
සමන් සහ බිරිඳ චන්ද්‍රිකා
ජීවිතයේ ඇතැම් මිනිසුන්ගේ කතාවල සතුටට වඩා දුක වැඩියෙන් ලියැවී ඇත. කුඩා වියේ සිටම දරිද්‍රතාව, හිඟකම්, බඩගින්න සහ ජීවිතයේ කටුක අත්දැකීම් සමඟ හැදී වැඩුණු සමන්තට “ගෙයක්” පිළිබඳ සිහිනය දුර අහසේ තාරකාවක් වැනි එකක් විය.
ඒත් ඔහු බලාපොරොත්තු අතහැරියේ නැත. දහඩිය බින්දු අතරින් නොනිදා ගෙවුණු රාත්‍රී ගණනාවකින් අමාරුවෙන් උපයාගත් සතෙන් සතය එකතු කරමින් ඔහු තමන්ගේම කියා සුඛෝපභෝගී නිවසක් ගොඩනගා ගත්තේය.
බොහෝ දෙනකුට එවැනි නිවසක් ජීවිතයේ විශාලම සම්පත වුවද සමන්තගේ හිතේ තිබුණේ වෙනස්ම සිතුවිල්ලකි. තමන් දුක් විඳ හදාගත් ඒ නිවස අවසානයේ තමන්ටම නොව ශාසනයට පූජා කිරීමට ඔහු තීරණය කළේය. එය සරල පූජාවක් නොවීය. එය ඔහුගේ ජීවිතයම ඔහුගේ කැපවීම, අහිමිවීම් සහ විඳි දුක්වලම නිහඬ පූජාවක් විය.
බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූ සමන්ත පවුලේ දෙවැනි දරුවා විය. ඔහුට වැඩිමහල් සහෝදරයකුත් තවත් බාල සහෝදරයකුත් සිටියහ. ඒත් කුඩා සමන්තගේ ජීවිතයට අඳුරු සෙවණ වැටෙන්නට වැඩි කාලයක් ගතවුණේ නැත.
මවගේ වියෝව
වයස අවුරුදු හතරක් පමණ වෙද්දී ඔහුට මවගේ ආදරය අහිමි විය.
මවගේ උණුසුම, ආදරය සහ රැකවරණය අහිමි වූ ඒ පුංචි දරුවන් තිදෙනාගේ ලෝකය එක මොහොතකින් හිස්ව ගියේය. වැඩිමහල් දරුවාට වයස අවුරුදු හයකි. බාල දරුවා තවමත් කිරි සුවඳ මැකී නොගිය අවුරුදු දෙකක පැටියෙකි. ඒ අතර වයස අවුරුදු හතරක් වූ සමන්ත තේරුම් නොගත් දුකක් මැද නිහඬව බලා සිටියේය.
එදා සිට දරුවන් තිදෙනාගේ ලෝකයම කරට ගත්තේ ඔවුන්ගේ පියාය. ඒ දුක්බර කුඩා කාලය සමන්තගේ සිතෙහි ජීවිතය ගැන වෙනස්ම පාඩමක් ලියා තැබුවේය. අහිමිවීම්, හිඟකම් සහ ආදරය සඳහා වූ හිස්කම ඔහු කුඩා වියේදීම හඳුනාගෙන තිබිණ. සමන්තගේ මව කුසේ සිටි දරුවාත් සමඟම ජීවිතයෙන් සමුගෙන ගියේ පවුලම අඳුරු නිහැඬියාවක තබමිනි.
“මගේ කරේ තියෙන මාලය දරුවන්ගේ කරේ දාන්න” ඇගේ අවසන් ඉල්ලීම එයයි.
සමන්තගේ පියා එම ඉල්ලීම අකුරටම ඉටු කළේය. මවගේ සෙනෙහස මතක් කරවන ඒ මාලය දරුවන් තිදෙනාගේ ජීවිතවල වටිනාම මතකයක් බවට පත්විය.
ඔහු “සමන්ත ස්ටෝර්ස්” නමින් කුඩා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන ගියේය. ඒ සරල ව්‍යාපාරයෙන් ලැබුණු සුළු ආදායමෙන් දරුවන් තිදෙනාගේ ජීවිත ගොඩනඟා ගැනීමට ඔහු වෙහෙසුණේය.
