සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙහි නියැළුණු බොහෝ දෙනෙකු ගුරුවෘත්තියෙහි යෙදුණේ - ඊට සමාජ සම්මත පිළිගැනීමක් පැවතීමත්, සිය කලා කටයුතු කරගෙන යාමට අවශ්‍ය නිදහස හා අවකාශය සෙසු වෘත්තීන්ට සාපේක්ෂව එහි පැතීමත් නිසා යැයි සිතිය හැකිය. 

කලාව ද තම දක්ෂතාවලින් සුපෝෂණය කරමින්, ගුරු භූමිකාවේ අප්‍රමාණ වගකීම් සමුදායක් ඉටුකරමින්, ක්‍රියා කළ එවන් පිරිස් අතරේ ඇයට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනු නිසැකය. රංගන ශිල්පිනියක ලෙස කලාවේ වැජඹෙමින් තිස්පස් වසරක් පුරා දැයේ දූ දරුවන් රැසකගේ ඇස් පෑදීමට ද දායක වූ ඇය සුභාෂිණී හෙට්ටිආරච්චි ය.

සුභාෂිණී හෙට්ටිආරච්චිගේ පියාගේ ගම ගාලු දිසාවේ ඉඳුරුව ය. මව ඇහැළියගොඩ ය. පියා විදුහල්පතිවරයකු ද මව ගුරුවරියකද වූ බැවින් එම දෙදෙනාගේ ස්ථාන මාරුවීම් සමග ලංකාවේ සෑම හතර දිග්බාගයකම පදිංචියට ගොස් අන්තිමට සුභාෂිණීලා නැවතුණේ කැලණියේ ය. ඒ නිසා අදටත් ඇය සිය ගම ලෙස සලකන්නේ කැලණියයි. සහෝදරියන් දෙදෙනකුගේත් සහෝදරයන් දෙදෙනකුගේත් ආදරය රැකවරණය මැද හැදීවැඩුණු ඇයගේ වැඩිමහල් සොයුරිය වන්නේ පරිපාලන ක්ෂේත්‍රයෙහි මෙන්ම කලාව සාහිත්‍යය තුළද ජනාදරයට පත් කවුරුත් දැන හඳුනන ජයන්තා රුක්මණී සිරිවර්ධන ය.

“මගේ ළමා කාලය ගෙවුණෙම ගුරුනිවාස වල තමයි. අම්මටයි තාත්තටයි ස්ථාන මාරු ලැබෙන හැම තැනකටම අපවත් අරගෙන ගියා. අපි පුංචි කාලෙ ඉඳන්ම දැක්කෙ ගුරුවරුන් අතර තිබුණු සහසම්බන්ධය. ඉස්සර සිංහල අවුරුදු කාලෙට වගේම අනෙක් හැම කටයුත්තකදීම ගුරුවරුන් අපේ ගෙදරට එනවා - අම්මට තාත්තට බුලත් දෙන්න. අපිත් අපේ ළමා වියේදීම මේ දේවල් වලට ඉබේටම පුරුදු පුහුණු වුණා. ඇත්තටම පසු කාලීනව ඒ දේවල් තමයි අපේ ජීවිත සාර්ථක වෙන්න බලපෑවේ.”

සුභාෂිණී මූලික අධ්‍යාපනය ලබන්නේ බෙන්තොට ගාමිණී මහා විදුහලෙනි. පසුව කැලණිය ප්‍රදේශයේ පදිංචියට යාමෙන් පසු ශාන්ත පාවුළු බාලිකාවෙන්ද, ධර්මාලෝක මහා විදුහලෙන්ද, ඇය අධ්‍යාපනය ලැබුවාය. කලාවට මහත් කැමැත්තක් දැක්වූව ද, ඇය උසස්පෙළ කළේ විද්‍යා විෂය ධාරාව යටතේය. එය එසේ වූවත්, පාසලේ සියලු‍ ප්‍රසාංගික හා කලා කටයුතු වලට ඇය නැතිවම බැරි සිසුවියක් වූයේ, නිමග්නව තිබූ ප්‍රතිභාව නිසාමය. 

“විද්‍යා විෂයන් හැදෑරුවත් මගේ වැඩි කැමැත්ත තිබුණෙම කලාවට. මොකද අපේ තාත්තා හොඳ කලාකරුවෙක්. ඉස්සර තාත්තා හරියට නාට්‍ය බලනවා. තාත්තගෙත් කැමැත්තක් තිබුණා මම කලාවට එකතු වෙනවාට. මමත් පොඩි කාලෙ ඉඳලම නාට්‍යවලට කැමතියි. මම සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්න කොට තමයි දයානන්ද ගුණවර්ධනයන් ගේ නරිබෑනා නාට්‍යයේ ගමදුව හැටියට රඟපෑවෙ.”

