තුරු ලතා සොයා නිරන්තර පැමිණෙන විවිධ වර්ගයේ නේකවර්ණ සමනළුන් නෙතට සොඳුරු දසුනකි.


කුඩා වපසරියකින් යුතු මේ ගෙවත්තේ සෑම දිනකම සමනළුන් වර්ග 20-30ක් පමණ දැකීම අපහසු නැත. එය සැබැවින්ම සමනළ උයනක් වැනිය. 


මේ නිවස පිහිටා ඇත්තේ ගාල්ලේ හබරාදුව හැඩිවත්තේය. 


තවමත් 16 වැනි වියෙහි පසුවන පාසල් සිසුවකුගේ අපූරු ක්‍රියාවක් හේතුවෙන් මේ ගෙවත්ත සමනළ උයනක් වී ඇත. වඩාත් පුදුමය වන්නේ මේ සිසුවාගේ කාමරයේ ස්වරූපයයි. 


ඔහුගේ ඇඳ විට්‍ටමේත්, පුටුවේ, මේසයේ, බිත්තියේ, උළුවස්සේ පමණක් නොව ඔහුගේ පාඩම් පොත්වල ද සමනළ කෝෂ එල්ලී තිබේ. ඒවායින් පිටවන සමනළුන් මොහොතක් කාමරයේ කැරකෙමින් සිට නික්මයති. 
“මම දැන් අවුරුදු 02ක විතර ඉඳලා සමනළයින් හදනවා. දැනට මම සමනළයන් 2000ක් විතර ස්වභාවික පරිසරයට මුදා හැරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය පරිසරයක් මගේ ගේ වටේ හදල තියෙන්නේ. ඉතින් එයාලා ඇවිත් අපේ ගේ වටේට බිත්තර දානවා. ඒ වගේම විවිධ පණුවන් දැක්කම මම එයාලව අරගෙන ඇවිත් අවශ්‍ය කොළ වර්ග කන්න දීලා ඇති කරනවා. ටික දවසකින් එයාලා සමනලු‍න් බවට පත්වෙලා පරිසරයට නිදහස සොයාගෙන යනවා.” යැයි මේ සිසුවා අප සමඟ කීවේය. 


ඔහු නමින් අනූප ඉන්දුමය. 


නැව් සේවකයකු වන හල්ලොලු‍වගේ සරත් (48) මහතාගේ සහ එල්.ජී. චන්දිමා දමයන්ති මහත්මියගේ පවුලේ වැඩිමල් දරුවා වන අනූප 2005 මැයි මස 29 වැනි දා මෙළොව එළිය දුටුවේය. කුඩා කාලයේ පටන් ගහ කොළ සතා සීපාවා කෙරෙහි අමුතුම ආශාවක් දැක්වූ අනූපට යෝද ශක්තියක් වී සිටින්නේ ඔහුගේම සහෝදරයා වන අවිඳු ඉඳුවරය. ඔහු තවමත් 12 වැනි වියේ පසුවෙයි. 


අනූප අහංගම රෝහණ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර මල්ලී අවිඳු කතළුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. මේ දෙදෙනාගේ ලෝකය සම්පූර්ණයෙන් ම බැඳී පවතින්නේ සමනලුන් හා කුරුල්ලන් යන සතුන් සමගිනි. 

 


“පුතා පුංචිකාලේ ගේ ඉස්සරහ ගහක කොණ්ඩ කුරුල්ලන්ගේ කූඩුවක් තිබුණා. මෙයා ඒක ගැන ලොකු උනන්දුවක් දැක්වුව. එතකොට එයාට වයස අවුරුදු දෙකක් විතර ඇති. එයා ඒ කාලේ ඉඳලම කුරුල්ලන් ගැන උනන්දුයි. කාලෙකට පස්සේ මෙයා කුරුල්ලන්ව වෙන වෙනම අඳුන ගන්න පුරුදු වුණා. අපිනම් දන්නේ එක උකුස්සයි. නමුත් මෙයා උකුස්සෙක් දැක්කම කියනවා ඒ බ්‍රාහ්මණ උකුස්සෙක්, ඒ කොණ්ඩ රාජාලියෙක් ඔහොම කියලා. අපි ඉතින් ඕව දන්නේ නැහැ. නමුත් මෙයාට සත්තු ගැන විශේෂ උනන්දුවක් තියෙන බවත් වෙනස් දැනුමක් තිබෙන බවත් තේරුම් ගත්තා.” 


අනූප සතුන් කෙරෙහි දැක්වූ අසීමිත ආදරය කුරුල්ලන් නිරීක්ෂණයට වඩා බොහෝ දුර ගියේය. අනතුරට පත්වන කුරුල්ලන් ගෙනවිත් සුව කිරීමට වෙහෙසුණු ඔහු විටෙක කිරිල්ලිය අනතුරට පත්වීමෙන් ආරක්ෂාවක් ‍නැතිවන බිත්තර ගෙනවිත් රක්කවා පැටවුන් බිහිකිරීමටත් ඒ පැටව් පෝෂණය කර දැඩි කිරීමටත් කටයුතු කළේය. 


අනූපගේ පියා නැවක සේවය කළ ද ඔහුට අපූරු හැකියාවක් තිබිණි. ඒ ඕනෑම දෙයක් සිතුවම් කිරීමේ කුසලතාවයි. චිත්‍ර ශිල්පය විධිමත්ව ප්‍රගුණ කර නැතත් ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. මේ අපූරු හැකියාව ඔහුගේ පුතු අනූපට ද අපූරුවට පිහිටා තිබිණි. 


තමන් දකින කුරුල්ලන් පමණක් නොව ඔවුන්ගේ කැදලි හා බිත්තර පවා සිතුවම් කිරීමට අනූපගේ මේ හැකියාව ඔහු පෙළඹවීය. එහි ප්‍රතිඵලය වූයේ අනූපගේ කාමරයේ බිත්ති කුරුල්ලන්ගේ සිතුවම්වලින් පිරී යාමයි. බිත්තිය පුරා ඇත්තේ අනූප ඇඳි සිතුවම්ය. කුරුල්ලාත්, කිරිල්ලියත් නිවැරදිව වර්ණ ගන්වා ඔවුන්ගේ ප්‍රමාණ පමණක් නොව කැදැල්ලේ හැඩයත් බිත්තරයේ හැඩය සහ වර්ණය මෙන්ම ප්‍රමාණයත් ඔහු ඒ සිතුවම්වල ලියා තිබේ. මෙය සැබැවින්ම විද්‍යාත්මක දත්ත එකතුවකි. 


දැන් ඔහුගේ සිත යොමුව ඇත්තේ වැඩිපුරම සමනළුන් කෙරෙහිය. 


“මට හදිසියේම ඉස්කෝලෙදි සමනළුන් ‍ගැන පොතක් ලැබුණා. මේ පොත ගෙනවිත් එක දවසින් කියවලා පසුවදා පාසලට ගෙනිහින් දුන්නා. ඊට පස්සේ දළඹුවෙක් අරගෙන ඇවිත් කොළ කන්න දිදී තියාගෙන හිටියට එයා සමනළයෙක් වුණේ නෑ, ඊට පස්සේ අර පොතම නැවත අරගෙන ඇවිත් සමනළයන් හැදෙන දළඹුවන් ගැන හොයලා ඒ අය එකතු කළා. මම මේ වැඩේ පටන් ගත්තේ 2019 දී.” 

 


තම සහෝදරයා සමඟ පාසල් යන එන විට පවා අවට ඇති ගස්වැල් ගැන නිරීක්ෂණය කරන ඔහු ඒවායේ සිටින දළඹුවන් නිවසට රැගෙන එන්නේ ඒ ගස්වැල්වල අතු කිනිති කිහිපයක් ද සමගිනි. තම කාමරයේ ම ඒ දළඹුවන් පෝෂණය කරන අනූප සහ අවිඳු මේ දළඹුවන් පසුව සාදන කෝෂ පවා නිරීක්ෂණය කරයි. කෝෂයකින් සමනලයකු පිටවන තුරු ඒ ගැන විමසිල්ලෙන් පසුවන ඔහු සමනලයා පරිසරයට මුදා හරින්නේ මහත් සතුටකිනි. 


දළඹුවන් සිටින ශාක හඳුනාගත් ඔහු එවැනි ශාකවල ඇති සමනළ බිත්තර එකතුකිරීම කරයි. මේ සමනල බිත්තරයකින් දළඹුවකු පිටවූ පසු කෝෂයක් සෑදීම දක්වා ගතවන කාලය පියවරෙන් පියවර අධ්‍යයනය කර ඇති අනූප කෝෂය සාදාගත් පසු ඉන් සමනළයකු පිටවන මොහොත දක්වාම නිරීක්ෂණ කර තිබේ. 
දැන් ඔහු තමන් විසින්ම පරිසරය අධ්‍යයනය කර අපූරු විද්‍යාඥයකු බවට පත්ව සිටියි. 


තම පියාගේ කුඩා ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිස සහෝදරයා ද සමඟ එක්වී සමනළුන්ගේ විද්‍යාත්මක නම් අධ්‍යයනය කළ අනූප ඒ නම් ද මතක තබාගෙන සිටියි. 


“මායි මල්ලියි ඉස්කෝලෙ යන එන අතරමග දී සමනළුන් වර්ග ගැන හොයනවා. ඒ අය බිත්තර දාන ගස් වර්ග සොයනවා. ඇතැම් අවස්ථාවල දී බිත්තර, දළඹුවන්, ‍කෝෂ ගෙදර අරන් ඇවිල්ලා සමනළුන් හැදුනාම නිදහස් කරනවා. මේ කිට්ටුව කැලෑ මණ්ඩියක් තියෙනවා. ඒ අවට ගිහින් තොරතුරු හොයනවා. ඉඩ ලැබෙන හැමවෙලාවකම මේ දේවල් තමයි කරන්නේ.” 


ඔහු පවසන්නේ මේ වනවිට හබරාදුව, කොග්ගල, අහංගම යන තම අධ්‍යයනයට ලක්වූ ප්‍රදේශවල සමනළ විශේෂ 38ක් දක්නට ලැබුණු බවයි. ඒ සෑම විශේෂයක ම තොරතුරු ඔහු එක්රැස්කරගෙන සිටියි. මේ කුඩා විද්‍යාඥයා දැන් ඒ තොරතුරු පොතකට එකතුකර තිබේ. සමනළයාගේ විද්‍යාත්මක නම, හැසිරීම් රටාව, පැණි උරාබොන මල් වර්ග, බිත්තර දමන ශාක වර්ගය පවා එහි සටහන් කර ඇත. එමෙන්ම ඔහු තම නිසඟ කුසලතාව භාවිතා කරමින් සමනළයාගේ සිතුවම පමණක් නොව දළඹුවාගේ සිතුවමක් ද කෝෂයේ සිතුවමක් ද ඇඳ තිබේ. මෙය ඔහුගේ අතින්ම නිර්මාණය වූ අපූරු පර්​ෙ‌ය්ෂණ කෘතියකි. 


සෑම දිනකම සමනළුන් 25-40ත් අතර ප්‍රමාණයකට උපත ලබාදෙන අනූපගේ කාමරය සමනල උයනක සිරි ගනී. කුරුල්ලන්ගේ සිතුවම්වලට අමතරව දැන් බිත්තියට සමනලු‍න්ගේ සිතුවම් ද එකතු වී තිබේ. 
ඔහුගේ ඇඳ වටාම දළඹුවන් සහ සමනල කෝෂ සහිත විවිධ පැලෑටි වර්ගය. නිවස වටාම ඇත්තේ සමනළුන්ට බිත්තර දැමීමට අවශ්‍ය ශාක වර්ගය. 


අනූපගේ මව චන්දිමා දමයන්ති මහත්මිය මෙසේ කීවාය. 


“මෙයාගේ ලෝකය තනිකරම සමනළුන්. අපිට බය තියෙන්නේ පාසල්වැඩ අතපසු කරගනීද කියලා. මල්ලිත් එක්ක එකතුවෙලා සත්තු ගැනම හොයනවා. ඉන්ටර්නෙට් එකෙත් ඒවා ගැන හොයන එක තමයි කරන්නේ. පාසලේ ගුරුවරුන්ටවත් පුතා මේ ගැන කියලා නැහැ. නමුත් අපිට හිතෙනවා මෙයාට මේ පැත්තෙන් ඉස්සරහට යන්න උදව් කරන්න ඕනැ කියලා. මොනවා වුණත් ඉතින් පාසල් අධ්‍යාපනය හරියට කරන්න ඕනේ.” 

 


ඔහුගේ පන්තියේ භානුක නම් මිතුරකු ද මේ සඳහා සහාය වෙයි. ඊට අමතරව ඥාති සහෝදර සහෝදරියන් සහ අසල්වැසි දරුවන් කිහිප දෙනකු ද ඔහු සමඟ මේ කාර්යයට එක්ව සිටියි. 


“පරිසර විනාශය නිසා සමනළුන්ට තමන්ගේ වාසස්ථාන නැතිවෙලා ඒ අය විනාශ වෙලා යනවා. අපේ නිවස ආසන්නයේ පොල් වත්තක පැණි තෝර ගස් ගොඩක් තිබුණා. මේ පැණි තෝර ගස්වල සමනල්ලු‍ බිත්තර දානවා. ඒ නිසා එතැන නිතරම සමනලයො ඉන්නවා. නමුත් පසුගිය දිනවල ඒ පැණිතෝර ගස් කැපුවා. මම ඒ කෙනාට කිව්වා මේ ගස්වල සමනලු‍න් බිත්තර දාන නිසා කපන්න එපා කියලා. ඒත් ඒ ගස් දැන් නැහැ. දැන් එතන සමනලයොත් නැහැ. මට ඕන මේ පරිසරය බේරාගන්න. මේ සමනල ලෝකය ආරක්ෂා කරන්න.” 
ඔහු පවසන්නේ සත්ත්ව විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂකයකු ලෙස අනාගතයේ රටට ලෝකයට සේවය කිරීම තම අපේක්ෂාව බවයි. ඒ සඳහා පාසල් සිසුවකුව සිටියදීම උනන්දුවක් දක්වන ඔහුට මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැලපේ ද යන්න අප දන්නේ නැත. 


නැවක සේවය කළ ද මේ වනවිට රැකියාවක් නොමැතිව සිටින සරත් මහතා තම පුතු වෙනුවෙන් කැමරාවක් මිල දී ගෙන ඇතත්, එය මෙවැනි පර්​ෙ‌ය්ෂණ කාර්යයකට සුදුසු කැමරාවක් නොවේ. ඔවුන්ගේ නිවසේ තවමත් පරිගණකයක් නැත. සිය සත්ත්ව විද්‍යාත්මක අධ්‍යයනය වෙනුවෙන් අන්තර්ජාලයට මේ පුතුන් දෙදෙනා පිවිසෙන්නේ සිය පියාගේ ජංගම දුරකථනයෙනි. 


ඔහුට නිසි මඟ පෙන්වීමක් ලැබු‍ණහොත් ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම වටිනා පර්​ෙ‌ය්ෂකයකු බිහිවනු නොඅනුමානය. 

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර