ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


දැරණියගල යටිවල එන්.ජී. ලලිතා රත්නසීලි මැණිකේ මහත්මිය ලියා එවූ කතාවකි. 

අංඟුලිමාල කතාවක්


මේ එක්තරා දෙමළ සොහොයුරන් දෙදෙනෙකි. මොවුන්ගේ ඇඹනියන් සිංහල දෙදෙනෙකි. ගමේ දුප්පත් පවුල්වල අයවන මොවුන් විඳින්නේ අපා දුකකි.  හවසට බී ​ෙගන ඇවිත් ගුටි බැට දෙන එක සැමියන්ගේ සිරිතය. ඒ මදිවාට ළමයිනුත් විශාල ප්‍රමාණයකි. හරියට තරාදි පඩි මෙන්ය.  


අහළ පහළ ගෙවල්වලටත් විසුමක් නැත. අසැබි වචනයෙන් බැණ වැදීම සිරිතය. කැඩුණු සිංහල වචනවලින් බැණ අඬ ගැසීම මොවුන්ගේ සිරිතය. මේ දෙමළ සොයුරන්ගේ ගෙවල් අසල ටියුෂන් මාස්ටර් කෙනෙක් සිටී.  


කාටවත් වරදක් නැති මොහු දැහැමින් දිවි ගෙවයි. ජාතිය දෙමළ වුවත් හොඳ ගුණයහපත් කෙනෙකි. උගන්වන්නේ ඉංග්‍රීසි සහ දෙමළය. ගම්වල සිංහල ළමයි මොහුගෙන් ඉගෙන ගනිති.  


එක දවසක් ඉංග්‍රීසි සර් පංතියට ඇවිත් හරියට කල්පනා කරන්න පටන් ගත්තේය.  


උගන්වන දේකුත් නැත. සර්ට මොකක් හරි ප්‍රශ්නයක් බව අපට තේරුම් ගියේය. එදා පහුවදා අර දෙමළ සහෝදරයෙක් කපා කොටා පාර මැද දමා තිබුණි. ඉංග්‍රීසි සර්ගේ ගෙදරට ගල් ගසා බැණ වැදීම නිසා සර් විසින් මොහු කපා කොටා මරණ ලදී. පොලීසිය ඇවිත් සර් අල්ලා ගෙන යන ලදී.  


සර්ට අයත් ඉඩම් විකුණා නඩු කියා යන්තම් බේරී පසු කලෙක සර් ගමට ආවේය.  


ඉඩකඩනුත් නැති එකේ මොහුට ජීවත්වෙන්ට මාර්ගයක් නැත. නැවතත් ඉංග්‍රීසි පංති දැම්මේය.  


ළමයි, බුද්ධාගමේ නැද්ද? මිනිහෙක් හදිසි කෝපයෙන් මරපුවම සමාව දෙන්න ක්‍රමයක්. ඔහු හැම වෙලේම අපෙන් ඇසීය. තියනවා, තියනවා මම සර්ට අංගුලිමාල කථාව කියා දුනිමි. අනේ ළමයිනේ මට රෑට නින්දයන් නෑ. මම කරපු කපා කෙටිල්ල රෑට හීනෙන් පෙනෙනවා. සර් හැමදාමත් කීවේ ඔය කථාවමය.  


සර් පන්සිල් අරන් නිදාගන්න. කටකාර ළමයෙක් කීවේය. මොනවා කළත් පොඩ්ඩක් නින්ද යනකොට මට අර මනුස්සය මරපු දර්ශනය පේනව ළමයිනේ. සර් කීවේය.  
අනේ ළමයිනේ මොනවා කරත්, මට නින්ද යන් නෑ. මම නිදි පෙති බීලා නිදාගන්නෙ. ඒ වුනාට මගේ පවුකාරකමට හීන ලෝකෙදි මම හරියට බය වෙනව. සර් හැමදාමත් අපට පවසන්න විය.  


පන්සල් යන්න බෝධි පූජා තියන්න සර් එක ළමයෙක් කීවේය.  


කිව්වත් වාගේ සර් හැමදාම බුදුන් වැන්දේය. මල් පහන් පූජා කළේය. ඒ උනාට ඇහැරී සිටින වෙලාවට පමණක් ඒ මානසික සුවය, සර්ට ලැබුණේය. යම්තම් නින්ද යාගෙන එනවිට නිදිලොවේදී අර බියකරු සිහිනය දැක සර් කෑගසාගෙන අවදිවන බව අපට දැනගන්න ලැබුණි. මේ ළඟදී සර් මියගියේය. මියෙන තුරාවට මේ සිහින කරදරය සර්ට වද දුන්නේය.  
දැන් අපි අර අනිත් දෙමළ සහෝදරයාට වූ දෙය බලමු. කථාවේ පහසුවට අපි ඔහුට රාජු යයි කියමු. අයියා මලෝ දෙදෙනාගෙන් මැරුණේ මල්ලීය. රාජු දැන් වෙනදාටත් වැඩියෙන් බොයි. පරුෂ වචන කියයි.  


දිනක් මම ගමනක් ගොසින් එනවිට පාළු ගෙවල් නැති හරියක මූණ වසාගත් දහයක් දොළහක් පමණ පිරිසක් පොලු අර​ෙගන පාරට වී සිටියෝය. වංගුවක් මැද මොවුන් සිටි නිසා මම අනිත් වංගුව දිහා බැලුවෙමි. අර රාජුත් මම යන ගම්මානයට යන්න ඈත වංගුවෙන් එනවා මට පෙනුණි. සිදුවන්නට යනදේ ඉවෙන් මෙන් දැනුණු නිසා මම මදක් පමාවීමි. අතේ තිබුණු බඩු මල්ල බිම තිබ්බෙමි.  


නැන්ද මෙතනින් යන්ඩ හැමෝම මට කියන්නට වූහ. නැන්ද යන්ඩ නැන්ද යන්ඩ කිව්වම අහල යන්ඩ.. හැමෝම මට පෙරැත්ත කරන්ට වූහ. මේ අවුඅස්සේ රාජු මෙතැනට ළඟාවිය.  
ආ රාජු කොහෙද? යන්නෙ? මම වෙනසක් නොපෙන්වා කථා කළෙමි. මැණිකෙ මම ගම්මානෙට යනවා. යමු යමු කෝ දෙන්ඩ බඩු මල්ල.  


ඔහු බඩු මල්ල කරට ගත්තේය. හා... යන් යන් රාජු, මම ඔහුත් කැටුව අපේ ගෙදරට එක්කගෙනවිත් අපේ අම්මාට විස්තරය කීවෙමි. අම්මා ගොස් රාජුගේ පවුලට විස්තරය කියා එක්කාගන ඇවිත් රාජු බාර දුන්නාය.  


පරිස්සමින් ඉඳහල්ල පිටත් වෙනවිට අම්මා කීවාය. සුදු මැණිකෙට පිං මේ කරපු උපකාරෙට. ඔහු දෑත එක්කොට වැඳ පිටපත්විය.  


සතියක් දෙකක් ගතවිය. රාජුට ගහල දාල ලු, හරි අමාරුලු ගම පුරාම ආරංචි විය. මොහු රෝහල් ගත කළත් පලක් නොවීය. කහ උණත් සෑදී ​මොහුට හුඟාක් අමාරු විය. ගුටි කෑ අමාරුවයි, උණ රෝගයයි නිසා රාජු මළේය.  


මරණ ගෙදරට මමත් ගියෙමි. අර එදා ගහපු මිනිස්සු වෙන්ඩ ඇති. ඊට ඉස්සෙල්ල දවසෙත් ඉන්ඩ ඇත්තෙ. නේද මැණි​කෙ. රාජුගෙ පවුල මගේ කණට කෙඳුරුවාය. කටහඬින්වත් අඳුනන්න බැහැ. මම පරණ සිද්ධිය සිහියට නගාගතිමි. මූණ වහල කවුද? මේ අදත් මේ පැනය මගේ සිතේ හොල්මන් කරයි. රාජු අවසන් ගමන් ගියේ රා බී පරුෂ වචන කීම නිසාය.  
ඊට ටික කාලෙකට පසුව ගමේ තුන් හතරදෙනෙක්ම කිතුල් ගස්වලින් වැටී මියඇදුණි. මේ සොබාදහම ගමේ චණ්ඩින්ට දුන් දඬුවමක් විය.  


අංගොඩ, කුඩාබුත්ගමුවේ එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.  

