පාර අයිනේ සිටි වෙළෙන්දෙකුගෙන් පැණි කොමඩු ගෙඩියක් මිලට ගෙන එයද පසුපස අසුනේ තබාගත් ත‍්‍රිරෝද රථ රියැදුරෙක් නගරයේ ත‍්‍රිරෝද රථවලට පැමිණියේය. ඔහුට ඒ ගමන්ම ගමන් වාරයක් පැමිණියේ තරුණ යුවළක් රැගෙන යාමටය. ති‍්‍රරෝද රියට නැගී තරුණ යුවළ ගමන යන අතරේ රියැදුරු දෙස හොරෙන් බලමින් පැණි කොමඩුවද ගමන් මල්ලට ඔබා ගත්හ. රියැදුරු කිසිත් නොදොඩා ඔවුන්ට ඇවැසි තැන දක්වාම ගොස් ත‍්‍රිරෝද රිය නතර කළේය. තරුණ යුවළ ති‍්‍රරෝද රියෙන් බැස ගාස්තුව ගැන විමසූහ. ”රුපියල් තුන්සීයයි’’ රියැදුරු ඇඟට පතට නොදැනී පැවසීය. ”වෙන අය රුපියල් දෙසීයයිනෙ ගන්නෙ’’ තරුණිය බිම බලාගෙන කීවාය. ‘‘හරි නෝනා.... ගමනට දෙසීය හරි... අර මම ගෙදර ගෙනියන්න ගත්ත කොමඩු ගෙඩියට සීයයි එතකොට තුන්සීයයි’’ තරුණයා කිසිත් නොදොඩා රුපියල් තුන්සීය ගෙවා වහා නිවස දෙසට පිය නැගීය. තරුණියද කරබාගෙන ඔහු පසුපස ගියේය.