(මතුගම පියසේන දොඩන්ගොඩ) 
දැනට දශක කිහිපයකට පමණ පෙර ගමේ ගොඩේ කොයියම් නිවසකින් හෝ බෙරහඬක් නෑසුන රාත්‍රියක් නැති තරම්ය. සන්නියකුමක්, බලි තොවිලයක්, ග්‍රහ පූජාවක්, ශාන්ති කර්මයක් හෝ අඩු වශයෙන් කහ නූලක් බැඳීමක් නැතහොත් දෙහි කැපීමක්වත් ගමේ කොතනක හෝ සිදුවිය. 


එදා යකුන්, ප්‍රේතයන්, පිශාචයින් හා කුම්භාණ්ඩයින් තම පවුලේ අයට හෝ තමාට හදි හූනියම් ‘අණ විණ’ කරතියි බියක් වැඩිදෙනා අතරේ හැම විටම පැවතුණි. මේ අතර සෑම රෝගාබාධයකටම මුල භූතයන් යකුන් පිට පටවා ‘ලෙඩේට’ ප්‍රතිකාර නොගෙන මිය පරලොව ගිය අය ද නොසිටියා නොවේ. 


දිනක් ගැමි ගෙදරක රාත්‍රි කාලයේ තදබල භූත දෝෂයක් ඇති බවට කට කථා පැතිරී තිබුණි. දිනපතා මැදියම් රාත්‍රියේ එම නිවස පිටුපසින් ‘කරාස්’ බරාස්’ යනුවෙන් බියජනක ශබ්දයක් ඇසී ඒ ගැන විපරම් කර බැලුවත් කාට හෝ කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. මේක නම් තම පවුලට බලවත් විපත් කරදර ගෙනදෙන මහා භූත බලවේගයක් බව සිතු ඔහු යකැදුරන් සොයා ගියේය.


මෙය යක්ෂ උපද්‍රවයක් බව ඔහු පැවසුවෙන් වහා තොවිලයක් කර යකා පලවා හැරිය යුතු බව කීය. බියට පත් ගෙහිමියා මුදල් පොලියට ගෙන යකැදුරාගේ නියමය පරිදි තොවිලය කර ඇති අතර රුපියල් විසිදහසක් පමණ රටට ණය වී තිබුණි. 


එහෙත් පසුවදා සිරිත් පරිදි මහ හඬින් එම ශබ්දය නැවතත් නිවස පිටුපසින් ඇසෙන්නට විය. මේ කතාව ගම පුරා පැතිරී ගිය අතර භූතයා සොයා දීමට ගමේ තරුණයෝ ඉදිරිපත් වූහ. 


මූ නම් මහ මාර යකෙක් යයි පැවසු එක් අයෙක් පසුවදා එම නිවස පිටුපස කෙසෙල් පඳුරක සැඟවී රෑ මැදියම වෙනතුරා බලාගෙන සිටියේ නොයිවසිල්ලෙනි. මේ අතර එම නිවසේ බිත්තිය අසල නිදාගෙන සිටි හරකෙක් ‘දනිපනි’ ගා නැගිට ගලෙන් බැඳි බිත්තියේ ‘කරාස් බරාස්’  යන හඬ නගමින් බිත්තියේ කර උලන්නට විය. 


දින ගණනාවක් අසල්වාසීන් සමග ශ්‍රමය හා මුදල් වැයකර තොවිලයක් නටා ‘සතේක’ පලක් නොවූ අතර අවසානයේ භූත යකා ගවයකු බව දැන ගන්නා විට ‘පෙරහර’ ගොස් හමාරය.