බස්නාහිර පළාතේ මායිමේ සිටි සිව් දෙනකු දකුණු පළාතේ ඉලව්ගෙදරකට ගියේ එය නොගිහින්ම බැරි තැනක් නිසාය.

රැකී රක්ෂා කටයුතු හමාරකොට ඒ සඳහා රාත‍්‍රියම තෝරා ගත්තේ ගමන සඳහා කතාබස් කරගත් තුන් හතර දෙනාටම එය පහසු වේලාවක් වූ නිසාය.
තොටුපොළේ අලූත් පාලමෙන් යන්න පුළුවන්ලූ එකකුගේ යෝජනාවට අනෙක් තුන්දෙනාම කැමතිවිය.

”මාර්ගය කෙටි තමයි හැබැයි කිලෝමීටර් තුනක් විතර කැලේ”

සිතේ ඇතිවූ භීතියද සමග සිවු දෙනාම කෙසේ හෝ ඉලව් ගෙදරට ගොඩවී පැය දෙකක් පමණ එහි නැවතී නැවත එද්දී රාත‍්‍රි 11ට ආසන්නවී තිබුණි.
ගමන ආරම්භයේදී එකකු කී කතාව අනෙක් අයගේ සිතේ රහස් තැති ගැන්මක් ඇතිකළ කරුණක් වී තිබුණි.

ගමනට යොදාගත් ත‍්‍රීරෝද රථය ජනාවාස පසුකර කෙමින් කෙමින් ඉදිරියට ආ අතර ඉන්පසු කළුවර සහිත  ඝණ වනාන්තරයට ඇතුළු විය. ඒත් සමගම රැහැයි හඬ පළාත දෙවනත් කරන්නට විය.

දකුණු පසෙන් ගං ඉවුරය. එයින් ඇසෙන ගෙම්බන්ගේ ශබ්දය  ත‍්‍රිරෝද රථයේ හඬ පරාජය කළේය.

සැඟවුණු බියකින් සිවු දෙනාම කැලය පසුකරමින් සිටියහ. කණාමැදිරියකුවත් පෙනෙන මානයේ නැත. තැතින් තැන වළවල් හෑරීගිය කොන්ක‍්‍රීට් ඇතුරූ මාර්ගයේ වේගයෙන් ගමන් කිරීමටද අපහසුය.

වළවල් බේරමින් හෙමින් හෙමින් ඉදිරියට ගිය ත‍්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා එය එකවරම නතර කළේය.

ඇයි මොකද?

පසුපස අසුනේ කෙනෙකු ඇසුවේය.

අර.... ඔහු භීතියෙන් මෙන් කීවේය.

පාර හරහා කපා දැමූ ගසකි. එයින් මුළුමනින්ම මාර්ගය අවහිරය.

විනාඩි දහයක් ගතවිය. සිවු දෙනාම වචනයක් කතා කළේ නැත. එක් අයෙක් ඒ අතරේ සිය ජංගම දුරකථනයෙන් හදිසි අංක තුනක් එබුවේය. එය නිෂ්ඵලය. තවත් විනාඩි කිහිපයක් ගත වූයේය. අනතුරක සේයාවක් නොවීය.

නැවතත් තව ඇමතුමත් ගෙන යාබද ප‍්‍රදේශයේ මිතුරකුට ඇමතුමක් ගත්තේය. සිද්ධිය සැල කළේය. ඔහු වහා ආයුධයක් රැුගෙන තවකෙකු සමග එතැනට පැමිණියේය.

ඔවුන් රැගෙන ආවේ පොරවකි. සැනෙකින් මාර්ගය හරහා වැටී තිබූ ගස කපා ඉවත් කළේය.

පිටුපස අසුනේ සිටි පුද්ගලයකු ඒ වනවිටත් කතා නැත.

ඔහු තවමත් භීතියෙන් තැතිගෙන සිටිතැයි සිතා සිදුවී ඇත්තේ සුළඟට මාර්ග හරහා ගසක් කඩාවැටීම බව නිහඬව සිටි මිතුරාට කීවේය.

ඒත් සමගම ඔහු උගුරට අතදමා යමක් එළියට ඇද්දේය. ඒ පවුම් දෙකකට ආසන්න වූ බරින් යුතු ඔහුගේ ගෙල බැඳ තිබූ රත‍්‍රන් චේන් පොටය.

මාර්ගය හරහා ගස දුටු සැණින් ඔහු කරවටා බැඳ තිබූ එය ගලවා ගිල දමා එහි කෙළවරක් දතකින් විකාගෙන  සිටියේය.