
- විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8ක් වීමට එය උපකාර වූ බවත් පවසයි
- 2025 දී වාහන ආනයනය සඳහා වැය වුණු මුදල ඩොලර් බිලියන 2ක්
භානුක අමරසිංහ
පසුගිය වසරේදී රට තුළ විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළට මැදිහත් වූ බවත්, අවශ්‍ය වූ විට විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනය සීමා කිරීම සඳහා මැදිහත් වූ බවත් පවසයි.
ඒ අනුව 2025 වසර තුළදී පියවීමේ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ ශුද්ධ මිලදී ගැනීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.1ක් බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ “වෙළෙඳපොළ මෙහෙයුම් වාර්තාව- 2025 දෙසැම්බර්” වාර්තාව තුළ සටහන්ව තිබේ. මෙහිදී වසරේ පළමු අර්ධයේදී මහ බැංකුව ඩොලර් බිලියන 1.1ක් මිලදී ගෙන ඇති අතර, දෙවැනි අර්ධයේදී තවත් ඩොලර් බිලියන 1ක් මිලදී ගෙන තිබේ. මෙම කාලසීමාවේදී මහ බැංකුව සිදුකළ විදේශ විනිමය අලෙවිය ඩොලර් බිලියන 0.11 කි.
“මෙම ඩොලර් බිලියන 2ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළ දළ නිල සංචිත මට්ටම වන ඩොලර් බිලියන 6.8 පවත්වා ගැනීමට උපකාරී විය.” මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් මෙම සංචිතය තුළ චීන මහජන බැංකුව සමග වන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක ගැනුම්-විකුණුම් විනිමය හුවමාරු ගිවිසුම ඇතුළත් වන බවත් මහ බැංකුව සඳහන් කරයි.
2024 අවසන් වන විට ශ්‍රී ලංකාව සතු වූ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් ලෙස සටහන් වූ අතර, 2025 වසරේදී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 2ක් වැය වූ බවත් මහ බැංකු අධිපතිවරයා පසුගියදා සඳහන් කර තිබුණි.
මේ අතර දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම් තත්වයන් පිළිබිඹු කරමින් 2025 වසර තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.6 කින් අවප්‍රමාණය වී තිබේ.
2024 දෙසැම්බර් 31 වැනිදා ඩොලරය රුපියල් 295.58ක් වූ අතර, 2026 ජනවාරි 30 වැනිදා වනවිට එය රුපියල් 309.50ක් මට්ටමට ඉහළ නැග තිබේ. මෙහිදී මහ බැංකුව නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් ඉල්ලුම් සහ සැපයුම් වෙළෙඳපොළ බලවේග මත විනිමය අනුපාතිකය තීරණය විමට ඉඩ සලසා ඇතැයිද පවසයි.
“කෙසේ වෙතත් විනිමය අනුපාතිකයෙහි අධික උච්චාවචන අවම කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී මහ බැංකුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළට මැදිහත්වීම් සිදු කරයි.” යනුවෙන්ද මහ බැංකුව පවසයි.
ඒ හරහා විනිමය අනුපාතිකයෙහි දිශානතියට බලපෑම් කිරීමට අදහස් නොකරන බවත්, එමගින් හුදෙක් මිල ස්ථායිතාව සඳහා බලපෑම් ඇති කරනු ලබන විනිමය අනුපාතිකයෙහි අධික උච්චාචචනය වැළැක්වීම පමණක් සිදු කෙරෙන බවත් මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd