කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
බෙන්තොට හෝටලයක පැවැති රාත්‍රී වැඩසටහනකට සහභාගී වූ විදුහල්පතිවරයකු රාත්‍රී කෑම වේලට වේලාසනින්ම පරිප්පු බෙදාගෙන අලි පරිප්පුවක් කෑ කතාවක් ගාල්ල පැත්තෙන් අසන්නට ලැබේ.
පොඩි විදුහලක පොඩි විදුහල්පති කෙනෙකි. සිය විදුහල පාලනය කිරීමට වඩා කළේ වැඩසටහන්වලට යාමය. ඒ සඳහා ඔහු ෂෝට් ලීව් ,ශේප් ලිව් මෙකී නොකී ලීව් ලබා ගත්තේය. මෙදින නම් මේ වැඩසටහන පැවැතියේ පස්වරුවේය. පාසල් වේලාවෙන් බැහැරවය. ඒ නිසා ප්‍රශ්නයක් නොවීය.
මේ වැඩසටහන පැවැතියේ බෙන්තොට ප්‍රධාන හෝටලයකය. තරු පහේ එකකය. එම වැඩසටහනට මේ විදුහල්පතිවරයා සහභාගී වූවේ නිවසේ අය පමණක් නොව අහල පහළ අයද දැනුම්වත් කොටය. ඒ තමාට ඇති තත්වය පෙන්වීමටය. එහි යන අතරතුර ද ඔහු මහ මග හමුවන අය සමග බලෙන් කතා කළේය. කවුරුන්වත් යන ගමන ගැන නැහැව්වත් තමා යන ගමන ගැන ඔහු කීවේය. තමා වෙනදාට වඩා ජේත්තුවට ඇඳ ගෙන යන්නේ ඒ නිසා බවද කීවේය.
වැඩසටහන පටන් ගැනීමට දෙපැයක් පමණ තිබියදී මේ විදුහල්පතිවරයා එම හෝටලයට ගියේය. එහි තිබූ ආසනයක් මත ඒ කාලයම ඔහු සිය පශ්චත් භාගය තබාගෙන සිටියේය. වැඩසටහන ආරම්භ කෙරිණි.
එයද දෙපැයක් පමණ කාලයක් පැවතී නිමාවට පත්වූවේය. දැන් වෙන්වී තිබුණේ ඇඟ රත් කර ගැනීමේ කාලයයි. විදුහල්පතිවරයාට සතුට නිම්හිම් නැතිවිය. ඔහු බල බලා සිටි අවස්ථාව උදාවූවේය. පිනට ඇඟ රත් කර ගැනීමට තියේනම් ඔහු ගාල්ලේ සිට බෙන්තොටට නොව යාපනයට වුවද යන්නේය.
ඇඟ රත් කර ගැනීමට දැන් සියල්ල සූදානම්ය. බඩු හොඳ ඒවාය. ඔහු පාවිච්චි කරන ගල්, පොල් නොව ඉස්තරම්ම ඒවාය. ඒවා දුටු ගමන් ඔහුගේ කටට කෙළ ඉනුවේය. ඒ දෙස හොරැහින් දෙතුන් වතාවක්ම බැලුවේය. කාටත් කලියෙන් ගල්, පොල් මෙන් අමුවෙන්ම දෙකක් දා ගත්තේය. එළුමස් තසිමක්ම කටේ හලා ගත්තේය. අතරින් පතර කට ගැස්මට ඌරු මස් කෑල්ලක් දෙකක් හැපුවේය. දාගත්ත බඩු ඉස්තරම් නිසා ඉස්සරින්ම ඔහුට බඩුය. බඩු වැඩිය. දැන් එළැඹියේ රාත්‍රී කෑම ගැනීමය. ඔහු වැනි වැනී කෑම සකසා තිබූ තැනට ගියේය. බත් දා ගත්තේය. අනෙක් ඒවාත් යහමින් බෙදා ගත්තේය. පේළියට පෝලිමේ ගියේය. අතුරු පස එක තිබුණේද කෑම මේසයට යාබදවය. ඔහු එය පසු කර යමින් සිටියේය.
ෂා පරිප්පු දා ගන්න බැරිවුණානේ කියමින් අතුරු පස මේසයේ තිබූ පරිප්පුව මුළු පිගානම ආවරණය වන සේ දා ගත්තේය. පරිප්පු නැතිව කාලා වැඩක් නැහැ යැයි තමාටම කියා ගනිමින් ඔහු එසේ කළේය.
කෑම මේසයේ තිබූ හැදි ගෑරුප්පුවලින් පිගානේ තිබූ සියල්ල එකට අනා ගත්තේය. දෙවියනේ කෑම එක පැණිම පැණි රසය. කන්න තියා හිතන්නවත් බැරිය. වැඩසටහනට සහභාගීවූ අයකුට දාගත් පරිප්පුව නිසා කෑම පිගාන පැණි රස බව කීවේය. අයියෝ මේ පරිප්පු නෙමෙයි කෑම කාලා ඉවරවුණාම අතුරු පසට ගන්නා කහපාට ඇට වගයකින් හදලා තියෙන විදෙස් කෑමක් මේ. පරිප්පු වගේ තමයි. නමුත් ඔයා විදුහල්පති කෙනෙක්නේ අතුරුපස ගන්නා මේසේ කොහේද පරිප්පු තියෙන්නේ යයි විදුහල්පතිවරයා පරිප්පු යයි සිතා කෑ පරිප්පුව ගැන ඔහු දැනුවත් කළේය.
රුපියල් හය දහසක් පමණ වටිනා රාත්‍රී කෑම පිගාන එහේම තියා විදුහල්පතිවරයා අලුත් කෑම පිගානක් බෙදාගෙන කෑවේ අනේ මම පරිප්පු යයි කියලා කාපු පරිප්පුව ගැන කාටවත් නම් කියන්න එපා යයි තමා මේ බව පැවසූ අයට කීවත් ඔහු විදුහල්පතිවරයාගේ තරු හෝටලයේ පරිප්පු කෑම පිළිබඳව පන්න පන්නා වැඩසටහනට සහභාගීවූ අයට කීවේ විදුහල්පතිවරයාට හොඳ පරිප්පුවක් දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd