒක. ඔහේ ඒක කඩල බැලුවේ නැද්ද?” ලියුම්කරු අසනවිට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි. ‘‘හරි වැඩේනෙ මහත්තයො වෙලා තියෙන්නෙ. කොස් ගහේ බැඳල හිටී ගොනා ලියුම කාලනෙ!”
‘‘එහෙනම් හෙට ගොම ගොඩෙන් තමයි ලියුම සොයා ගන්න වෙන්නෙ” යැයි කියමින් ලියුම්කරු සිද්ධිය අනිත් නිලධාරීන් හා පවසමින් සිනාසී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd