ට්‍රම්ප්ගේ දෙවැනි ආගමනයේ දී, ඩොලරය අවප්‍රමාණ වීම 

DXY කේතයෙන් හඳුන්වන ඇමරිකානු ඩොලරයේ දර්ශකය 2025 දෙසැම්බර් වන විට 98. 59 හි පැවතියේය. දර්ශකයේ අගය අඩුවීමෙන් ඩොලරය අවප්‍රමාණ වීම දක්වන අතර එහි අගය වැඩිවීමෙන් ඩොලරය අධි ප්‍රමාණ වීම දැක්වේ. ඒ අනුව 2025 අග වන විට එම මුදලේ අගය, 1971 හි පැවති 111. 21 ක ඉහළ මට්ටමින් සියයට එකොළහක අවප්‍රමාණ වීමකුත්, 1985 ඩොලරයේ අගය ඉහළටම නැග තිබුණු, 158.49 න් සියයට තිස් අටක අවප්‍රමාණවීමකුත් වාර්තා වූයේය.

2025 ජනවාරි මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි නිල කාලය ආරම්භ කරන විට (එය ඩොනල්ඩ් ට්‍රම්ප් 2.0 යනුවෙන් හැඳින්වූයේය) එම දර්ශකයේ අගය පළමු රූප සටහනේ දැක්වෙන පරිදි 108.2 ක් විය. ඒ අනුව ඔහුගේ නිල කාලය තුළ සිදුවූ අවප්‍රමාණය සියයට නවයකි (9%). 2026 ජනවාරි වන විට එය තවදුරටත් 96.16 දක්වා පහත වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත අවප්‍රමාණය ඔහුගේ දෙවැනි ධූර කාලයේ සියයට එකොළහක් (11%) බවට පත් විය.

එය සති පනස් දෙකක් තුළ මුදලේ දැවැන්ත පහත වැටීමක් වූ අතර ට්‍රම්ප් එම තත්වය සාදරයෙන් පිළිගනු ලැබුවේ සිය මැතිවරණ පොරොන්දුවලට අනුව, එය ඔහුගේ පාලනයට ඇමෙරිකානු එක්සත් ජනපදයේ අපනයන දිරිමත් කිරීම පිණිස, යළි නිෂ්පාදන නැංවීමට උපකාර වෙතැයි බලාපොරොත්තුවෙනි. එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් ට්‍රම්ප් එහිදී නිවැරදිය. 

එහෙත් යම් අයෙක් ඩොලරයේ කාර්යභාරය, ජාත්‍යන්තර සංචිත අරමුදලක් ලෙස සැලකූ විට එය අතිශය සාවද්‍ය වේ. එසේ වනුයේ යම් තියුණු අවප්‍රමාණවීමක් ඩොලරය සම්බන්ධයෙන් සිදුවේ නම් එයින් බියෙන් තැති ගන්වන සුළු තරංගයක් ගෝලීය ආර්ථිකය හරහා රැළි නැගී ඩොලරය අනෙකුත් වත්කම්වලට හුවමාරු කරමින් සංචිත මුදලක් ලෙස භාවිත කරන රටවල්, මූල්‍ය විශේෂඥයන්, පෝර්ට්ෆෝලියෝ සකස් කිරීම නැතහොත් විනියෝග සමූච්චය සංශෝධනය (Portfolio Adjustment) යනුවෙන් හඳුන්වන කාර්යාවලියට යොමුවන නිසාය. ඩොලරයේ සිදුවන මෙම වෙනස්වීමෙන් එක්සත් ජනපද අපනයන ප්‍රවර්ධනය කිරීමේ ට්‍රම්ප්ගේ අරමුණ පරාජයට පත්වේ.

 දර්ශකයකින් දක්වන ඩොලරයේ  වෙළෙඳපොළ අගය වෙනස්වීම 

DXY දර්ශකය පළමුවෙන්ම 1973 දී නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බැංකුව වූ ෆෙඩරල් සංචිත බැංකුවයි. ඒ 1971 අගෝස්තුවේදී බ්‍රෙටන් වුඩ්ස් (Bretton Woods) ගිවිසුමෙන් ඒකපාර්ශවිකව ඉවත්වීමෙන් අනතුරුවය. එම ගිවිසුමෙන් වොෂින්ටනයේ අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිහිටුවීමට මග පෑදුණු අතර එයින් එක්සත් ජනපද රජය රත්‍රන් ට්‍රෝයි අවුන්සයක් ඩොලර් 35 කට හුවමාරු කිරීමට එකඟ වූයේය. මෙම ක්‍රමය රත්‍රන් හුවමාරු ප්‍රමිතිය යනුවෙන් හඳුන්වනු ලැබූ අතර ඩොලර් සංචිත මුදලක් ලෙස නිදහසේ භාවිත කිරීමට අවස්ථාව සලසා දෙන ලද්දේ ඒවා නිශ්චිත මුදලකට රත්තරන්වලට පරිවර්තනය කිරීමේ පහසුකම ලැබුණු බැවිනි. කෙසේ වුවද මෙම ක්‍රමයෙන් ඉවත්වීම නිසා එම නිල බැඳියාව ශුන්‍ය බවට පත්ව අහෝසි වී ගියේය.

ඩොලරය ස්වේච්ඡාවෙන් සංචිත මුදලක් ලෙස භාවිත කරන්නට ගත් නිසා එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව ඩොලරය වෙළෙඳපොළේ වෙනස් වෙන ආකාරය දක්වන දර්ශකයක් එය භාවිත කරන්නන්ට ලබාදීම විචක්ෂණශීලී වේ යයි සිතීය. එම දර්ශකය සම්පාදනය කිරීම උදෙසා ප්‍රධාන පාර්ශව හයකට අදාළ මුදල් වර්ගවලට බර තැබීම කෙරේ. එම බර තැබීම පහත වරහන් තුළ දැක්වේ. යුරෝ (57.6%), ජපන් යෙන් ( 13.6%), බ්‍රිතාන්‍ය පවුම් (11.9%), කැනේඩියානු ඩොලර් (9.1%), ස්වීඩන් ක්‍රෝන ( 4.2%), ස්විස් ෆ්‍රෑන්ක්( 3.6%).

1985 දී පෙඩරල් බැංකුව DXY දර්ශකය සම්පාදනය කිරීම නවතා දමා එය කළමනාකරණය කිරීමේ කාර්යය, ඉන්ටර්කොන්ටිනල් එක්ස්චේන්ජ් හෙවත්, ICE වෙත පැවරුවේය. එය නිව්යෝර්ක් වෙළෙඳ මණ්ඩලයේ, අනුප්‍රාප්තික ආයතනයයි . දැන් DXY දර්ශකය සම්පාදනය කර, එම දත්ත රොයිටර් පුවත් සේවය හරහා මුදා හරින්නේ ICE ආයතනයයි.

 ලෝකයේ මහ බැංකුකරුවන්ගේ  රටේ බැඳියාවන් 

ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් බ්‍රේටන් වූඩ් සම්මුතියෙන් ඉවත් වුවද ඇමරිකානු ඩොලරය ගෝලීය ප්‍රධාන සංචිත මුදල් වර්ගය ලෙස අඛණ්ඩව පැවැතියේ, ඩොලරය අභිබවා යා හැකි වෙනත් මුදල් වර්ගයක් නොතිබූ නිසාය. ලෝකය පුරා මහ බැංකුවලට විදේශ විනිමය සංචිත ලෙස සුරක්ෂිත වූ වත්කමක් සැපයීම, නිසාත්, අන්තර්ජාතික වෙළෙඳාමේ සහ මූල්‍ය ගනුදෙනුවල හුවමාරු මාධ්‍යයක් ලෙස එම කාර්යභාරය භාර ගැනීමට සූදානම්ව පැවතීමත් යන ක්‍රියාකාරකම් දෙක උදෙසා ඩොලරයේ සේවාව අඛණ්ඩව සිදුවිය. 1971 ට පෙර ලෝකයේ නිල මහ බැංකු රට ලෙස පැවතියේ, එක්සත් ජනපදයයි. 1971 න් අනතුරුව එය ලෝකයේ නිල නොවන මධ්‍යම බැංකු කරුවා බවට පත්විය. එම නිසා ගෝලීය ද්‍රවශීලතා අවශ්‍යතා පිරිමැසීම සඳහා ප්‍රමාණවත් ඩොලර් සැපයීමේ බැඳියාවෙන් ඉවත්වීමට එක්සත් ජනපදයට නොහැකි වූයේය.

ගෝලීය ද්‍රවශීලතා අවශ්‍යතා යනුවෙන් හැඳින්වූයේ රටවල්වලට ඒවායේ ව්‍යාපාර සඳහා මුදල් ලෙස ඩොලර් තිබීමේ අවශ්‍යතාව වූ බැවින් මහා බැංකු කරුවාගේ රටේ රාජකාරිය වූයේ ඒවා සැපයුම් කිරීමයි. ඒ අනුව එක්සත් ජනපදයේ මූල්‍ය ප්‍රතිපත්තියෙන් එක්සත් ජනපදය ආර්ථිකයේ මූල්‍ය අවශ්‍යතා පමණක් නොව ගෝලීය ද්‍රවශීලතා අවශ්‍යතා පිළිබඳව ද සලකා බැලිය යුතු වූයේය.

 සිඤ්ඤෝරේජ්,  (Seigniorage) ඉපැයීම 

වෙනත් ඕනෑම මහ බැංකුවක් මෙන් මෙම රාජකාරියෙන් අමතර ප්‍රසාද දීමනා එක්සත් ජනපදයට සම්පාදනය විය. ඒවා නම් සෙසු ලෝකයෙන් සැබෑ භාණ්ඩ හා සේවා, ඩොලරයේ නාමික අගයට මිලදී ගැනීමේදී එම ඩොලර් නිෂ්පාදනය කිරීමට ඩොලරයේ නාමික අගයෙන් කොටසක් පමණක් ගෙවීමට හැකිවීමේ වාසිය අත්වීමයි. 

ඩොලරයේ නාමික අගය සහ ඩොලරයේ නිෂ්පාදනය වියදම අතර වෙනස එක්සත් ජනපද රජය විසින් ඉපැයූ ලාබයක් වූයේය. එය සිඤ්ඤෝරේජ් යනුවෙන් හැඳින්වේ. ඒ ආකාරයට ලෝකයේ නිල නොවන මධ්‍යම බැංකුව ලෙස ක්‍රියාකාරී වීමෙන් එක්සත් ජනපදය සිඤ්ඤෝරේජයන් සෑහෙන ප්‍රමාණයක් තම ආර්ථිකය වෙත ඒකරාශි කර ගනු ලැබුවේය.

ඇමරිකාව ඩොලරයක් නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාවෙන් කමිසයක් මිලදී ගන්නේ යයි සිතමු. ඩොලරය නාමික වත්කමක් වන අතර කමිසය සැබෑ වත්කමකි. ඒ අනුව ශ්‍රී ලංකාව සැබෑ කැපකිරීමක් කරන ලද අතර, ඇමරිකාව සිදුකොට ඇත්තේ නාමික කැපවීමකි. 

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත මාරුකර ඇත්තේ සැබෑ සම්පතකි. එහිදී එක්සත් ජනපදයට පැවරී ඇත්තේ නාමික බැඳියාවක් පමණි. වෙළෙඳ හිඟයක් පවත්වා ගැනීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මෙය අඛණ්ඩව කරගෙන යයි.

