හසලක - සුනිල් ඒකනායක
මොහු ගමේ ප‍්‍රධාන චණ්ඩියා මෙන්ම ප‍්‍රසිද්ධ සමාජ සේවකයෙකි. මංගල්‍යයේදී අවමංගල්‍යයේදී ගමේ පොදු වැඩකදී කැපී පෙනෙන චරිතයකි. අවමංගල්‍යයකදී ගමේ පන්සලේදී පැවැත්වෙන සභාවකදී, මුලාසනය හෝ ගුණ කථනයක් මොහුට නොලැබුණහොත් වෙන්නේ මහා විපතකි.
එදින හවස මත් වතුර පානයෙන් පදම් වෙන මොහු ගමේ හන්දියට පැමිණ තමන්ට කතාවක් නොදුන්න සංවිධායකට, සංවිධායක මණ්ඩලයට ලුණු ඇඹුල් ඇතිව ජාතිය අමතනු ලබයි.
වසර තිහ හතළිහක පමණ කාලයක සිට මොහු විසින් කරගෙන එනු ලබන මෙම ක්‍රියාව ගමේ කොල්ලන්ට මෙන්ම අනෙක් අයටද මහා හිසරදයකි. එම නිසා මොහුට හොඳ පාඩමක් උගන්වා මෙයට තිත තැබීමට තරුණයන් තිදෙනකු කථිකාවක යෙදුණි.
හැටපස් හැවිරිදි ගොවියකු වන මත් වතුරට ගිජුකමක් දක්වන මොහු මෙදින අසල ගමක පැවති අවමංගල්‍යයකට සහභාගි වී පදමට රත්වී ගීතයක් මුමුණමින් පා ගමනින් රාත‍්‍රී 11ට පමණ සිය නිවස බලා විදුලි පන්දමද රැගෙන ගමන් කරමින් සිටියේ තනි පංගලමේය.
මොහුගේ නිවස බලා ගමන් කළ යුත්තේ ගමේ පොදු සුසාන භූමිය හරහාය. සුසාන භූමිය අසලට පැමිණෙනවාත් සමගම ඔහුගේ අත තිබූ විදුලි පන්දම කිසියම් අයකු විසින් පැහැරගෙන ක්ෂණයකින් එය නිවී ගියේය. සිදුවූ හදිසි සිද්ධියෙන් වික්ෂිතභාවයට පත් ඔහු වටපිට බැලුවේ කවදාකවත් නැතිව මේ මොකද වුණේ කියාය.
ගතවූයේ තවත් විනාඩි කීපයකි. එක්වරම ඇඟට වැදුණු වේවැල් පහරකින් මුළු ඇඟම වේව්ලුම් කා ගියේය. “මම මේ සොහොන ළඟින් හැමදාම යන මිනිහනේ. යකෝ මේ මොකද අද මට වෙන්නේ, සිදුවීම් අදහාගත නොහැකිය. තනිවම කල්පනා කරන්නට විය. පැවැති බය සමග කටහඬ අවදි විය.
“යකෝ සොහොන්වල යක්කුන්ට මාව බය කරන්න බෑ. ඔයිට වඩා යක්කුත් එක්ක හැප්පුණු කෙනෙක් මම. මගේ ඔළුවට ඉහළින් කුරුල්ලකුවත් යන්නේ නෑ. පුළුවන් නම් හැප්පිල බලමු.” අවටින් නැගුණු හූ හඬත් සමගම ඇඟ පුරා හැලුණේ වැලි අහුරකි. “අම්මෝ මාව බේරාගනියෝ. මට සොහොන් යකා ගැහුවෝ.” යැයි කියමින් කෑගසමින් එතනම ඇද වැටුණි.
වහා ක්‍රියාත්මක වූ තරුණයන් තිදෙනා ඔහු ළඟට පැමිණ “මොකද මාමේ මේ බිම වැටිලා කෑගහන්නේ.” යැයි විමසූ විට විවිධ දේ කියමින් කෑගසමින් ඔහු දොඩවන්නට විය. පසුව ඔවුන් මාමා ඔසවාගෙන ඔහුගේ නිවසට රැගෙන යන විටත් මුළු ඇඟම දහදියෙන් තෙමී තිබිණි.
නිවැසියන්ට පැවසුවේ මාමා සොහොන ළඟ වැටිලා සිටියා, අපි මොහු රැගෙන ආවා කියාය. ඔහුගේ තත්වය හොඳ නොවුණ නිසා එම තරුණයන්ම ගමේ කට්ටඩි මහතා කැඳවාගෙන ඒමට කටයුතු කරනු ලැබීය. ඒ වන විටත් මෙම සිද්ධිය ආරංචි වී අසල්වැසියෝද නිවසට පැමිණ සිටියහ.
මාමාට හොල්මනක් පහරදී නැති බවත් නම් සඳහන් නොවුණු තරුණයන් කිහිප දෙනකු විසින් මොහු මෙතෙක් කරගෙන ආ අශෝභන ක්‍රියාවට විරෝධය දැක්වීමට මෙසේ ක්‍රියා කර ඇති බවකි. එම පුවතද මාමාගේ මෙන්ම පවුලේ අයගේ කනට වැටුණි. එතැන් පටන් මාමා පොදු වැඩවලදී නායකත්වය ගෙන කටයුතු කළත් මෙතෙක් ක්‍රියාත්මක කළ අශෝභන වැඩට තිත තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd