දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ සිට කොළඹ පංචිකාවත්තට කුලී ගමනක් ගිය ති‍්‍රරෝද රථ රියැදුරකුට සිදුවූ අකරතැබ්බයකි.
පසුගිය දිනෙක දිවුලපිටිය පරණ හන්දිය ප‍්‍රදේශයේ මෝටර් රථ අලූත්වැඩියා කරන ගරාජයක් අසල සිට තරුණයෙක් පාරේ යන එන ති‍්‍රරෝදවලට කුලී ගමනක් යාමට විමසමින් සිටියේය.
ඔහු හුරුබුහුටි තරුණයකු වුවත් ඔහු සමග පංචිකාවත්තට යාමට කිසිවකු එකඟ වූයේ නැත.
මේ අතර සම වයස් තරුණයකු ති‍්‍රරෝද රථයකින් පැමිණි අතර ඔහු පංචිකාවතු ගමනට එකඟ විය. රුපියල් දෙදහසක ගමන රුපියල් එක්දහස් අටසීයකට යාමට ති‍්‍රරෝද රථකරු කැමති විය.
ති‍්‍රරෝද රථය පරණ හන්දියේ ගරාජය අසල සිට පංචිකාවත්ත බලා පිටත්විය.
අතරමගදී දෙදෙනා ඉතාම කුළුපග වූ අතර ඔවුන් කතා නොකළ දෙයක් නැත.
මේ අතර පංචිකාවත්තට යන තරුණයා ති‍්‍රරෝද රථ රියැදුරුට යළි කතා කළේය.
”මචං මට ෆෝන් එක ගේන්න බැරිවෙලා. පෝන් එක නැද්ද උඹ ළඟ...”
”මෙන්න ෆෝන් එක කෝල් එකක් ගන්න...”
ති‍්‍රරෝද රථ රියැදුරුගේ ජංගම දුරකථනයෙන් තරුණයා කථා කරන්නට විය.
”මාමෙ කා එක ගැරේජ් එකකට දැම්මා. මම වීල් එකක් අරගෙන එන්නෙ. මට ආපු ගමන් යන්න පන්දහක් ලෑස්ති කරල තියන්න.”
ති‍්‍රරෝද රථ රියැදුරුට දුරකථනය ආපසු දුන් තරුණයා යළි රියැදුරු ඇමතීය.
”මචං රුපියල් පන්සීයක් නැද්ද? මම කොළඹ දී දාහක්ම දෙන්නම්”
ති‍්‍රරෝද රථ රියැදුරු ඔහුට රුපියල් පන්සීයක් දුන්නේය.
”මචං පංචිකාවත්තෙ දි උඹට රුපියල් දෙදාස් අටසීයක්ම දෙනව. මාම සල්ලි ලෑස්ති කරල ඇති.”
”ගන්ඩ බැරියැ” ති‍්‍රරෝද රථ රියැදුරා ද මිතුදමින් වෙලී කතා කළේය.
දෙදෙනාම අල්ලාප සල්ලාපයෙන් කොළඹ පංචිකාවත්තට ති‍්‍රරෝද රථයෙන් ළඟා වූහ.
”ඉස්සරහ කඬේ ළඟ නවත්තන්න” ති‍්‍රරෝද රිය නතර විය.
තරුණයා ති‍්‍රරෝද රියෙන් බැස එහි සිටියකුගෙන් ”අපේ මාම ආවා ද?” කියා ඇසීය.
ඔහුට ලැබුණු පිළිතුර ති‍්‍රරෝද රථ රියැදුරුට නොඇසුණි.
”අර ඉස්සරහ කඬේ ළඟට යමු” ති‍්‍රරෝද රථය එතැන නැවතුණේය.
”ෆෝන් එක ටිකක් දෙනවද? ඔයා ඔහොම තත්ත්පරයක් ඉන්න මම අර වංගුවෙ කඬේට ගිහින් එනකං”
තරුණයා ජංගම දුරකතනය ද රැගෙන වංගුවෙ කඬේ ළඟින් නොපෙනී ගියේය.
ති‍්‍රරෝද රථ රියැදුරා ඔහු එනතුරු බලා සිටියේය. ජංගම දුරකථනයත් අතේ තිබුණ රුපියල් පන්සීයත් කුලී ගමනේ ගාස්තුවත් රැුගෙන මිතුරා ආපසු එනතුරු ඔහු බලා සිටියේය.
අන්තිමේදී වංගුවේ කඩය ළඟට ගොස් විපරම් කළ ද අලූත් මිතුරා ආගියඅතක් නැත.
ඔහු ති‍්‍රරෝද රථය ආපසු හරවා ගෙන දිවුලපිටියට ආවේ හිස් අතිනි.