මේ ආකාරයට 2025 අගදී, එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 13ක ප්‍රමාණයක් පවත්වා ගනිමින්, ගෝලීය සංචිතවලට සියයට 57 කින් පමණ දායක වූයේය. එම ප්‍රමාණය එක්සත් ජනපදයේ මූල්‍ය සැපයුමෙන් සියයට 59ක් පමණ විය. ඇමරිකානු ඩොලරයට බොහෝ පසුපසින් ඇති අනෙකුත් ප්‍රධාන මුදල් වර්ග ලෙස යුරෝ සියයට 20 කින්ද, ජපන් යෙන් සියයට 6කින්ද, බ්‍රිතාන්‍ය පවුම් සියයට 5 කින්ද, චීන යුවාන් සියයට 2 කින්ද ගෝලීය සංචිතවලට දායක වේ. 
ද්‍රවශීලතාව සහ සුරක්ෂිත භාවය නිසාත් වෙළෙඳපොළ ස්ථාවර භාවය නිසාත් , මූල්‍ය ආයතනවල පෘථුල, ජාල රටාව නිසාත්, එය භාවිතයෙන් සිදුවෙන ගෙවීම් ක්‍රම නිසාත්, ඇමරිකානු ඩොලරය වඩාත් ප්‍රියතම මුදල බවට පත්වී තිබේ. ට්‍රම්ප් පාලනය විසින් ව්‍යාකූල කර දමා ඇත්තේ ඩොලරයේ මෙම මහඟු‍ ලක්ෂණයි.

 එක්සත් ජනපදය ප්‍රමුඛ ගෝලීය  ආර්ථික පිළිවෙළට බාධා කිරීම 

දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ලෝක ආර්ථිකයේ, ගෝලීය ආර්ථික පිළිවෙළට නායකත්වය දෙනු ලැබුවේ එක්සත් ජනපදය සහ එහි මුදල් වර්ගය වූ ඩොලර යයි. ආර්ථික පිළිවෙළක්, එකිනෙක හා අන්තර් සම්බන්ධතාව පවතින නීති පද්ධතියක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක වෙළෙඳ සංවිධානය වැනි ආයතනයන්, වෙළෙඳ ගිවිසුම් ඇතුලත් ප්‍රතිපත්ති, අන්තර් ජාතික ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරනු ලබන බල ගතිකයන් ආදියෙන් සමන්විත වේ. නායකයකු විසින් බල ගන්වනු ලැබූ නීති පදනම් කරගත් මෙම ක්‍රමය තුළ ජාත්‍යන්තර ගනුදෙනුවලවල යෙදෙන සියලු‍ රටවල්, එකිනෙකා කෙරෙහි, ආරක්ෂාව පිළිබඳ හැඟීමෙන් සහ නිශ්චිත භාවය පිළිබඳ හැඟීමෙන්, නිරන්තරයෙන් පසුවේ. නායකත්වය දරන්නා, දැනට පවතින නීතිවලින් වෙනස් වූ, මෙම නීතිවලට අභියෝග කරන තමන් විසින් තෝරා ගත් හිතුවක්කාර ප්‍රතිපත්ති, නියම කරන්නේ නම්, ගෝලීය ආර්ථික පිළිවෙළ දෙදරා යන්නේය.

 ට්‍රම්ප්ගේ ආර්ථික විද්‍යාව පිළිබඳ, සිංගප්පූරුවේ කියවීම 

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් අමතමින්, සිංගප්පූරු විදේශ අමාත්‍ය, විවියන් බාල ක්‍රිෂ්ණන් විසින් මුලින්ම හුවා දැක්වූ පරිදි, 2025 අප්‍රේල් මාසයේදී, ට්‍රම්ප් , එක්සත් ජනපදයේ වෙළෙඳ හවුල්කරුවන් වෙත හිතුමතේ එක් එක් තීරු බදු අනුපාත පැනවීමෙන් සිදුවූයේ එයයි. ධනවත් වුව කුඩා රටකින් බිහි වුණු බාල ක්‍රිෂ්ණන්, එක්සත් ජනපදයේ අලු‍ත් ප්‍රතිපත්ති නිර්දය ලෙස විවේචනය කළේය. ලෝකයා, ලෝකයේ පිළිවෙත, චර්යා ධර්මයක් ලෙස සලකා ගෝලීයකරණය පිළිගෙන සිටි,බව හෙතෙම විස්තර කළේය. එම චර්යා ධර්මයේ පිළිවෙත අනුව, ධනවත් රටවල ආණ්ඩු, තම නිෂ්පාදන ආයතනවලට, ලාබ අමුද්‍රව්‍යවල පැවැත්ම සහ, ශ්‍රමයට අඩු වැටුප් ගෙවන වාසිය මත වෙනත් රටවල කර්මාන්තශාලා ඉදිකිරීමට අවසර දෙනු ලැබුවේය. ලෝකයේ අනික් පැත්තේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ආණ්ඩු, එවැනි ආයතන වලට, තම සීමා මායිම් තුළ කම්හල් ඉදිකිරීම සඳහා, සියලු‍ දිරි දීමනා සපයනු ලැබුවේය. දුප්පත් සහ ධනවත් යන, රටවල් දෙකොට්ඨාසයටම වාසිදායක වූ, මෙම ක්‍රමය එක්සත් ජනපදයේ අලු‍ත් ප්‍රතිපත්ති වලින් දෙදරා ගියේය. ලෝක ජාතීන්ට, එක්ව වැඩ කිරීමට උපකාරී වූ ආරක්ෂාව සහ නිශ්චිත බව වෙනුවට අලු‍ත් ක්‍රමයෙන්, කනස්සල්ල නිර්මාණය කර තමන්ගේ කටයුතු කෙරෙහි දීර්ඝ කාලීන දැක්මක් ඇතිකර ගැනීමෙන් ජනයා වළකනු ලැබුවේය.

2026 ජනවාරියේ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) අමතමින් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නේ මෙම තත්වය තවදුරටත් අවධාරණය කරනු ලැබුවේය. නීතිය පදනම් කරගත් ජාත්‍යාන්තර පිළිවෙළ නිමාවට පත්වීම ගැන සඳහන් කරමින්, දීර්ඝ කාලයක් තිස්සේ පැවති එක්සත් ජන පද මිත්‍රසන්ධානය , ක්‍රමෝපාය ස්වාධීනත්වය ගොඩනඟා ගන්නා අතර, මානව හිමිකම් සහ ස්වෛරීභාවය වැනි හර පද්ධති පවත්වා ගනිමින් හැඩ ගැසුණු ආකාරය ඔහු විස්තර කළේය.

වඩාත් සාමූහික හා ශක්තිමත් ලෝකයක් ගොඩනගා ගැනීමට දෘඪතර බලයට එරෙහිව නැඟී සිටින්නට එක්සත්ව කටයුතු කරන ලෙස ඔහු මධ්‍යම ප්‍රමාණයේ බලවත් රටවලින් ඉල්ලා සිටියේය.

දැනට පවතින ගෝලීය ආර්ථික පිළිවෙළ දෙදරා යාමත් සමග අනතුරට පාත්‍රවූයේ ඇමරිකානු ඩොලරයයි.

 ඇමරිකානු ෆෙඩරල් බැංකුවට ප්‍රහාර 

යම් රටක් එහි තීරු බදු වැඩි කළ විට ස්වාභාවිකවම පාරිභෝගික මිල ගණන් ද ඉහළ යන්නේ ඉහළ තීරු බදු එම භාණ්ඩවල මිල ගණන්වලට එකතු කරනු ලබන නිසාය. මෙය එක රැයින් සිදු නොවන මුත් කාලයත් සමග මිල ගණන් හැඩ ගැසීමේ ක්‍රියාදාමයකින් සිදුවන්නකි. තාවකාලිකව රටට සුරක්ෂිත බව දැනෙන මුත්, දීර්ඝ කාලයේදී උද්ධමනීය පීඩනය එල්ලවීම වැළැක්විය නොහැක්කකි. එක්සත් ජනපදය ආර්ථිකයට සිදු වෙමින් පවතින්නේ හරියටම මෙම සන්තෑසියයි.

පහත වැටෙමින් පවතින ආර්ථික ක්‍රියාකාරකම්, ඉහළ නැංවීමට, ෆෙඩරෙල් සංචිත බැංකුව ලවා පොලී අනුපාත පහත හෙළන්නට ට්‍රම්ප්ට ඕනෑ විය. දීර්ඝ කාලීන දැක්මකින් බැලූ ෆෙඩරල් බැංකුවට, ඔහු එල්ල කළ පීඩනය බාර ගැනීමට අවශ්‍ය නොවීය. එම තත්වය ට්‍රම්ප් සහ ෆෙඩරල් බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් අතර ගැටුමකට මග පෑදුවේය. එක්සත් ජනපදය අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඔහුව නැවත නැවත ෆෙඩරල් බැංකු ගොඩනැගිලි දෙකක් අලු‍ත් වැඩියා කිරීම උදෙසා මුදල් යෙදවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයකට ලක් කළ විට එය මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් ලෙස ලෝකයා සැලකුවේය. මහජනයා වරදවා වටහා ගැනීමක් ඇති කර ගැනීම වළකාලීමට මහජන සම්පත්වල භාරකරුවා ලෙස ෆෙඩරල් බැංකුව වගකීමෙන් යුතුව මූල්‍ය සම්පත් භාවිත කරන බව තහවුරු කරමින් විශේෂ දැන්වීමක් නිකුත් කිරීමට බැංකුවට සිදුවිය.එහෙත් ඒ වන විට හානිය සිදුවී හමාරය.ලෝකයේ මධ්‍යම බැංකු තම ඩොලර් ශේෂ ඉවත් කර ඒ වෙනුවට රන් සංචිත තම සංචිතවලට එකතු කිරීම ඒ වන විට පටන් ගෙනය.

 මධ්‍යම බැංකු රත්රන්  වෙනුවෙන් ඩොලර් ඉවත් කිරීම 

මධ්‍යම බැංකු, සිය වත්කම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ද ගාඩියන් සඟරාව, මධ්‍යම බැංකු පනහක් ඇසුරින් කළ සමීක්ෂණයෙන් වාර්තා කළ ආකාරයට බැංකු 25ක් තම රත්තරන් හිමිකම් වැඩි කර ගැනීමට සැලසුම් කරමින් සිටි අතර බැංකු තිස්තුනක් සිය දේශසීමාවලින් පිටත තිබූ රත්‍රන් හිමිකම් වෙනත් තැන්වල පිහිටුවන්නට සැලසුම් කළහ. 

රත්රන් ඩොලර් වලට වඩා අගනා බව පෙනී ගියේ අලෙවි කර ගැනීමට පහසු නිසාත් එය සංචිත මුදලක් මෙන් කිසිවකුගේ ණයකර බැඳීමක් නොවන නිසාත්ය. එහි ප්‍රතිඵලය වූයේ වෙළෙඳ වෙළඳපොළේ රත්රන් මිල ගණන් සැනෙකින් ඉහළ යාමය. දෙවැනි රූපසටහනින් පෙන්වා දෙන පරිදි, ට්‍රම්ප් සිය දෙවැනි ධූර කාලය ආරම්භ කරන විට, රත්රන් ට්‍රෝයි අවුන්සය මිල ඩොලර් 2000ක් පමණ විය. 2026 ජනවාරි මාසය වන විට එය ඩොලර් 5262 දක්වා ඉහළ නැගුණි. මේ අනුව ඩොලරයක රන් අගය තියුණු ලෙස පහත වැටුණි. 

1971 එක්සත් ජනපදය, Bretton Woods ගිවිසුම යටතේ රන් හුවමාරු ප්‍රමිතිය අතහැර දැමූ විට, එක් ඩොලරයක වටිනාකම රන් මිලි ග්‍රෑම් 888 ක් විය. ට්‍රම්ප් 2025 ජනවාරියේ සිය දෙවැනි ධූර කාලය ආරම්භ කරන විට ඩොලරයක අඩංගු රත්රන් ප්‍රමාණය මිලිග්‍රෑම් 16 ක් විය. 2026 ජනවාරි මාසයේ අගදී එම වටිනාකම රත්‍රන් මිලිග්‍රෑම් 6 දක්වා පහත වැටිණි. එම නිසා මධ්‍යම බැංකු ඩොලර් ඉවතලා ඒ වෙනුවට රන් ශේෂ ඒකරාශී කර ගැනීම ස්වාභාවිකය.

 එක්සත් ජනපදයේ උද්ධමනය නිසා  ඩොලරයෙහි සැබෑ අගය පහත වැටීම 

ඩොලරයේ සැබෑ අගය පහත වැටෙන්නට හේතු වෙමින් එක්සත් ජනපදයේ උද්ධමනය අනුපාතය ද ඉහළ යමින් පවතී. ඩොලරයක් හිමි ඕනෑම අයකුට ඩොලරයක් වටිනා භාණ්ඩ හා සේවා සමූහයක් එක්සත් ජනපද ආර්ථිකයෙන් මිලදී ගැනීමට හැකි විය යුතුය. එක්සත් ජනපදයට පරිබාහිර උදවිය ඩොලර් අත්පත් කරගන්නේ ඔවුන්ගේ සැබෑ සම්පත් කැප කරමිනි.

උදාහරණයකට ශ්‍රී ලංකාව කමිසයක් අපනයනය කර ඩොලරයක් අත් කර ගන්නේ නම්, ශ්‍රී ලාංකික නිෂ්පාදකයන් එම කමිසය නිපදවීමට භාවිත කරන්නේ සැබෑ ශ්‍රමය සහ අමුද්‍රව්‍ය වැනි සම්පත් ය. එක්සත් ජනපද පාරිභෝගිකයා එම කමිසය ලබාගන්නේ ඩොලරය නමින් හඳුන්වන කඩදාසි කැබැල්ලක් හුවමාරු කරමිනි. එය ඇමරිකානු එක්සත් ජනපද ආර්ථිකයෙන් සැබෑ භාණ්ඩ හා සේවා සමූහයක් මිලදීගන්නට හුවමාරු කරනතුරු ඊට ඇත්තේ නාමික පැවැත්මකි.

එම සමූහය තුළ කෙතරම් භාණ්ඩ හා සේවා අඩංගුවේද යන්න තීරණය වන්නේ, එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකයෙන් මනිනු ලබන පාරිභෝගික මිල මට්ටම අනුවය.

තුන්වැනි රූප සටහනින් පෙන්වා දෙන පරිදි එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකය, 1982- 84 පාදක වර්ෂයෙහි, අගය 100 ට ඉහළ නගින ලද්දේ, 1971 අගෝස්තුවේ, රන් හුවමාරු ප්‍රමිතිය අත් හරිනු ලැබූ අවස්ථාවේ,එය 40.7 හි තිබීමෙන් අනතුරුවය. මෙම දර්ශකය 2025 දෙසැම්බරයේ 326 ට ඉහළ නැගුණි. මීන් අදහස් වන්නේ පාදක වර්ෂයේදී ඩොලරයකට මිලදී ගත හැකි වූයේ, ඩොලරයක් වටිනා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පමණක් බවයි. 

එහෙත් 1971 අගෝස්තු මාසයේ ඩොලරයකට ඩොලර් 2.43 වටිනා භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි, ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් තිබුණි. එම වටිනාකම 2025 අගදී, ශත 31 වටිනා භාණ්ඩ හා සේවා පමණක් මිලදී ගත හැකි තරමට වටිනාකම පහත වැටුණි. එම නිසා පාරිභෝගික මිල ගණන් ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස, ඩොලර් ශේෂයන් හිමිව සිටි අය, එම ශේෂයේ අගයෙහි සෑහෙන තරමින් සැබෑ පහත වැටීමක් අත් වින්දෝය. 

ට්‍රම්ප් පරිපාලනය විසින් ඉහළ තීරුබදු අනුපාත හඳුන්වා දීමත් සමග එය ෆෙඩරල් සංචිතවල ස්වාධීනත්වයට බලපෑම් කරන බව පෙනියාම, නිසා අනික් රටවල්වලින් එක්සත් ජනපද ආර්ථිකය සම්බන්ධ අධි උද්ධමනයක් බලාපොරොත්තු වීම වැළැක්විය නොහැක්කකි. ඔවුන්ගේ විදේශ සංචිත ඒකරාශි කර ගැනීම සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් සොයා යාමට හේතු වූ එක් කාරණයක් වූයේ මෙයයි.

පසුගිය දශක දෙක තුළ ක්‍රිප්ටො මුදල් වර්ග,ගෙවීම් සිදුකිරීමේ ජනප්‍රිය මාධ්‍යයක් සහ සමපේක්ෂණ වත්කමක් බවට පත්වූයේය. ඒවායේ ජනප්‍රියත්වයට එක හේතුවක් වූයේ, එක්සත් ජනපද පාලනය විසින් ඩොලරය සම්බන්ධයෙන් භාවිත කරන ලද ස්ථාවර නොවූ ප්‍රතිපත්ති පැකේජය නිසා, ඩොලරය කෙරෙහි වූ ඔවුන්ගේ විශ්වාසය පලු‍දු වීමයි. 

ක්‍රිප්ටෝ මුදල් වර්ගවලින්, බිට්කොයින් හෙවත් BTC අතීතයේදී බොහෝ සෙයින් සමච්චලයට ලක් වූයේය. 2009 දී, ගෙවීම් සඳහා මුලින්ම හඳුන්වා දුන් වේලේ බිට් කොයිනයක (BTC) වටිනාකම වූයේ, ඩොලර් ශත දහයකි. ඒ අනුව එක් ඩොලරයක වටිනාකම, බිට් කොයිනයේ (BTC හි)බෙදුණු අවම ඒකකය වූ සැටෝෂි බිලියනයක් විය. 4වැනි රූපයෙන් පෙනෙන පරිදි 2025 අග වනවිට එය ඩොලර් 90,000ට නැතහොත් සැටෝෂි 1111දක්වා ඉහළ නැග තිබිණි. 

බිට්කොයින හෝ වෙනත් ක්‍රිප්ටො මුදල් වර්ගයකින්, ඩොලරය එළවා දැමිය නොහැකි වන නමුදු, හුවමාරු මාධ්‍යයක් ලෙසත්, වටිනාකම් ගබඩා කරන මාධ්‍යයක් ලෙසත්, ඒවා ඩොලරයේ සුපිරි ආධිපත්‍යයට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ගෝලීය ආර්ථික පිළිවෙළට, ප්‍රහාර එල්ල කරන තරමට ශක්තිමත් වූයේය.

මෙයින් අදහස් වන්නේ ලෝකය අලු‍ත් ගෝලීය ආර්ථික පිළිවෙළක් කරා ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිව තිබෙන නායකත්වයේ, ආසනය මගහැර ඉදිරියට ඇදෙන බවයි. මෙම ප්‍රවණතාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනයේ අවධානය බැරෑරුම් ලෙස යොමු නොවන්නේ නම්, ඩොලරයට හිමි ආධිපත්‍යයෙන් එය පහතට ඇද වැටීම වැළැක් විය නොහැකි වනු ඇත.