(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 



දානේ ගෙදර ඉතුරු වූ උම්බලකඩය හංගාගෙන සිටි ඥාතියාගේ මල්ලෙන් උපායශීලීව ගත් නිවැසියකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.                             
නිවැසියාගේ ආච්චි අම්මාගේ තෙමස් මහා සාංඝික දානමය පිංකමකි. ගමටම මෙන්ම නෑ හිතවතුන්ට ද මේ සඳහා ආරාධනා ලැබිණි. ඒ අනුව ඔහුගේ හැත්ත බුරුත්ත මෙන්ම හිතවත්තු මිතුරෝ ද සහභාගී වූහ.
දානය සඳහා අවශ්‍ය කෑම ජාති ඉවුම් පිහුම් කළේ කුලියට ආ පිරිසකි. ඒ අයට ඒ සඳහා සකසා තිබුණේ ඔහුගේ නිවසේ මුලු‍තැන්ගෙයි පිටි පස්සේය. ඒ සඳහා කූඩාරමක් ද සකසා 
තිබුණේය.                        
ඉවුම් පිහුම් කිරීමට ආ අය යන්න සැරසුණෝය. ආහාරපාන ඉවුම්පිහුම් සඳහා තමන්ට ලබාදුන් ඉතිරි වූ දාන බඩු නිවැසියන්ට භාරදීම සිදු කෙරුණේ මේ අතරවාරයේය. ඉතිරි වූ උම්බලකඩය අස්ථාන ගතය. ඉවුම් පිහුම් කළ අයට ලොකු ප්‍රශ්නයකි. ඉතිරි වූ උම්බලකඩය දිහා ඇහැගහහෙන සිටිය කාන්තාවක් ඔවුන්ගේ සිහියට ආවාය. ඒ වනවිටත් සැකකාර කාන්තාව දානමය කටයුතුවල බරටම වැඩය. ඇයගේ ගමන් මල්ල කාමරයේය.   

            
නිවැසියා හීන් සීරුවට ඇයගේ ගමන් මල්ල කාටත් නොදැනෙනසේ පරීක්ෂා කළේය. කතාව ඇත්තය. උම්බලකඩය ඇයගේ ගමන් මල්ලේය. ඔහු එය පරිස්සමට ගත්තේය. ඉවුම් පිහුම් අයට එය පෙන්නුවේය. හානේ මේ අපේ ගෙදර එක්කෙනා උම්බලකඩ ඉතා ගණන් නිසා අරන් තියලා. ඔයාලා කිව්ව කෙනා නෙමෙයි ඒක අරන් තියෙන්නේ යයි ඔහු ඉවුම් පිහුම් කළ අයට කීවේය.
උම්බල කඩය සැඟ වූ ඥාතියාට ඉහවහා යන්න මිල මුදල් තිබුණත් ඇයගේ හැටි ඥාතීන් කවුරුත් දනිති. වටිනා කියනා දෙයක් අතපත ගා ගෙන යාම ඇයගේ විනෝදාංශයකි. මෙයින් ඇයට පාඩමක් ඉගැන්වීමට සිතූ ඔහු ඇය ළඟට ගොස් ඇයට පමණක් කවුරු හරි ඔයාගේ ගමන් මල්ලට උයලා පිහලා ඉතිරිවෙලා තිබුණු උම්බලකඩයක් දාලා. මම ඒක අර ගත්තා. ඇයගේ මුහුණ කළුවිය. දෙතොල වේළී ගියාය. හා ඇත්ත ද කියමින් ඇය දානය සඳහා සැකසූ කෑම නොකාම හාමුදුරුවන් දානයට වඩිමින් සිටිය දී හෙමින් සැරේම මාරුවී ගියාය.