සුභාෂිණී ට රංගනයට වරම් ලැබෙන්නේ රංග ශිල්ප ශාලිකාව හරහාය. ඇය එතැනට එකතු වන්නේ සිය සහෝදරිය සමගය. කලා ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත බවට පත්වූ - එඩ්වඩ් ජයකොඩි, රේණුකා බාලසූරිය, සුමින්ද සිරිසේන, එච්.ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි හෙට්ටිආරච්චි වැනි අය ඈ හා එකට සතතාභ්‍යාසයෙහි යෙදුණු පිරිසකි.

“මේ කාලෙ තමයි මම ඉස් ඉස්සෙල්ලාම තිලක් ගුණවර්ධනයන්ගේ‘ ’කොන්ත නෝනා’ නාට්‍යයේ රඟපෑවෙ. ඒ නාට්‍යයේ මම තමයි කොන්ත නෝනා. ඒ දවස්වල දයානන්ද ගුණවර්ධනයන් ගමදුවට කෙනෙක් සොයමින් හිටියේ. කොන්ත නෝනා නාට්‍යයේ මගේ රංගනයත් ඒකට බලපෑවා. මම නරිබෑනා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ විදියට.”

සුභාෂිණීට උසස් පෙළෙන් පසුව විද්‍යා-ගණිත ගුරුපත්වීමක් ලැබෙන්නේ - අදාල වකවානුවේ ක්‍රියාත්මකවූ ගුරුසේවා පත්වීම් ලබාදීමේ පටිපාටියකට අනුවය. නමුත් ඇය ඒ වනවිට කලා උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිටි තිබුණු අතර, එහිදී ඇය උපාධිය සඳහා තෝරාගනු ලබන්නේ නාට්‍ය හා රංග කලාවය.

සුභාෂිණී, ගාමිණී සහ දරුවන් වන ප්‍රතිභා සහ ශක්ති සමග

“ගුරුවරියක ලෙස මට පළමු පත්වීම ලැබෙන්නේ කුරුණෑගල රන්බඩගල්ල මහා විදුහලට. ඒ අපේ තරුණ කාලෙමයි. අපිත් එක්ක වැඩ කළෙත් තරුණ ගුරුවරු. ඇත්තටම ඒ පරිසරය අපට නුහුරු වුණත් මුහුණ දුන්නා. පාසල තුළ හැම වැඩක්ම කළා. ළමයි එ්වාට බොහොම කැමැත්තෙන් එකතු වුණා. බොහොම ආසාවෙන් තමයි අපි අපේ රාජකාරිය කළේ. දුෂ්කර පළාත්වල ඉගැන්වීමෙන් ලත් අත්දැකීම් එක්ක තමයි මම ’ගුරුවරුන්ට නම් වරුවයි’ පොත ලිව්වෙත්. ඒ දුෂ්කර පාසල් වල ළමයින්ගේ ජීවිත හරි පුදුමයි. ගොඩක් ළමයි පාසල් එන්නෙ ගෙදර වැඩ සියල්ල කරලා. හේනට කුඹුරට ගිහින්. නොකා නොබී එන ළමයින් අනන්තයි. ඒත් අපි පුළුවන් විදියට ඒ ජීවිතත් ගොඩගත්තා.”

“අපිටත් ඒ කාලෙ සුළු වැටුපක් ලැබුණේ. ඒත් පුළුවන් විදියට උදව් කළා. ඒ වගේම තමයි ඒ දරුවො ගුරුවරුන්ට හරි භක්තිමත්. ගෙදර හැදෙන පේර ගෙඩිය, අඹ ගෙඩිය පාවා ඉස්සෙල්ලම කඩාගෙන එන්නේ ගුරුවරුන්ට. ඒබැඳීම පුදුමාකාරයි. හරිම කාරුණික දරුවො මට මුණගැසී කියෙනවා. ඒ අතීතය අදටත් මතක් වෙනවා.”

සුභාෂිණී ඊට පසුව සිය රාජකාරි කටයුතු සිදුකරන්නේ අලව්ව නුංගමුව මහා විදුහලේය. පසුව අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස අනුයුක්ත සේවාවක නියැළෙන ඇය - ටික කලකට පසු යළි ගුරුසේවයටම එක්වන්නීය. ඒ කොළඹ වේළුවන විදුහලටය. ඉන් අනතුරුව ඇය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවට එක්වන අතර, එහි වසර 28ක් පමණ රාජකාරී කරන්නීය.

“අපේ කාලෙ දරුවන් තුළ ගුරු ගෞරවය ඉහළින්ම තිබුණා. අද තරම් දරුවන් අතර ගහමරා ගැනීම්, ප්‍රචණ්ඩත්වයට නැඹුරුවෙන ගතිසොභා තිබුණෙ නෑ. විනය උපරිමයෙන්ම තිබුණා. වැරදි කළේ අඩුවෙන්. අපි කියන දේවල් ඇහුවා වගේම අපිත් එක්ක එකතු වෙලා හරි හරියට වැඩ කළා. ඒ නිසා ගුරුවරු විදියට අපටත් වැඩ කරන්න ආස හිතුණා. අපටත් ඕනෑකම තිබුණේ ඒ දරුවො ඉහළ තැන්වල ඉන්නවා බලන්න. ඒ නිසා මොන තරම් කාර්ය බහුල වුණත් පාසලේ වැඩ අතපසු කරේ නෑ. මට මතකයි කුරුණෑගල ඉන්න කාලෙ නාට්‍යවල රඟපාන්න එළිවෙනකම් බස්වල ඇවිත් තියෙනවා. දවසක් ස්වාධීන රූපවාහිනියෙන් ගජමන් පුවත නාට්‍යය වීඩියෝ කළා. පාන්දර තුනයි ඉවර වෙද්දි. මම තුනේ බස් එකේ නැගලා කුරුණෑගල ගියා. ඒ පාසල් යන්න ඕන නිසා. එහෙම කැපකිරීම් කළා. නිවාඩුවක් ගත්තෙ නෑ. එළිවෙන්න පැයක් තියලා හරි පාසලට ගියා. විශේෂයෙන් දයානන්ද ගුණවර්ධනයන් ගේ කණ්ඩායමේ වැඩි හරියක් හිටියෙ ගුරුවරු. ඒ හැමෝම ඒ කැපකිරීම කළා. ඒ අතරේ මමත් නාට්‍ය හා රංග කලාව විෂය යටතේ ඉහළටම ඉගෙනත් ගත්තා.”

සුභාෂිණීට තම ජීවන සහකරු ගාමිණී හෙට්ටිආරච්චි මුණ ගැසෙන්නේ රංග ශිල්ප ශාලිකාවෙනි. ඔවුන් දෙදෙනා විවාපත් වන්නේ 1982 වසරේ දීය. සී.ජී.ආර්. හි නොඑසේනම් දුම්රිය සේවාවෙහි රාජකාරිය කළ ගාමිණී ද ඒ වනවිට කාර්ය බහුල ප්‍රවිණ රංගන ශිල්පියෙකි.

“අදටත් පුදුමයි අපි වැඩකරපු හැටි මතක් වුණාම. ගාමිණී ෂුටිං ගියාම මම තනිවම දරුවන්ගේ වැඩ කරනවා. මම ගියාම එයා දරුවොත් බලාගෙන ගෙදර ඉන්නවා. අපි බෙදාගෙන වැඩ කළේ. ඒ වෙද්දි මම සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමෙත් හිටිය නිසා, සති අන්තයේ ලංකාවෙ කොහේ හෝ තැනක නාට්‍යයක් පෙන්වනවා. මම ඉතින් උයලා තියලා ගියාම ගාමිණී හැමදේම බලනවා. ඇත්තටම ඔහු හොඳ තාත්තා කෙනෙක් වගේම, හොඳ ස්වාමි පුරුෂයෙක්. එයා අපෙන් සදහටම සමුගත්තත් අදටත් ඒ අඩුව නම් තදින්ම දැනෙනවා.”

“ඇත්තටම මේ වෙලාවෙ ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕන දයානන්ද ගුණවර්ධන නම් වූ විශිෂ්ට ගුරුවරයාව. ඔහුගේ මුණගැසීම මගේ රංගන ජීවිතයට වගේම ගුරුජීවිතයටත් මහත් පිටිවහලක් වුණා. මොකද අප වටා හිටියේ ජයලත් මනෝරත්න, නිශ්ශංක  දිද්දෙණිය, රෝහණ බැද්දගේ වැනි විශිෂ්ට නිර්මාණකරුවො. ඔවුන් සමග කාලය ගත කරද්දි කලාව සාහිත්‍යය ගැන කරන සාකච්ඡා මගේ ගුරුජීවිතයට මනාව උපකාරී වුණා.”

සුභාෂිණි හෙට්ටිආරචිචි දරුවන් දෙදෙනකු ගේ දයාබර මවකි. ආදරණීය මිත්තණියකි. ඇය අද ජීවිතය ගෙවා දමන්නේ ඒ නිරාමිස සතුට සමගය.

“අවුරුදු 35ක ගුරුජීවිතය පුරාම මම නොපිරිහෙළා දරුවන් වෙනුවෙන් යුතුකම් කළා ය තියන හැඟීම මට තිබෙනවා. අදටත් ශාන්ත පාවුළු සිසුවියකගෙන් ඇසුවොත් ඒ බව කියයි. දරුවන්ට උගන්වද්දි කවදාවත් මහන්සි බැලු‍වෙ නෑ. ඒ කාලෙ අපට පාසලට එන්න වෙලාවක් තිබුණට යන්න වෙලාවක් තිබුණෙ නෑ. මේ රටට ණයක් නැහැ කියන හැඟීම ජීවිතේ හැමදාම තියේවි.”

සුජිත් ප්‍රසංග