• පාකිස්තාන, ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ආයෝජකයන්ට බිලියන 1.7 ක පාරිභෝගික පදනමක් වෙත යොමුවීමේ අවස්ථාව
  • ආයෝජන සූදානම් මට්ටමේ ව්‍යාපෘති රැසක් හඳුනාගෙන
  • නවීනතම අපනයනය සැකසුම් කලාප 17 තුළ ආයෝජනයට අවස්ථාව
  • උතුර සහ නැගෙනහිර පළාත් තුළ අලුතින් අපනයන 
  • සැකසුම් කලාප සහ තාක්ෂණික උද්‍යාන පහක්
  • ආයෝජන තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට සුවිශේෂී ආයෝජන සහන පැකේජ සහ නිදහස් ආයෝජන ප්‍රතිලාභ

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජනය සඳහා සූදානම් මට්ටමේ පවතින ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය පවසයි. 

ඒ යටතේ දැනටමත් නවීනතම අපනයන සැකසුම් කලාප 17 කට අධික ප්‍රමාණයක පිහිටි ආයෝජන සිදු කළ හැකි පරිශ්‍ර දෙස් විදෙස් ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීමට එම මණ්ඩලය කටයුතු කර තිබෙන බවත්, අදාළ පරිශ්‍ර සතුව වඩාත් හොඳ යටිතල පහසුකම්, උපයෝගිතා පහසුකම් මෙන්ම වෙළෙඳ පහසුකම් රැසක්ද ලබා දී තිබෙන බවත් ඇය සඳහන් කරයි.

පසුගියදා කොළඹදී පැවැත්වුණු FICAC 2026 දකුණු ආසියානු සමුළුවේදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම කරුණු සඳහන් කළාය. කලාපයේ රාජ්‍ය තාන්ත්‍රිකයන්, ව්‍යාපාරික නායකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු පිරිසක් සහභාගි වූ මෙම සමුළුව කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරිම සහ නව ආයෝජන අවස්ථා සොයා යෑම මූලික කරගනිමින් සංවිධානය වී තිබුණි.

“මේවාට අමතරව උතුර සහ නැගෙනහිර පළාත් තුළ සහ තාක්ෂණික උද්‍යාන සඳහා තවත් අපනයන සැකසුම් කළාප පහක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන්ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියාය.

මෙහිදී ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛතම ආයෝජන අංශ අතර අගය එකතු කළ නිෂ්පාදන, යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් සේවා සහ වාණිජමය මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ කෘෂි-පාදක කර්මාන්ත වන බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යොමුවීමේ වැදගත්ම අවස්ථාව වන්නේ එය සතුව පවතින සුවිශේෂී වෙළෙඳ පොළ ප්‍රවේශය බවද ඇය මෙහිදී අවධාරණය කළාය. 

ඒ යටතේ යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP Plus ක්‍රමවේදය යටතේ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ වෙතට තීරු බදු නිදහස් ප්‍රවේශයත්, එක්සත් රාජධානියේ සවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ ක්‍රමවේදය යටතේ තවදුරටත් එරට වෙත සිදුකරන වෙළෙඳාම පුළුල් කිරීමට අවස්ථාව හිමිව තිබෙන බවත් ඇය පවසා සිටියාය.

“කලාපීය වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකාව පාකිස්තානය සහ ඉන්දියාව යන රටවල් දෙක සමගින්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබීමේ සුවිශේෂී වාසියක් අත් පත්කරගෙන සිටිනවා. මේ හරහා බිලියන 1.7 කට අධික අති දැවැන්ත දකුණු ආසියාතික පාරිභෝගික පදනමක් වෙත යොමුවීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. 

එසේම සිංගප්පූරුව, තායිලන්තය සමගින් ඇති කර ගෙන ඇති එකඟතා මගින් ආයෝජන සඳහා පමණක් නොව සේවා අංශය වෙතත් අවස්ථාවන් විවෘත කර තිබෙනවා.“

මීට අමතරව SAFTA සහ PATA යන කලාපීය වෙළෙඳ ක්‍රියාරාමු වෙත සම්බන්ධවී සිටීමත් සමගින්ම ආසියා - පැසිපික් වෙළෙඳපොළ වෙතද පුළුල්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියාය.

“ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය තවදුරටත් වැඩි දියුණු කිරිම සඳහා මේ වනවිට වඩාත් සුවිශේෂී ආයෝජන සහන පැකේජයක්ද අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ යටතේ බදු සහන, අපනයන සේවා සඳහා සාංගමික ආදායම් බදු අනුපාත පහත හෙළීම, දැවැන්ත ව්‍යාපෘති සඳහා බදු විරාම, මිලදී ගන්නා ස්ථාවර වත්කම් සඳහා ලබා දෙන බදු සහන සහ රේගු බදු සහ පැරා-තීරු බදු ඉවත් කිරීම් යනාදිය ලබා දී තිබෙනවා.“ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර ශ්‍රී ලංකාව විදෙස් ආයෝජකයන් සඳහා වඩාත් නිදහස් ආයෝජන අවස්ථා උදා කර දී තිබෙන බවත්, එහිදී සියයට සීයක්ම විදේශ හිමිකාරීත්වය සහිත, ප්‍රාග්ධනය සහ ලාභය සම්පූර්ණයෙන්ම රටින් පිටතට රැගෙන යා හැකි ලෙස ආයෝජකයන් වෙත ප්‍රතිලාභ හිමි කරදී තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් පවසා සිටියාය.

“ඒ වගේම තමයි විදෙස් ආයෝජන සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහතිකයක් ලබා දෙනවා. අපගේ නීතිමය ක්‍රියාරාමුව මගින් සියලුම බුද්ධිමය දේපළ හිමිකම් ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සමපාත වන ආකාරයෙන් වඩාත් ශක්තිමත්ව ආරක්ෂා කරනවා. ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රධානතම ජාත්‍යන්තර සහ කලාපීය ආයෝජන ආරක්ෂණ එකඟතා වෙත අත්සන් තබා තිබෙනවා. ඒ හරහා ගෝලීය ආයෝජකයන්ට අමතර සුරක්ෂිතතාවක් ලබා දී තිබෙනවා.“ යනුවෙන්ද ඇය මෙහිදී පවසා සිටියාය.

ඒ අනුව අද වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් විවිධ ක්ෂේත්‍ර පුරා විහිදුනු සමාගම් 1200 කට අධික ප්‍රමාණයක් සඳහා සත්කාරකත්වය ලබා දෙන බවත්, ඒ අතරින් වැඩිම ඍජු විදේශ ආයෝජන ගලා ඒමක් නිෂ්පාදන අංශය යටතේ සිදුවන බවත් සඳහන් කළාය. එසේම දේපළ සංවර්ධනය සහ දුරකතන සන්නිවේදන අංශය ඉන් අනතුරුව වැඩිම දායකත්වයක් ලබා දී තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.