ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ. ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්‍ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි. ”මොනවාද කරන්න පුළුවන්.” ‘‘ ඕනෑ දෙයක් පුළුවන්’’ ”ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ ලොරි වගේ ඒවා පදවන්න පුළුවන්ද?” ”ඒව නං බෑනේ” ”කොහොමද අද මෙහෙ එන්න පාර පෑදුණේ.” ”ඇයි අර... තුමා තමයි මට එන්න කිව්වේ.” පසුගිය දිනවල ප‍්‍රබල චරිතයක් වූ දේශපාලකයකුගේ නම ඔහු පැවසුවේ මහත් ආඩම්බරයෙනි. ”එතුමා අඳුනන්නේ කොහොමද?” ”ඇයි සර්.දන්නෙ නැද්ද පසුගිය දවස්වල අපි වැඩ කළේ එතුමාට නේ.” ”එතකොට හදිසියකට මෙහෙ නිලධාරියෙක් එක්ක යන්න වුණොත් මෝටර් රියක් පදවන්න පුළුවනි නේද?” ”ඒවත් බෑනේ” ”එහෙමනම් කාර්යාලයකට පණිවිඩයක් ගෙනියන්න වුණොත් මෝටර් සයිකලෙන් යන්න බැරිද?” ”අයියෝ ඒකත් මට බෑනේ බොස්” ”එහෙනම් මොනවාද පුළුවන්.” ”අනේ මහත්තයා මට ලයිසනුත් නැහැ. ”හොඳයි විස්තර මං ලියා ගත්තා. ඒ මහත්තයා හම්බවෙන්නකෝ.” මෙසේ පිරිස සම්මුඛ පරීක්‍ෂණයට ලක් කළත් කිසිවෙකුගේ මූලික අධ්‍යාපන සහතිකයක් හෝ පරීක්‍ෂා කරනු නොලැබීම විශේෂත්වයක් විය. පිළිවෙළකට ඇඳ පැළඳගත් තරුණයකුගේ වාරය උදාවිය. වෘත්තිය සුදුසුකම් මොනවාද පරීක්‍ෂණ නිලධාරියා විමසීය. පාප්ප ගාන්න, පෝස්ටර් අලවන්න හොඳට පුළුවන්. තව තවත් ඒවාත්  ඕන්නම් මට පුළුවන්. තරුණයා කීය. මොකද ඔය සාක්කුව අල්ලගෙනම ඉන්නේ? තවත් පැනයක් පරීක්‍ෂක නිලධාරියාගෙනි. ටයි එක සාක්කුවේ ඒත් ගැටේ ගහගන්න දන්නේ නෑ. එහෙනම් ගෙනාවේ? ජොබ් එක ලැබුණොත් කොහමහරි දාගන්න. සම්මුඛ පරීක්‍ෂණය අතරමග නිමා කළ නිලධාරියා එය මෙහෙයවූ බලවන්තයා හමුවිය. ‘‘මුන් අතරේ වැඩ කරන්න පුළුවන් එකෙක්වත් නැහැ”යි වාර්තා කෙළේය. එහෙම කියලා බෑ. මුන්ට මොනවා හරි කරන්න වේවියි බලවතා කීවේය.