කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



හොඳටම බීලා ත්‍රිරෝද රථ රියදුරුට අපූරු කුලියක් ගෙවූ සුපිරි මහත්මයකු ගැන කතා බහක් මේ දිනවල සංසරණය වන්නේ දකුණු පළාතේ ගාලු‍ දිසාවේ ගමකිනි.
රජයට පක්ෂපාතීව වැඩ කරන කෙනෙකි. කෙටියෙන්ම දෙසාබෑවහොත් රාජ්‍ය සේවකයෙකි. බේබද්දෙකු නොවුණත් අඩි පුඩි ගහන මැදි වයසේ කෙනෙකි. හැමදාම නොවුණත් සතියට දින දෙක තුනක්වත් අඩියට පුඩියට මිල මුදල් පූජා කිරීම දැන් ඔහුට පුරුද්දකට ගොස් මෙනි.පිනට අඩිපුඩි ලැබේනම් සතියෙම වුණත් මිනිහා සූදානම්ය.
ගම සිට නගරයේ ඇති ආයතනයට යනුයේ ඔහුගේ යතුරු පැදියෙනි. එසේ ගොස් අඩියක් පුඩියක් ගසා යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී පොලෝසියට මාට්ටුවී රුපියල් විසිපන්දහසේ දඩයකට යටත්වූයේ මේ මෑතකදීය. එහෙයින් දැන් දැන් හවසට වැඩ ඇරී අඩියක් පුඩියක් ගැසුවහොත් අඩිපුඩි ගහන විලා එකේ යතුරු පැදිය දමා හැන්දෑ යාමයේ නිවසට එනුයේ එක්කෝ බසයෙනි. බසය නැති දවසක හෝ බසයේ අන්තිම ගමන් වාරය ගමන් කල තිබුණෝතින් නිවසට එනුයේ මිතුරෙකුගේ යතුරු පැදියකිනි. නැත්නම් කුලී ත්‍රිරෝද රථයකිනි.


එදා වැඩ ඇරුණු මිනිහට අඩියක් පුඩියක් ගැසීමට පිනා චාන්ස් එකක් ලැබුණේය. ඒ මිතුරු පිරිසකගේ ආරාධනාවකට අනුවය. කට්ටියම නගර මධ්‍යයේ ඇති විලා එකකට ගියහ. එක බෝතලය දෙක දෙක වීමට වැඩි කාලයක් ගතනොවීය.ඊට සමගාමීව බිම් කළුවර වැඩිවෙමින් තිබුණේය. අඩිපුඩි ගැසීම නතර විය.
දැන් උදාවූවේ සෙට්වූ අය නිවෙස් කරා යාමය. එක එක්කෙනා එක එක විදියට ගියේය.කතා නායකයා සිය යතුරු පැදිය නගරයේ විලා එකේ දමා වැනි වැනී පාරට ගියේ නිවසට යාමට ඇති අන්තිම බසය අල්ලා ගැනීමේ අරමුණ ඇතිවය. දෙවියන්ට ඔප්පුවෙච්චාවේ කියන්නාසේ අන්තිම බසයද ගොස් හමාරය. ඊට පසු තිබුණේ එකම එක විසඳුමකි.ඒ කුලී ත්‍රිරෝද රථයක යාමය.දිනය තුළදී සන්තෝෂම් දෙක තුනක් වැදී තිබු බැවින් ත්‍රිරෝද රථ ගාස්තුව ගෙවීම ප්‍රශ්නයක් නොවීය. 
ගතවූවේ ටික වෙලාවකි. ඔහුගේ හස්ත සංඥාව මත ත්‍රිරෝද රථයක් නතර කෙරිණ.යන්න ඕන ස්ථානය ත්‍රිරෝද රියදුරු ඔහුගෙන් ඇසීය. යායුතු ස්ථානයේ දුර සහ රාත්‍රිය ප්‍රයෝජනයට ගෙන ත්‍රිරෝද රථ රියදුරු ඔහුට ගානක් කීවේය.ගාන රුපියල් දහසකි. දෙන්නාම එකඟය. රුපියල් දාහක් ගියාම මොකෝ බීලා යතුරු පැදියෙන් යන කොට පොලෝසියෙන් අල්ල ගත්තොත් දඩය විසිපන්දාහයි ලෝයර්ට පන්දාහයි.ඔක්කෝම තිස් දහසයි. යම් මල්ලී ඔයත් එක්ක යනකොට මට විසිනව දහසක් ලාබනේ කියමින් ඔහු ත්‍රිරෝද රථයට ගොඩවිය.
ත්‍රිරෝද රථයට ගොඩවූ ඔහු විනාඩියට දෙකට දැන් දොයිය. නිසි තැනට පැමිණි ත්‍රිරෝද රථ රියදුරු ඔහු කූද්දා බසින ලෙස කීවේය හා මල්ලී ගාන දාහයිනේ කියමින් මුදල් පසුම්බිය ගෙන කළුවරේම අතපත ගා ආ මල්ලී මේන් ගන්න පන්සීයේ කොළ දෙක කියමින් වැනි වැනී නිවස දෙසට ගියේය.ත්‍රිරෝද මල්ලී අයියා දුන්නු පන්සීයේ කොළ දැක ත්‍රිරෝද රථයේ විදුලි පහන් එළියෙන් බලා එතනින් ගියා නොව ඉගිලු‍නේය.
දවස නිමාවිය. අලු‍ත් දවසකට ඉර පෑව්වේය. මිනිහා නැගිට්ටේ වැඩට යන්නය. ඒ සඳහා හරිබැරි ගැසුණේය. මුදල් පසුම්බිය ගෙන කලිසම් සාක්කුවේ පිටුපස දමා ගැනීමට පෙර පෙර දිනවලදී මෙන් එහි ඇති මුදල ගැන විපරමක් කළේය. දෙවියන්ට ඔප්පු වෙච්චාවේ මුදල් පසුම්බියේ පන්සීයේ කොළ අතර තිබූ පන්දහසේ කොළ දෙක අන්තරස්දාන වී තිබේ. එයට හේතුව ඔහුගේ හිතට විනාඩියට දෙකට ආවේය.එවිට වෙන්න ඕන දේ සිදුවී හමාරය.