දරුවන් තුන්දෙනා තුරුල් කරගෙන ඔවුන් නිදි කරවූ රාත්‍රී බොහෝ තිබුණි. අම්මාගේ උණුසුම නොමැති ඒ පුංචි හදවත්වල බිය නිවන්නට පියා තම දෑතම ඔවුන්ගේ කොට්ටය කරගත්තේය. සමහර රාත්‍රීවල ඔවුන් නිදාගත්තේ සිල්ලර කඩේ තිබූ හාල් ගෝනි උඩය. තවත් දිනවල සීනි ගෝනි උඩය. ඒවා ඔවුන්ට සුව පහසු ඇඳන් නොවූයෙන් එය එකම නවාතැන විය.
අම්මා යන වචනය ඇසෙන හැම මොහොතකම කුඩා සමන්තගේ පුංචි හිත රිදුණේය. පාසලේදී තම මිතුරන්ගේ මව්වරුන් දරුවන්ගේ අතින් අල්ලාගෙන පාසලට එන අයුරු සමන්ත දුර සිට බලාගෙන සිටියේ දුකෙනි. තනිවම හිසට තෙල් ගාගත් සමන්තගේ හිසෙන් තෙල් බේරී වැටුණි. පාසල් ඇඳුමත් බොහෝ විට පිළිවෙළකට නොවීය. කමිසයෙහි බොත්තම් වැරදී නොගැළපෙන ලෙස ඇඳගෙන පාසලට ගිය දින බොහෝය. ඒ දැක ගුරුවරුන් ඔහුට බැණ වැදුණු අවස්ථාද තිබුණි.
ගුරුවරුන්ගේ වචන ඇසෙන හැම මොහොතකම, මිතුරන්ගේ අම්මලා දකින හැම අවස්ථාවකම සමන්තගේ හිත තුළ “අනේ අම්මා හිටියා නම්”යන හැඟීම නින්නාද විය.
වීරත්වය නොපෙන්නූ නිහඬ වීරයා
භීෂණ සමයේදී ජීවිතය තවත් අඳුරු විය. එක් දිනක සමන්තගේ පියා පවත්වාගෙන ගිය සිල්ලර වෙළෙඳසලට කඩා වැදුණු පිරිසක් මුදල් පෙට්ටියේ තිබූ මුදල් සියල්ල ගෝනිවලට දමාගෙන ගියහ. කඩේ තිබූ සිගරට් පැකට්, බඩු භාණ්ඩ එකින් එක ඇදගෙන ගෝනිවලට පුරවද්දීත් ඔහු නිහඬව බලා සිටියේය.
තමන් මහන්සියෙන් ගොඩනඟාගත් ජීවිකාව ඇස් ඉදිරියේම ගසාගෙන යද්දී පවා ඒ පියාගේ හිත කම්පා වූයේ නැත. ඔහු බිය වූයේ මුදල් නැතිවීම ගැන නොවේ. තම දරුවන් තිදෙනාගේ ආරක්ෂාවය.
ඒ නිසාම දින ගණනාවක් පුරා දරුවන් පපුවට තුරුලු කරගෙන කිසිවකුටත් නොපෙනෙන අඳුරු කාමරයක සැඟවී සිටි ඒ ශක්තිමත් පියා අදටත් සමන්තගේ මතකයෙන් මැකී ගොස් නැත. ජීවිතය කොතරම් කඩා වැටුණත් දරුවන් වෙනුවෙන් නොසැලී සිටි පියා සමන්තගේ ජීවිතයේ දැවැන්තම වීරයා විය.
කුඩා කාලයේ සිටම සමන්තගේ හිතට අමුතුම සැනසීමක් ගෙන ආවේ බණ පදයි. ජීවිතයේ දුක් වේදනා, අහිමිවීම් සහ හිස්කම් මැද හැදී වැඩුණු ඔහු බණ ඇසෙන හැම මොහොතකම වචනයෙන් කියා නිම කළ නොහැකි සුවයක් ලැබුවේය.

පන්සලේ පිරිත් හඬ ඇසෙන විටත් භික්ෂූන් වහන්සේලා බණ දේශනා කරන විටත් පුංචි සමන්ත නිහඬව අසාගෙන සිටියේ මහත් ගෞරවයකිනි. අනිත් දරුවන් සෙල්ලම් කරමින් කාලය ගත කළත් සමන්තගේ හිත ඇදී ගියේ බණ පදවල ඇති සැනසීම දෙසටය.
කුඩා වියේදීම ඔහුට මිනිස් ජීවිතයේ අරුත වැටහී තිබුණා විය හැකිය. ඒ නිසාම බණ පදයක තිබූ කරුණාව, ඉවසීම සහ සැනසීම ඔහුගේ හිතට ගැඹුරින්ම දැනුණේය.
ජීවිතයේ දුක් කම්කටොලු අතර හැදී වැඩුණු සමන්තගේ හිත බොහෝ අවස්ථාවල මිනිස් ලොවෙන් ඈත්ව නිහඬ සැනසීමක් සොයා ගියේය. පන්සලේ නිහඬ පරිසරය බණ පදවල ඇති සැහැල්ලුව සහ භික්ෂූන් වහන්සේලාගේ සරල ජීවිතය ඔහුගේ හිත තදින්ම ඇද බැඳ ගත්තේය.
ඒ නිසාම සසුන්ගතවීමේ සිතුවිල්ල ඔහුගේ සිතට පැමිණි වාර අනන්තය. ජීවිතයේ වේදනා වැඩිවූ හැම මොහොතකම ලෝකයේ කටුක බව දැනුණු හැම අවස්ථාවකම ඔහුගේ හිත පන්සලක නිහඬ සෙවණක් සොයා ගියේය.
හිතක උපන් සිහිනය
නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදීම සමන්තගේ හිත තුළ අසාමාන්‍ය සිතුවිල්ලක් උපන්නේය. දරුවන් නොමැති, දරුවන් සලකන්නේ නැති මව්පියන් වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකර ඒ අයගේ හැම සත්කාරයක්ම තම අතින්ම කිරීම එම සිතුවිල්ලයි.
එබඳු ප්‍රර්ථනාවක් තිබුණද ඒ ප්‍රර්ථනා මල්පල දරන්නට කිසිදු මුදලක් සමන්ත අතේ තිබුණේ නැත. සමහර රාත්‍රීන්හි සමන්තගේ කොට්ටය කඳුළින් තෙතබර විය. මව අහිමි වීමේ වේදනාවයි ඒ.
රැකියාවක් සොයා යාම
පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු සමන්තගේ අරමුණ වූයේ ඉක්මනින් රැකියාවක් සොයාගෙන ජීවිතය ගොඩනගා ගැනීමය. තවදුරටත් තම පියාට බරක් වන්නට ඔහුට අවශ්‍ය නොවීය. කුඩා කාලයේ සිටම පියා විඳි දුක ඇස් දෙකෙන්ම දැක තිබූ නිසා “දැන් මමත් හයියක් වෙන්න ඕන” යන සිතුවිල්ල ඇති විය.
ඒ අතර පාසල් කාලයේ සිටම සමන්තගේ හිතේ තිබූ ලොකුම ආසාවක් වූයේ “ඩොල්ෆින්” වාහනයක් මිලදී ගැනීමය. ඒ සිහිනය ඔහුට සාමාන්‍ය එකක් නොවීය. දුක් විඳි ජීවිතයෙන් ගොඩ එන්නට, තමන්ටත් දවසක යමක් කළ හැකි බව ලෝකයටම පෙන්වන්නට ඔහුට ආශාවක් විය.
එකල හපුතලේ ප්‍රදේශයේ දෝව පැත්තේ පතල් කර්මාන්තය සක්‍රීයව පැවති අතර පාසල් අධ්‍යාපනය ලබමින් සිටි සමන්ත එහි ගොස් කුඩා දලන් කැබලි එකතු කිරීමට පුරුදු විය. ඒවා විකුණමින් ලැබුණු මුදල් ඔහු සතෙන් සතය එකතු කර බැංකු පොතක තැන්පත් කළේය.
කාලයත් යන විට ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් හාර ලක්ෂ තිස් පන්දහසක් එකතු වී තිබුණි. ඒ මුදලේ එක රුපියලක්වත් වංචාවෙන්, කපටිකමින් හෝ කාගෙන්වත් අයුතු ලෙස ලබාගත් ඒවා නොවීය. ඒ හැම සතයක්ම කැපවීමෙන් උපයාගත් මුදල්ය.3
තම අතින්ම ගොඩනැගූ මන්දිරය බුදු සසුනට පූජා කර, වැඩිහිටි නිවසකුත් හදා දීලා
මුදල් හම්බ කිරීමේ ආශාවත්, ජීවිතය ජයගැනීමේ අධිෂ්ඨානයත් සමන්තගේ හිතේ දැඩිව වැඩෙන්නට පටන් ගත්තේ එකලය. සමහර දිනවල ඔහු පන්ති පවා මඟහැර හපුතලේ බලා පිටත්ව ගියේය. ඒ ගමනේදී හපුතලේ මැණික් ව්‍යාපාරිකයෙක්ද ඔහුට අත්වැලක් සැපයීය.
පාසල් නිල ඇඳුමෙන් නිවසින් පිටවන සමන්ත පියාට හොරෙන් බෑගයේ දමාගෙන ගිය අමතර ඇඳුමක් මාරු කරගෙන හපුතලේ පතල් බිම් අතර තම සිහිනය පසුපස දුවමින් සිටියේය.
අවසානයේ කුඩා වියේ සිටම හිතේ තබාගෙන සිටි ඒ සිහිනය සැබෑ විය. තමන් එකතු කරගත් මුදල් යොදාගෙන ඔහු පැරණි “ඩොල්ෆින්” වාහනයක් මිලදී ගත්තේ ජීවිතයේ පළමු ජයග්‍රහණය අත්විඳින තරුණයකු ලෙසය.
ආදරවන්තිය මුණ ගැසීම
සමන්තගේ පෙම්වතිය වූයේ රත්නපුර ප්‍රදේශයේ පරිගණක පන්තියකට සහභාගි වෙමින් සිටි චන්ද්‍රිකා ප්‍රියදර්ශනී ආරියරත්න නම් යුවතියකි. ටික කලක් ගතවෙද්දී සමන්ත තම ආදරය ගැන චන්ද්‍රිකාගේ නිවසට දැනුම් දීමටද පසුබට වූයේ නැත. ඒත් ඒ වනවිට ඔහු සතුව තිබුණේ පැරණි ඩොල්ෆින් රථය පමණි. ජීවිතය ගොඩනගාගැනීම සඳහා මහත් උත්සාහයක නිරතව සිටියත් අතේ තිබුණේ සුළු මුදලකි.
එකල ඔහු කහවිට ප්‍රදේශයට පැමිණ කිලෝමීටර් හයක් පමණ පයින් ඇවිදිමින් තමන්ට දරාගත හැකි කුලියකට කුඩා නිවසක් සෙව්වේය. අවසානයේ රුපියල් දහසකට කුලියට ගත හැකි නිවසක් හමු විය. නමුත් එම නිවස ලබාගැනීමට මාස හයක අත්තිකාරම් මුදලක් අවශ්‍ය විය. ඒ මුදල ගෙවීමේ හැකියාවක් සමන්තට නොතිබිණ.
චන්ද්‍රිකාගේ මවද ඒ වනවිට ජීවතුන් අතර සිටියේ නැත. කුඩා කල සිට ඇය ආදරයෙන් බලාගෙන තිබුණේ ඇගේ ආච්චි විසිනි. ජීවිතයේ අමාරුකම් දැන සිටි ඒ වයෝවෘද්ධ හදවත ගම්මිරිස් විකුණා එකතු කරගත් මුදලක් තම මිනිබිරියගේ ජීවිතය වෙනුවෙන් තෑගි කළාය. ඒ මුදල ඒ යුවළගේ අලුත් ජීවිතයට ලැබුණු පළමු ආශීර්වාදය විය.
විවාහයෙන් පසු චන්ද්‍රිකා සහ සමන්ත මුලින්ම තම කුලී නිවසෙහි පදිංචි වන විට ගෙදරට රැගෙන එන්නට වටිනා භාණ්ඩ කිසිවක් තිබුණේ නැත. බිමට එළාගත් පෑදුරක් ඇඳ ඇතිරිලි එකක් සහ එක කොට්ටයක් පමණක් ඔවුන්ගේ මුළු සම්පත විය.
කාලයක් පුරා ඔවුන් විඳි අසරණකම වචනවලින් කියා නිම කළ නොහැකි තරම්ය. වාහනයක් තිබුණද එයින් ලොකු ආදායමක් උපයාගන්නට නොහැකි විය.
ජීවිතය ගොඩනගාගන්නට සමන්ත උත්සාහ කළේ එකම රැකියාවකින් පමණක් නොවේ. ඔහු ඔරලෝසු අලුත්වැඩියා කිරීමද ඉගෙනගෙන තිබුණි. එම හැකියාව ප්‍රයෝජනයට ගත් සමන්ත වසර කිහිපයක් පුරා කහවත්ත නගරයේ කුඩා කඩ කාමරයක් කුලියට ගෙන එහි ඔරලෝසු සෑදීමේ කාර්යය ආරම්භ කළේය.එදා ඔහුගේ ලොකුම ඉලක්කය වූයේ සෑම දවසකම රුපියල් දාහක් හෝ උපයාගෙන නිවසට යාමය.
කලක් ගතවීමෙන් පසු සමන්ත තම ඩොල්ෆින් රථය විකුණා කහවත්ත ප්‍රදේශයෙන් කුඩා ඉඩම් කැබැල්ලක් මිලදී ගත්තේය. මුදල් ප්‍රමාණවත් නොවූ නිසා ඔවුන්ගේ නිවසේ තිබූ රූපවාහිනිය පවා විකුණන්නට ඔහුට සිදුවිය.
ඒ ඉඩමේම කුඩා නිවසක්ද ඉදි කෙරිණ. තමන්ගේම නිවසක ජීවත් වීම ඔවුන්ට මහත් සතුටක් විය. පසුකාලයේ දී ඔහු එම ඉඩමද විකුණා වෙනත් ඉඩමක් මිලදී ගත්තේය.
ඉඩම ගත් පසු මාසයක් යන තුරු නිවසක් හදන්නටවත් ඔහුට සිතුණේ නැත. ඔහුගේ හිත ඇදී ගියේ වෙනත් දිසාවකටය. කුඩා කාලයේ සිටම හිතේ තිබූ ආශාවක් නැවත ඔහුගේ සිතේ ශක්තිමත්ව මතුවිය. එනම් පැවිදිවී ශාසනයට ජීවිතයම කැප කිරීමය. නමුත් ඒ වනවිට ඔහුගේ ජීවිතය තවත් බැඳීමකට මූලාරම්භය විය. චන්ද්‍රිකාගේ කුසේ දරුවකු පිළිසිඳගෙන තිබුණි.
නිවසක් ඉදිකිරීම සමන්ට සහ චන්ද්‍රිකාට ජීවිතයේ අතිදුෂ්කරම අභියෝගයක් විය. නිවස හදන්නට මුදල් තිබුණේ නැත. උදව් කරන්නට ඥාතියෙක් හෝ අත දෙන්නට කෙනෙක් හෝ නොසිටියහ. ඔහු ලීවලින් බ්ලොක් ගල් අච්චුවක් කපාගෙන නිවසට ගෙනාවේය. එදා සිට ඔවුන්ගේ ජීවිතවලට අලුත් වෙහෙසක් එක් විය. සෑම උදෑසනකම වෙෙළඳාමට යාමට පෙර ඔහු සිමෙන්ති තාච්චියක් තම බිරිඳට අනා දී පිටත්ව යයි. ඒ සිමෙන්ති මිශ්‍රණයෙන් චන්ද්‍රිකා බ්ලොක් ගල් කැපුවාය.
හවසට කෑමට නිවසට එන සමන් විවේකයක් ගන්නටවත් නොසිතා නැවතත් තවත් සිමෙන්ති තාච්චියක් අනා දෙයි. චන්ද්‍රිකා ඒවායෙන් බ්ලොක් ගල් සකස් කළාය.

සසුනට පූජා කළ නිවෙස
වසර එකහමාරක නොනවතින වෙහෙසකින් සමන්ත සහ චන්ද්‍රිකා තම සිහිනය යථාර්ථයක් කරගත්හ. කාමර නවයක් සහිත තට්ටු දෙකක නිවසක් ඔවුන්ගේ අතින්ම ඉදි විය.
එකල කහවත්ත ප්‍රදේශයේ සිදුවූ මිනිස් ඝාතන නිසා ප්‍රදේශය පුරා භීෂණය රජ කළේය. ජීවන අස්ථාවරත්වය මැද ඇතැමුන් තම නිවස පවා අහිමි කරගනිද්දී ප්‍රදේශයේ ගෙවල් අතරින් ආරක්ෂා වූයේ සමන්තගේ නිවස පමණක් බවද බොහෝ දෙනා සිහිපත් කරති.
වැඩ අවසන් නොවූ නිවසෙහි දොරවල් නොමැතිව ආරක්ෂාව නොමැතිව කාඩ්බෝඩ්වලින් ආවරණය කරගෙන මාස ගණනක් එහි සිටින්නට ඔවුන්ට සිදු විය. බාහිරින් එය සරල ජීවිතයක් ලෙස පෙනුණත් ඇතුළත තිබුණේ නොසැලෙන ආදරයකි. “කොහොම හරි ජීවිතය ගොඩනගනවා” යන දැඩි විශ්වාසයකි.
