ජාත්‍යන්තර කාන්තා දිනයට තව ඇත්තේ දින කීපයකි. දැනටමත් ඒ සඳහා බොහෝ දේ සූදානම් වෙමින් පවතී. පසුගිය වසරේ මාර්තු මස අටවැනිදා ද මෙසේම කාන්තාව වෙනුවෙන් බොහෝ උත්සව ආදිය පැවැත්වූහ. ඇගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළහ. වගකිව යුත්තන්ගේ අවධානය යොමුකරගැනීම සඳහා සාමකාමී උද්ඝෝෂණ ද පැවැත්වූහ. එහෙත් ගෙවී ගිය වසර තුළද ලැබුණු වාර්තාවලට අනුව, පෙර තිබූ තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුවූ බවක් පෙනෙන්නට නැත. කාන්තා අපචාරය ශාරීරික මෙන්ම මානසික හිංසනය ද පෙරටත් වඩා වැඩියෙන් අසන්නට ලැබුණි. ඇතැම් ප්‍රවෘත්ති මාධ්‍යයකට මෙය දැන් හිඟන්නාගේ තුවාලය වී ඇත. ප්‍රශ්නය පිළිබඳව කතාබහ මිස, තවමත් නිසි පිළියම් යෙදී නැති බවකි පෙනී යන්නේ.   


ආසියාවේ සහ මැදපෙරදිග රටවල කාන්තාවගේ සම අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳව හුදී කරුණාවෙන් සටන් වදින ඇතැම් යුරෝපීය රටවල පවා කාන්තා නිදහස, සුරක්ෂිතභාවය, මුළුමනින්ම සහතික කෙරී නැත. උදාහරණ ලෙස බංග්ලාදේශයේ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ සහ ඉන්දියාවේ කාන්තා නිදහස පිළිබඳව මොර දෙන ඉතාලියේ, සෑම දින තුනකටම එක කාන්තාව බැගින් තම සැමියාගෙන් හෝ තම පෙම්වතා අතින් හෝ මැරුම්කයි. සෑම විනාඩි පහකටම වරක් එක් කාන්තාවක් ලිංගික අපචාරයට හෝ මානසික හෝ ශාරීරික හිංසනයට හෝ ලක්වෙයි. කරුණු කාරණා දිනෙන් දින මෙසේ බරපතල වේ නම් එහි අරුත වෙන්නේ ප්‍රශ්නයට මෙතෙක් නිසි පිළියම් යෙදී නැති බවය. මෙයද ජාත්‍යන්තර ප්‍රශ්නයකි. 


දිනෙන් දින වැඩි වැඩියෙන් වාර්තාවෙන කාන්තා අපචාරයට, ශාරීරික හෝ මානසික හිංසනයට, මූලික හේතුව වෙන්නේ කාන්තාවට සම අයිතිවාසිකම් 


වරප්‍රසාදය මුදාහැරීමේදී එයට සමාන්තර ප්‍රතිශතයකින් ගෞරවනීයත්වය මුදා නොහැරීම ය. සම අයිතිවාසිකම් වරප්‍රසාදය යටතේ ගෞරවනීයව ජීවත්වීමේ, රැකියාවක් කිරීමේ, සැරිසැරීමේ සහ ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ඇය සතු විය යුතුය. එහෙත් අද රැකියා ස්ථානයේදී මෙන්ම වෙනත් ස්ථානවලදී ද ලිංගික අල්ලසට ද, ගමනාගමනයේ දී විවිධාකාරයෙන් අපචාරයට ද ලක්වෙන කාන්තාවන් පිළිබඳ වැඩි වැඩියෙන් වාර්තාවේ. අතිකාල රාජකාරියකින් පසුව හෝ රාත්‍රී වැඩමුරය නිමවා බස්රථය හෝ දුම්රිය හෝ පැමිණෙන තුරු සිටින කාන්තාවන් අපචාරයට හෝ හිංසනයට වඩාත් අනාවරණය වූවන් සේ වාර්තාවේ. පොදු ප්‍රවාහන රථ තුළදී විවිධාකාරයෙන් කාන්තාවන් ලිංගික අපචාරයට ලක්වීම සුලබය. මේ සියල්ලේ වරදකරුවා වෙන්නේ විරුද්ධ ලිංගිකයා ය. කාන්තාව වෙත ගෞරවනීයත්වය මුදාහැරිය යුත්තේ පිරිමියාය. 


කාන්තාවට ලැබිය යුතු ගෞරවනීය බව ලබා නොදීම හෝ ගෞරවය හීන කිරීම සඳහා කෙනෙකුන්ට විවිධ කරුණු කාරණා ඉදිරිපත් කළ හැකිය. එහෙත් එක් කාරණාවක් ඉදිරිපිට මේ සියල්ල මුග්ධ ප්‍රළාපයන් ය. කාන්තාව සතු ස්වභාවික මාතෘත්වය ඉදිරිපිට ඇයට එරෙහි සියල්ල හිස් ප්‍රළාපයන් පමණි. ජීවිතයේ ස්වභාවික උල්පත කාන්තාව ය. ඇය නොසිටියා නම් ලොව නිහඬවී බොහෝ කල් ය. ජීවිතය ඉදිරිපිට එයට එරෙහි සියල්ලෝම වැරදිකරුවෝය. 


උපන්දා සිට කරපු පව් නැත. වරක් වැන්දොත් කැලණියේ කියන්නා සේ වසරකට වරක් වැලන්ටයින් දිනයේ හෝ කාන්තා දිනය යෙදෙන මාර්තු අටවැනිදා හෝ ඇයගේ අයිතිවාසිකම් පිළිබඳව කතාකිරීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ ඇයට මල්මිටක් දීමෙන් හෝ පමණක් කාන්තාවට ගෞවරණීය බවක් ලබාදිය නොහැකි ය. එය සෑම මොහොතකම ඇය ලැබිය යුත්තකි. වෙනත් කිසිවක් නොමැතිව වුවද, මාතෘත්වයේ නාමයෙන් පමණක් හෝ කාන්තාව ගෞරවණීයත්වයට ලක්විය යුතුය. ඒ වගකීම පැටවෙන්නේ පිරිමියා පිටය. 
කාන්තා දිනය නිමිත්තෙන් යුරෝපයේ කාන්තාවන්ට තෑගි කරනු ලබන “මිමෝසා” (ACACIA DEALBATA) මල් ඉත්තක් ඡායාරූපයෙන් දැක්වේ. 

 


කල්ප ගුරුගේ. 
මිලානෝ.