සොඳුරූ

කාන්තාව ගැන කතාකරන විට වර්තමාන කාන්තාව පෙනුමෙන් මෘදු මොළොක් වුවත් කායිකව සහ මානසිකව පිරිමින්ට නොදෙවෙනි ශක්තිමත් චරිතයක් ලෙස බොහෝ ක්ෂේත්‍රයන්හි ඉදිරියෙන්ම සිටියි. ඒ හරහා ඔවුන් අගයන හා සම්මානයන්ට පාත්‍ර කරවන අවස්ථා ද අද සමාජයේ සුලබ කරුණකි. විවිධ වූ ක්ෂේත්‍ර අනුව විවිධ වූ කාන්තාවන් ගැන අප කතාකරත් කවුරුත් නොසිතන ක්ෂේත්‍රයක නිරත වන පිරිමින්ට නොදෙවෙනි යකඩ කාන්තාවක් ‘‘සොඳුරූ’’ තුළින් කතා බහට එකතු කරගනිමු.   

 

බොහෝ විට මල් ශාලාවක් හෝ මෘත ශරීරාගාරයක මිනී කපන්නන් ලෙස ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු සමඟ ගනුදෙනු කරන්නේ පිරිමි පාර්ශ්වයයි. එහෙත් අද අප කතා කරන මිනී කපන දෑත වළලු වලින් සැරසුණු දෑතක් වීම විශේෂත්වයකි.   


ශ්‍රී ලංකාවේ රෝහල් මෘත ශරීරාගාරයක මිනී කැපූ එකම කාන්තාව ද ඇයයි. මෘත ශරීර දස දහසකට වඩා ඇගේ දෑතින් කපා හැඩකර අවසන් ගමනට සරසා ඇති ඇය මේ වනවිට හැට එක්වැනි වියේ පසු වෙයි. ඇය දෙදරු මවකි. මේ සෝමාවතී දේවනාරයන මහත්මියගේ කතාවයි.   


ඇඹිලිපිටිය, කොලොන්න විජේරිය ග්‍රාමයේ උපන් ඇය දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දියණියයි. ඇය කුඩා කළ සිට වෙනස් ආරේ සිතුම් පැතුම් ඇති තැනැත්තියක වූවාය.   


අපේ අම්මායි තාත්තයි හරිම අහිංසක මිනිස්සු. අපේ අම්මාට දරු​වෝ දහයයි. මම දෙවැනියා. පිරිමි හතරයි. ගෑනු දරුවෝ හයයි. පොඩි කාලේ ඉඳලා මම වැඩ කළේ කොල්ලෙක් වගේ අම්මා රස්සාවක් කළේ නෑ. තාත්තා කාර්මික අංශයේ රැකියාවක් කළා. මම අපොස සාමාන්‍ය පෙළ විෂයයන් හයක් සම්මාන හතරක් එක්ක සමත් වුණා. එතනින් එහාට ඉගෙන ගන්නවාට වඩා ඕන වුණේ අම්මටයි තාත්තටයි බරක් නොවී යමක් හම්බකරගන්න. මුලින්ම මම හිටියේ තිස්සමහාරාමේ. එහිදී මම ගරාජ් වැඩ ඉගෙන ගත්තා. ඕනෑම වාහනයක් කැඩුණොත් මට හදාගන්නත් පුළුවන්. එකක් කියලා නෑ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය අතරේ ගෙවල්වල වයරින් කරන්නත් මම ඉගෙන ගත්තා. පිරිමි කරන ඕනෑම රස්සාවක් මම එක වතාවක් හරියට බලාගෙන හිටියොත් ඒ විදිහටම කරන්න පුළුවන්.   


ඇය ඇයගේ හැකියාවන් මත තැබූ විශ්වාසය නිසාම මිනී එම්බාම් කරන රැකියාවට යොමු ​ෙවන්නේ විසි එක්වැනි වියේදීය.   


‘‘මං මිනී එම්බාම් කරන තැන්වල ගැවසිලා තමයි මුලින්ම මේ රස්සාව ඉගෙන ගත්තේ. මාතර පැත්තේ මල්ලී කෙනෙකුත් මට මේ වෘත්තිය ගැන පුරුදු පුහුණු වෙන්න උදව් කළා. ඔය අතරේ යාන්තමට අවුරුදු විස්ස වෙනකොට කසාදෙත් සිද්ධ වුණා.   


මිනී එම්බාම් කරන හැටි පුරුදු වෙලා මුලින්ම අපේ මල්ලි කෙනෙක් එක්ක මිනී පෙට්ටි සාප්පුවක් පටන් ගත්තා. ඒ 1985 දී.   


මිනී පෙට්ටි සාප්පුව පටන් ගන්නවාට මගේ මහත්තයා කැමති වුණේ නෑ. මළගෙවල්වල යනවට විරුද්ධ වුණා. මිනී එම්බාම් කරනවට විරුද්ධ වුණා. ඒ වෙනකොට දරුවෝ දෙන්නාම පොඩියි. මට ඉන්නේ දුවයි පුතයි.   
මට ඕනෑ වුණේ දරුවෝ දෙන්නට හොඳට උගන්වන්න. දරුවන්ගේ තාත්තා මගේ මේ රස්සාව හින්දම අපිව දාලා ගියා. දරුවෝ දෙන්නට ඉගැන්නුවේ මම මේ රස්සාවෙන්. මුල් කාලේ මම සෑහෙන්න දුක් වින්දා.  
‘‘තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි’’ යන කියමන වෙනස් මානයකට රැගෙන ගිය දිරිය කතුන් අපට දක්නට ලැබෙනු ඇත. සෝමාවතී මාතාව ද සිතුවිලි හා ආත්ම ශක්තිය පෙර දැරිව ජීවිතය නැමැති නෞකාව පදවන්නට මළ සිරුරු කපන ආයුධ කට්ටලය අතට ගත් දිරිය මවකි.   


මම දරුවෝ දෙන්නට ඉගැන්නුවේ මේ රස්සාව කරලා. අද මගේ දුව හෙද නිලධාරිනියක්. පුතා රෝහල් කාර්යාල සහයකයෙක්. දරුවෝ ඉස්කෝලේ යන කාලේ අම්මා ඔය මිනී කපන රස්වාව කරන්න එපා අපිට ලැජ්ජයි කියලා කවදාවත් කියලා නෑ. ගමේ අය දරුවන්ට හරියට ඇනුම් පද එහෙම කිව්වා. මිනි කපන ගෑනිගේ ළමයි කිව්වා. ඒවා මගේ දරුවෝ දෙන්නා කනකට ගත්තෙත් නෑ. මම ඒවා ගැන හිතුවෙත් නෑ. දරුවෝ දෙන්නා තමයි මට හිටපු එකම ශක්තිය. අදටත් මම ජීවත් වන්නේ දරුවෝ දෙන්නගේ ශක්තියෙන්.   


ඉස්සර මම මිනී පෙට්ටිත් හැදුවා. පෙට්ටි හදලා මම කඩවල්වලටත් දැම්මා. දැන් මම ඉන්න තැන මට අවශ්‍ය පෙට්ටි ටිකවත් හදාගන්න ඉඩක් නෑ. මිනියට අන්දන ඇඳුම ගොඩක් වෙලාවට මහන්නෙත් මගේ අත් දෙකෙන්මයි. මම දැන් නම් පෙට්ටි මාතරින් ගෙනැල්ලා කුෂන් කරලා වැඩ ඉවර කර ගන්නවා.   


මුල් කාලේ මේ රස්සාව පටන් ගත්ත අලුත මං දිහා මිනිස්සු බැලුවේ පුදුමයෙන් වගේ. සමහරු මාව පිළිකුල් කළා. මගේ සේවාව හොඳ නිසා පස්සේ පස්සේ මරණයක් වුණාම මිනිස්සු මාව හොයාගෙන එන්න ගත්තා. අවමංගල්‍ය උත්සවයකට අවශ්‍ය සියලු දේ මගේ ළඟ තියෙනවා. ඒවා ඉතින් කුලියට දීලා මම කීයක් හරි හොයා ගන්නවා. මට රියදුරු බලපත්‍රයක් තියෙනවා. ඉස්සර අවමංගල්‍ය රථය එළවගෙන රෑ දොළහටත් මම මිනී ගේන්න ඉස්පිරිතාලවලට තනියම ගිහින් තියෙනවා. මිනියක් හැදුවට පස්සෙන් යන්න කෙනෙක් නැත්නම් හර්ස් එකේ මිනියයි අවශ්‍ය බඩු ටිකයි දාගෙන මිනිය අයිති ගෙදරට යන්නේ මම තනියම. මහ රෑට තනියම ගෑනියෙක් මිනියක් අරගෙන ගියාම ඒ ගෙවල්වල මිනිස්සු මං දිහා බලන්නේ යකෙක් දිහා බලනවා වගේ.   
දවසක් ඔහොම මිනියක් අරගෙන මගේ අතින් වාහනය හැපුණා. ඊට පස්සේ ඉදලා දුවයි පුතයි මට තනියම වාහනය අරගෙන යන්න දෙන්නේ නෑ.  
 
අනේ නෑ.... මිනියක් කපනවා දැකපු පළවෙනි දවසේවත් මම මිනියක් කපපු පළමු දවසේවත් මට එහෙම බයක් තියා තිගැස්මක්වත් දැනුනේ නෑ. ඒවා අපේ හිතේ තියෙන සිතුවිලිනේ. පොඩි දරුවෝ, තරුණ දරුවෝ මැරුණ ඒවා ඕනෑ තරම් මගේ ළඟට ගේනවා. කවදාවත් මට දුකක් දැනිලා නෑ. මං ඒවට සංවේදි වෙලත් නෑ. මම මහ යකඩ ගෑනියක් කියලා කෙනෙක් හිතයි. සසරේ බියකරු බව දන්නවනම් කෙනෙක් මැරුණම අඬන්නේ නෑ, සසරේ ගනුදෙනු ඉවර වුණාම සතුටින් හරි දුකින් හරි යන්න වෙනවා. මට දැන් කොහොමත් මළමිනී අල්ලලම ගානක් නෑ,   


ඉස්සර මං මිනී කැපුවේ පිළිකන්නේ ඇඳක තියාගෙන.  ඕනෑකමකින් බලනවනම් ඕනෑ කෙනෙකුට බලාගන්න පුළුවන්. දැන්නම් මම ඇතුළේ තැනක් හදාගෙන තියෙනවා මිනී කපන්න. ඉස්සර නම් මම ඔක්කොම කළේ තනියම. දැන් ඉතින් හයි හත්තියත් අඩුයිනේ. සමහර දවසට පිරිමි දරුවෝ දෙතුන් දෙනෙක් එනවා මගේ උදව්වට. තව විද්‍යාව විෂය හදාරන දරුවොත් මිනී කපනවා බලන්න එනවා.   


85 වර්ෂයේ පටන් මළ මිනී සමග ගනුදෙනු කරන ඇයට කෙලොන්න මෝචරියේ මිනී කපන්නිය ලෙස දායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවිය. වසර 4කට ආසන්න කාලයක් කොලොන්න රෝහලේ මෝචරියේ මිනී කපන රැකියාව දේවකාරියක් ලෙස ඇය ඉටු කළාය. ඒ අනුව සෝමාවතී දේවනාරයන මහත්මිය ලංකාවේ රෝහල් මෝචරියක මිනී කපන්නියක ලෙස සේවය කළ පළමු කාන්තාව ද වේ.  


මන්ද මෙම වෘත්තියේ පුරප්පාඩු පුරවන්නේ පිරිමි පාර්ශ්වය වුවත් කාන්තාවක් එම රැකියාවේ නියැලීම සුවිශේෂි කාරණයක් විය. එම වෘත්තියේ ස්ථිර සේවකයකු ලෙස බැඳීමට ඇය සියලු ප්‍රායෝගික සුදුසුකම් සපුරා තිබුණාය.  


රැකියාව ස්ථිර කිරීමේ දී ඇය කාන්තාවක් වීම ඇය රැකියාවෙන් ප්‍රතික්ෂේප වීමට ප්‍රබල හේතුවක් විය.   
අවුරුදු 4ක් විතර මම කොළොන්න ඉස්පිරිතාලේ මිනී කැපුවා. ගොඩක් වෙලාවට ඒ මෝචරියේ හිටියේ මායි මළ මිනියයි විතරයි. ඒ කාලේ කොලොන්න ඉස්පිරිතාලේ මිනී කපන කෙනෙක් හිටියේ නෑ. ඇඹිලිපිටියට මිනිය ගෙනියන්න වත්කමක් නැති අය කොලොන්නට තමයි මිනිය ගේන්නේ.  


ඊට පස්සේ කොළොන්නේ ඒ දවස්වල හිටපු දොස්තර මහත්තයා කියලා මාව කොළොන්න ඉස්පිරිතාලේ ස්වේච්ඡාවෙන් මිනී කැපුවා. අවුරුදු 4ක්ම කැපුවේ ස්වේච්ඡාවෙන්. රුපියලක්වත් මම ගත්තේ නෑ. මම හිතුවා ඒ රස්සාව මට ස්ථිර කරලා දේවි කියලා. මම ගෑනු කෙනෙක් නිසා මෝචරියේ මිනී කපන රස්සාව ස්ථිර කළේ නෑ. මිනී එක්ක ඉඳලම මට මිනියක් දැක්කම ඒකේ විස්තරේ හරියටම කියන්න පුළුවන්. ඇත්තටම එල්ලිලා මළාද? නැත්නම් මරලා එල්ලුවාද? කියලා. එහෙම එල්ලපු මිනියක් දැකලා මම කිව්වා. පරීක්ෂණ වලින් ඒක ඔප්පු වුණා.   


මරණ පරීක්ෂණය කරද්දී මුලින්ම කරන්නේ මිනිය මනින එක. මිනියේ ස්වරූපය කොරනල් රාලහාමි ඇඳ ගන්නවා. සැක කටයුතු නැති මළ සිරුරු මම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ කපලා තියෙනවා. හැබැයි ඒ හැම මරණයකටම පෙට්ටියයි, ඇඳුමයි මහන්න දුන්නේ මටමයි. ඉස්පිරිතාලේ මිනී කපන රස්සාවෙන් මට ලැබුණු ලාභය එච්චරයි.   


පණුවෝ දාපු මිනී, අනතුරු වෙලා කෑලි වෙච්ච මළ සිරුරු, පිච්චිලා විරූපි වෙච්ච මළ සිරුරුත් මම කපලා තියෙනවා. හිරිකිතක්, අප්පිරියාවක් බයක් නෑ. මම ඒ සිරුරුත් හදලා ඉල්ලුවොත් හදලා දෙනවා....   

අපෝ ඕනෑ තරම් තියෙනවා. එක දවසක් ඉස්පිරිතාලෙ දී මාස ගාණක පුංචි දරුවෙක් කිරි හිර වෙලා මැරුණා. වාට්ටුවේ ඉන්න දොස්තරලාගේ ඉඳලා අඬනවා. මම මරණය ගැන අඳුරන නිසා මට චුට්ටක්වත් ඇඬුණේ නෑ. ඒ මිනිය කපන්න වුණේ මට. මං ඒ මිනිය කපන්න යන වෙලාවේ දොස්තර මහත්තයා මගෙන් ඇහුව්වා ‘‘ඔයාට දුක නැද්ද අම්මේ’’ කියලා. ඇත්තටම මට මැරෙනවා කියන එක ගැන කිසිම දුකක් නෑ. මගේ අැස්වලට කවදාවත් කඳුළු ඇවිල්ලත් නෑ. මං හිනා වෙලා දොස්තර මහත්තයාට කිව්වා. ‘‘ජීවිතේ මුලදීත් මැරෙනවා, අගදිත් මැරෙනවා’’ කියලා. අපි ජීවිතේ ඇත්තට මූණ දෙන්න ඕනෑ.   


මට මේ ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු නෑ. මගේ අතපය හයිය තියෙනකම් මිනී කපන්නට එම්බාම් කරන රස්සාව මම කරනවා. දුවයි, පුතයි දෙන්නම විවාහ වෙලා ඉන්නේ. මේ ව්‍යාපාරය දියුණු කරගන්න දරුවෝ දෙන්නා මට ගොඩක් උදව් කරනවා. දරුවෝ දෙන්නම සමාජයේ පිළිගත් ඉහළ රැකියාවල් කරනවා. දරුවෝ දෙන්නා දැන් කියන්නේ දරුවෝ ළඟට ඇවිත් මට ඉන්න කියලා. ඒත් මම කැමති මට පුළුවන් කාලයක් රස්සාව කරන්න... ඇය කීවාය.   

 

 

 

සටහන
නදීශා අතුකෝරළ
ඡායාරූප - පී.ආර්. ගමගේ, කොලොන්න