නිවස ඉදිකිරීම ටිකෙන් ටික අවසන් වෙද්දී සමන්තගේ හිතේ තිබූ තවත් සිහිනයක් යථාර්ථයක් බවට පත් වන්නට පටන් ගත්තේය. ඔහු තමන්ගේ ඉඩමේම වැඩිහිටි නිවාසයක් ගොඩනැගීමට තීරණය කළේය. ජීවිතයේ අහිමිවීම්, තනිකම සහ අසරණකම හොඳින්ම දැනගෙන සිටි ඔහුට අන් අයගේ දුක තමන්ගේ දුකක් සේ දැනිණ.
ඒ වැඩිහිටි නිවාසයේදීද සමන් කිසිදා “උඩින් ඉන්න” කෙනෙක් නොවීය. එහි සිටින අම්මලා තාත්තලාගේ දෑත් අල්ලාගෙන ඔවුන්ගේ දුක අසනීප සහ දෛනික අවශ්‍යතා තම දෙඅතින්ම කර දීමට ඔහු කිසි විටෙකත් පසුබට වූයේ නැත. පිරිසිදු කිරීම, රැකවරණය, ආහාර සැපයීම ඔහුට වගකීමක් පමණක් නොව හදවතට සැනසීමක් විය.
එම කාලය වන විට සමන්තගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණ. දුක්බර ළමා කාලයෙන් ආරම්භ වූ ඔහුගේ ගමන ඒ වන විට සාර්ථක ව්‍යාපාරිකයකුගේ ජීවිතයක් බවට පත්ව තිබුණි. ඔහු පතල් හිමිකරුවෙක් විය. එසේම බස් රථ ව්‍යාපාරයකද හිමිකරුවෙක් විය.
ඒ සියලු සාර්ථකත්වයන් අතර ඔහුගේ හිතේ තිබූ ලොකුම සතුට මුදල් හෝ ව්‍යාපාර නොවීය. අසරණ මිනිසුන්ට සෙවණක් වෙන්නට හැකි වීමත් තම ජීවිතයේ දුක වෙන අයගේ ජීවිතවලට ආලෝකයක් කරවන්නට හැකි වීමත් ඔහුට වැදගත් විය. අවසානයේදී ජීවිතයේ දුක් කැපකිරීම් සහ අසීමිත වෙහෙසින් තමන් අතින්ම ගොඩනගාගත් ඒ ආදරණීය නිවස ඔහු මහා සංඝරත්නයට පූජා කළේය.
එම නිවස පසුකාලීනව “කහවත්ත මහමෙව්නා අසපුව” නමින් මහා සංඝරත්නයට මෙන්ම බොහෝ දෙනාට ආධ්‍යාත්මික සැනසීම ලබාදෙන පුණ්‍ය භූමියක් බවට පත්විය.එදා කුඩා දරුවකු ලෙස මව අහිමිවීමෙන් ආරම්භ වූ ඒ ජීවිත කතාව අවසානයේදී අන් අයගේ ජීවිතවලට ආලෝකයක් දෙන උතුම් පූජාවකින් නිමාවට පත් විය.
සමන්ත අද දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. කුඩා කාලයේ සිට විඳි අසීමිත දුක්, අහිමිවීම් සහ අරගල සියල්ල අද ඔහුගේ ජීවිත කතාවේ අතීත මතක පමණක් වී ඇත. දුක් කන්දරා මැදින් ගමන් කළ ඔහු අද තම බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග සතුටින් ජීවත් වෙයි.
වසර ගණනාවක් පුරා ණය බර, අගහිඟකම් සහ අසරණකම් සමඟ සටන් කළ ඒ ජීවිතය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අද ඔහු කිසිදු ණයක් නොමැති ස්ථාවරව නැගී සිටි ව්‍යාපාරිකයෙකි.
ඔහු කිසිදා අමතක නොකරන එකම දෙය නම් තම ජීවිතය ගොඩනැගීමට මුල සිටම දුන් කැපකිරීම්, අම්මා නැතිව හැදී වැඩුණු කුඩා දරුවාගේ කඳුළු සහ පියාගේ නොසැලෙන ශක්තියයි.
අදත් ඔහුගේ හදවතේ ලොකුම සතුට වන්නේ මුදල් හෝ සාර්ථකත්වය නොව “දැන් මගේ පවුල සැනසීමෙන් ඉන්නවා” යන හැඟීමයි.
දිශානි ජයමාලි කරුණාරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd