අලූතින් ඉදිවන ගොඩනැගිල්ලක සේවය කරන තරුණයන් කිහිප දෙනෙකි. ඔවුනට ආහාර සැපයුම්කරුවකු විසින් ආහාර සපයනු ලැබිණි. ඔහු නිරතුරුවම පැවසුවේ තමා අන් අයට වඩා පිරිසුදුවට ආහාර සපයන බවයි. එසේ වුවත් පසුගිය දිනෙක ආහාර පැකට්ටුවක පණුවෙක් දක්නට ලැබිණි. වහාම ඔහුට ඇමතුමක් දුන් තරුණයෙක් ‘‘බලන්න අන්කල් බත් එකේ පණුවෙක්නේ කොහොමද මේවා කන්නේ? යනුවෙන් විමසීය. ”ඒක වෙන්න බැහැ මල්ලී මම දවසකට කෑම තුන්සීයකට වැඩියෙන් බෙදනවා. කිසිම කෙනෙක් දොසක් කියලා නැහැ’’ ඔහු පිළිතුරු දෙමින් කීය.
”එන්නකෝ පෙන්වන්න” තරුණයා පැවසූ විට සැපයුම්කරු එතැනට පැමිණි අතර තරුණයා බත් පතේ සිටි පණුවා පෙන්වීය. පණුවා අතට ගත් සැපයුම්කරු පණුවා පොඩිකර ‘මේක බත් ඇටයක්’’ යැයි පවසමින් විසිකර දැමීය. පසුව හෙතෙම ‘‘අපේ ඇඟේ කොච්චර පණුවෝ ඉන්නවාද දැන් ලෝක සෞඛ්‍යය සංවිධානයෙනුත් කියන්නේ පණුවෝ කැරපොත්තෝ කෑවට කමක් නැහැ කියලා. බත් එකේ පණුවෙක් හිටියානම් අයින් කරලා කන්න එපායැ”. ඔහු පැවසීය. තරුණයා ද නිකන් හිටියේ නැත.
‘‘කැරපොත්තෝ, පණුවෝ ජපානේ, චීනේනම් කනවා ඇති. මේක ශ්‍රී ලංකාව. පණුවෙක්, කැරපොත්තෙක් බත් එකේ හිටියොත් උසාවි ගිහිල්ලා තමයි නවතින්නේ’’ යැයි කීය. එවිට ආහාර සැපයුම්කරු ‘‘වම්බටු ගෙඩියක, බණ්ඩක්කා කරලක පණුවෝ ඉන්නවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. අනෙක පණුවෙක් කැවුණා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහැනේ. යනුවෙන් පැවසීය. ‘හරි හරි අංකල් ආයේ කෑම එකේ මොකෙක් හරි හිටියොත් මම කෑම එක අරගෙන පොලිසියට යනවා’ තරුණයා පැවසූවිට ආහාර සැපයුම්කරු පිටව ගියේය.