බොරු කේළාම් කියා අනුන් බේද කොට දුක් විපාක ලබයි  


කොළඹට නුදුරින් පිහිටි එම ගම්මානය මින් දශක තුනකට පමණ ඉහතදී පැවතියේ නොදියුණු තත්ත්වයක ය. ජනයා ද එකල එහි බහුල නොවීය. ඒ කවුරුත් සතුටින් සමගියෙන් වාසය කළ අතර සාමකාමී වාතාවරණයක්ද ඇතිවී තිබිණ. එසේ වුවද ඇතැමෙකුගේ අකාරුණික ක්‍රියා කලාපය හේතුවෙන් එතෙක් පැවති එම යහපත් ස්වභාවය වෙනස් වන්නට වැඩි කාලයක් ගත නොවීය.  


​මේ පිළිබඳව අසල්වැසි බොහෝදෙනාගේ දෝෂාරෝපණය වඩාත් එල්ල වූයේ සිසිලිහාමි නමැති කාන්තාවටය. අැය මැදිවියේ පසුවූ අතර දරු සුරතල් බැලීමේ වාසනාව පවා අහිමිව තිබූ තැනැත්තියකි. එනමුදු අසල්වැසි කවරෙකු ​හෝ සතුටින් සිටිනු දැකීම සිසිලිහාමි හට ඉවසුම් නොදෙන කරුණක් විය.  


බොරු කේළාම් කියා ඔවුනොවුන් අතරෙහි බේද ඇතිකරලීම ඇයගේ අභිප්‍රාය වී තිබිණ. එපමණක්ද නොව නිර්දෝෂී පුද්ගලයන්හට අවමන් වන සේ අසත්‍ය කතා පතුරවාලීමට ද සිසිලිහාමි පුරුදුව සිටියා ය. ඒවා බොහොමයක්ම සාවද්‍ය කරුණු බවට පසුව හෙළිදරව්වීම අනුව, එලෙස අවමන් ලද නොයෙක් දෙනා සිසිලිහාමිට තරයේ දොස් පවරන අයුරුද ඇතැම් විට දැකගත හැකිවිය.  


මේ පිළිබඳව පවුලේ අය ද සිසිලිහාමිට නොයෙක් විට අවවාද කළ නමුදු ඊට අවනතවීමට තරම් සංවේදී සිතක් ඈ සතු නොවීය. වරක් සිසිලිහාමිට අයත් නිවසක කල්ගෙවූ ඇගේ ඥාති පුත්‍රයෙකු හදිසියේ විවාහ දිවියට එළැඹුණ අතර බිරිඳ සමග සතුටින් වාසය කළේය. වැඩි කලක් යන්නට මත්තෙන් සිසිලිහාමි එම තැනැත්තිය හා අමනාප වූවාය.  
ඉන් නොනැවතී විවිධ චෝදනා නගමින් නොයෙක් විට ඇයට බැණ වැදීමටද පුරුදුව සිටියාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එකී ඥාති පුතු තම බිරිඳත් කැටුව වෙනත් ස්ථානයක පදිංචියට යාමය. මෙලෙස කාලයක් ගතවූ අතර දිනක් දහවල පවුලේ අයගේ උපදෙස් පවා නොතකා කිසියම් ආහාරයක් පිළියෙල කිරීමෙහි යෙදී සිටියාය. එවිට නොදැනුවත්වම මෙන් ඇඳිවතට ගිනි ඇවිළෙන්නට වූයෙන් ඈ කෑගසමින් දිවයන්නට තැත් කළාය.  


ඒ අවස්ථාවේදී එක්වරම බිම ඇද වැටුණ අතර ඒ දුටු නිවැසියන් ගින්න වහා නිවාදමා සිසිලිහාමි රෝහල වෙත ගෙන යනු ලැබීය. පිළිස්සුම් තුවාල ලැබ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ඇය දැවිල්ල හා කැක්කුම් වේදනා දරාගත නොහැකිව කොතෙකුත් විලාප නඟන්නට වූවාය. ඇතැම් තුවාල මුඛය ආශ්‍රිතවද හටගෙන තිබුණ බැවින් මුහුණේ තරමක විරූපී ස්වභාවයක්ද ඇතිවිය.  


එසේම මුඛය නිසි ලෙස විවර කිරීමද අපහසු කරුණක්ව පැවතින. මෙසේ සතියකට ආසන්න කාලයක් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදුන සිසිලිහාමි දුක්ඛිත විලාශයෙන් රෝහල් ඇඳ මත දීම අවසන් හුස්ම හෙළුවාය.  


අනුන් සතුටින් දිවි ගෙවනු දැක එය ඉවසාගත නොහැකිව බොරු කේළාම් කියා එසේම යම් යම් අපහාස සිදුකොට ඇය සතුටු වුවද එහි දුක් විපාක කල්නොයවාම එලෙස ලැබුණු බව මෙම සිදුවීම අනුව පැහැදිලිවනු නිසැකය.  

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.  

කුකුළකු මෙන් හඬලා මියගිය කුකුළු වෙළෙන්දා

  
ඔහු අපි සෙබස්තියන් යන නමින් හඳුන්වමු. දැනට වසර කිහිපයකට පෙර වයඹ පළාතේ ජීවත්වූ මොහු එවකට තනිකඩයෙකු වූ අතර මුලින්ම කළේ කුකුළු වෙළෙඳාමය. පරණ පාපැදියක පිටුපස විශාල බටපතුරු කූඩයක් බැඳගත් මොහු මුළු ප්‍රදේශයේම සැරිසරා නිවෙස්වලින් කුකුළන් අඩු මුදලකට මිලදීගෙන එකතුකර ලොරි වලින් නාගරික ප්‍රදේශයට ප්‍රවාහනය කරනු ලැබුවේ අධික ලාභයක් තබාගෙනය. ඒ එම ප්‍රදේශයේ ආපනශාලාවලට මස් පිණිසය.  


මෙසේ කාලයක් ගතවෙද්දී තවත් දෙතුන්දෙනෙකුට පරණ පාපැදි හා බටපතුරු කූඩ සපයාදී ඔහු මෙම ජාවාරම ජයටම කරගෙන ගියේ අතමිට සරුසාර කරගනිමිනි. ඒ අතරතුර අනෙකුත් අයද සහභාගි කරවාගෙන තම නිවස පිටුපස දිනකට කුකුළන් සිය ගණනක් මරා මස්කර අවට නිවෙස්වලට හා ප්‍රදේශයේ ආපනශාලාවලට කුකුළු මස් අලෙවි කිරීමද ජයටම කරගෙන ගිය අතර ඔහුගේ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය. මෙලෙස මස් ඇණවුම්කරුවන්ද දිනෙන් දින වැඩිවිය. නිවස ඉදිරිපිට කුකුළු මස් විකිණීමට ඇත යන නාමපුරුවක්ද විය.  


ඉතා දුගී දුප්පත් පවුලක ඉපදී පිට ප්‍රදේශය නිජබිම කොටගත් මොහු බිංගිරිය ප්‍රදේශයට පැමිණ මේ ආකාරයෙන් කුකුළු වෙළෙඳාමෙන් පසුකාලීනව දියුණුවූ අතර ගම් ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන නිවාසයක්ද තනාගෙන විවාහ වී ජීවත්වූ අතර ​ෙමාවුන්ගේ දරුවෝද ලොකු මහත්වී සමාජයට එතරම් හිතකර නොවන පරිදි ජීවත් වූහ.  


අධර්මයෙන්, අකුසලයෙන් ඉක්මන් දියුණුවක් ළඟා කරගත් මොහු ලෝක ස්වභාව දහම අනුව වයසට පත්ව ණයතුරුස් වී තම ඉඩකඩම් ගේදොර විකුණා තම ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේදී දුගී දුප්පත් පැල්පතකට යළිත් ඇද වැටුණු අතර ජීවිතය අවසානයේදී සුව කළ නොහැකි දරුණු රෝගයකින් ඔහු පෙළුණේය. ඔහුගේ දරු මල්ලන්ගෙන්ද ඔහුට කිසිදු හව්හරණක් නොලැබ මහමග ඇවිද ගියේ ඉණට කිසිදු වස්ත්‍රයක්වත් නොමැතිව කුකුළෙකු මෙන් හඬලමින් නිර්වස්ත්‍රවය. අවසානයේ ඉතාමත් ශෝචනීය ලෙස ජීවත්වූ ඔහු මිය පරලොව ගියේ මේ ජීවිතයේදීම කළකම් පළදෙන හැටි අන්‍යයන්ටද පසක් කරවමිනි. මෙය දිට්ඨධම්මවේදනීය කර්මය අනුව සිදුවීමකි. මෙහි නම් මනඃකල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්